රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ රූ අසිරි සිත්තම් ප්‍රදර්ශනය | දිනමිණ

රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ රූ අසිරි සිත්තම් ප්‍රදර්ශනය

වලස්ගල සමූහ - ලක්ෂ්මන් කුමාරසිංහ

අද පවතින තරගකාරී අධ්‍යාපනය තුළ දරුවන් සෞන්දර්යය විෂයයන් වලින් ඈත් වෙලා. සමබර පෞරුෂයක් ගොඩනගා ගන්නට නම් ගොඩ නැගෙන්නට නම් සෞන්දර්යය වින්දනය දියුණු කළ යුතුයි. මුදල් මත සියලු දේ මනින සමාජයක මවුපියන් ළමයින් යොමු කරන්නේ මුදල් හම්බකරන්නට පුළුවන් ක්ෂේත්‍ර වලටයි. සෞන්දර්ය ක්ෂේත්‍ර වලින් මුදල් හම්බකරන්නට බැහැ.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක්ස් මහතා එසේ පැවසුවේය. මාර/රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ රූ අසිරි සිත්තම් -2017 නමින් එම විදුහලේ සිසුන් ඉදීරිපත් කළ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කරමිනි. එම චිත්‍ර ප්‍රදර්ශනය විදුහල්පති විමල් කෝට්ටගොඩ මහතාගේ අනුශාසනා පරිදි පසුගියදා විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙසේ කීය.

සෑම දරුවකුටම කුමක් හෝ සෞන්දර්යය හැකියාවක් තිබෙනවා. ගුරුවරු හෝ මවුපියන් විසින් එම හැකියාව අඳුනාගෙන දරුවා ඉදිරියට ගෙන යා යුතුයි.අද පාසල් වල සෞන්දර්ය විෂය උගන්වන්නට ප්‍රමාණවත් ගුරුවරු නැහැ.ඇතැම් පාසල් වල වෙනත් විෂයන් උගන්වන ගුරුවරු සෞන්දර්ය විෂය උගන්වනවා.ඒ ගැන අපි සතුටු වෙනවා. සෑම පාසලකම මෙවැනි චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්නේ නම් ළමයින් තුළ තිබෙන සෞන්දර්ය හැකියාවන් මතුකර ගන්නට හැකි වේවි. මවුපියන් දරුවන් තල්ලු කරන්නේ මුදල් හම්බුකරන්නයි. ඔවුන් මුදල් පසුපස හඹා යනවා මිසක් මවුපියන් ගැන හොයන්නේ නැහැ.පසුව මවුපියන් දරුවන්ට දොස් නගනවා.අපිව දාලා යනවා කියලා.මිනිසකුගේ සෞන්දර්යාත්මක වින්දනය දියුණු කරන්නේ නම් මිනිසුන් අතර ගැටුම් ප්‍රශ්න ඇති වන්නේ නැති බවද අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න