නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන ක්‍රිකට් තරගාවලිය 8දා | දිනමිණ

නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන ක්‍රිකට් තරගාවලිය 8දා

නිරෝෂාන් ප්‍රියංකර
නෙල්සන් මෙන්ඩිස් මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. තරගාවලියේ අනුග්‍රාහකයන්ද මෙහි වෙති. ඡායාරූපය - නිරෝෂ් බටේපොල

සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසල සමගින් සංවිධාන කරන ‘නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන’ ජාත්‍යන්තර ආරාධිත අවුරුදු 14න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ මස 8වැනිදා ආරම්භ වෙයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගම ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන තරගාවලිය මේ 24දා දක්වා පැවැත්වෙන අතර සිංහල හින්දු අළුත් අවුරුදු හේතුවෙන් 12-16දා දක්වා තරග නොපැවැත්වෙන බව මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ බිෂොප් විදුහල් ශ්‍රවණාගාරයේ පැවැති හමුවකදී සී.සී.සී ක්‍රිකට් පාසලේ සභාපති නෙල්සන් මෙන්ඩිස් මහතා පැවැසීය.

මේ තරගාවලිය සංවිධාන කරන්නේ මෙරට කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කරගැනීමත් ක්‍රීඩකයන්ගේ කුසලතාවන් වර්ධනය කිරීමත් මූලික අරමුණු කරගනිමින් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

දහතුන්වැනි වරට සංවිධාන කරන තරගාවලියට මෙවර කණ්ඩායම් 32ක් එක්වන අතර ඊට ඉන්දියානු කණ්ඩායම් 7ක්ද ඇතුළත් වෙයි. එම කණ්ඩායම් තරගාවලියට එක්වන්නේ 17වැනිදා සිටය.

රඹුක්කන, මොනරාගල, කුරුණෑගල, අම්බලන්ගොඩ, වේයන්ගොඩ, ගුරුතලාව වැනි පිට පළාත් කණ්ඩායම්ද තරගාවලියට එක්වෙයි.

ඉන්දියාවේ බැංගලෝරයෙන් ෆ්‍රෑන්ක් ඇන්තනී ප්‍රසිද්ධ පාසල, හෙරොන් ක්‍රිකට් සමාජය (ඒ), සා.ජෝෂප් පිරිමි උසස් විදුහල සහ බෙන්ච් මාර්ක් ක්‍රිකට් ආයතනය එක්වන අතර සා.ජෝන් ක්‍රිකට් ආයතන ‘ඒ’ හා ‘බී’ (හයිද්‍රබාද්), අවිජීත් සිංහ ක්‍රිකට් ආයතනය (ලක්නව්)ද තරගාවලියට එක්වීමට නියමිතය.

තරගාවලියේ පළමු වටයේදී කාණ්ඩ 4කින් තරග 112ක් පැවැත්වෙන අතර එම තරග ඕවර 30කට සීමා වෙයි. ඒ ඒ කාණ්ඩයන්ගේ පළමු හා දෙවැනි ස්ථානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. අනතුරුව අවසන් පූර්ව වටයේ තරගවලින් ජය ගන්නා කණ්ඩායම් 2 අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. අවසන් පූර්ව තරග 2න් පරාජය වන කණ්ඩායම් 2 තෙවැනි ස්ථානය සඳහා තරග කරනු ලැබේ. අවසන් පූර්ව තරග හා අවසන් තරග ඕවර 45 තරග ලෙසින් පැවැත්වේ.

තරගාවලියේ ජයග්‍රාහකයන්ට ‘නෙල්සන් මෙන්ඩිස් අභියෝගතා කුසලානය’ පිරිනැමෙන අතර අනුශූරයන්ට සී.සී.සී අභියෝගතා කුසලානය, තරගාවලියේ හොඳම පිතිකරු, පන්දු යවන්නා, පන්දු රකින්නා, කඩුලු රකින්නා හා තරගාවලියේ වීරයාටද විශේෂ කුසලාන, පදක්කම් හා සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. අර්ධ අවසන්, අවසන් පූර්ව හා අවසන් තරගවල වීරයන්ටද, තරගාවලියේ හොඳම විනය ගරුක කණ්ඩායම හා පිට පළාත්වලින් ශූර කණ්ඩායමටද විශේෂ කුසලාන පිරිනැමීමටද නියමිතය‍.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය මේ මස 25වැනිදා ප.ව.6.30 සිට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහි ප්‍රධාන ආරාධිතයා‍ ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකුවූ අනුර තෙන්නකෝන් මහතා සහභාගිවීමට නියමිතය.

මේ තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව දිනාගැනීමට ෆින්ගාරා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සමත්වූ අතර අනුශූරතාව සී.සී.සී පුහුණු පාසලට හිමිවිණි.


නව අදහස දක්වන්න

Or log in with...