රාජ්‍ය ආයතන සියයට 80ක තොරතුරු නිලධාරීන් පත් කොට අවසන් | දිනමිණ

රාජ්‍ය ආයතන සියයට 80ක තොරතුරු නිලධාරීන් පත් කොට අවසන්

මහින්ද අලුත්ගෙදර

ශක්තිමත් ආර්ථික වර්ධනයක් කරා යන ගමනේ දී තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කොට තොරතුරු දැන ගැනීමේ පනත සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතියෙන් සියයට 80ක පමණ දැනටමත් තොරතුරු නිලධාරීන් පත්කර අවසන් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා අවධාරණය කළේය.

ඒ ඒ ආයතනවල පවතින සංකීර්ණ ස්වාභාවය හේතුවෙන් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කිහිපයක පමණක් එම කටයුතු ප්‍රමාද වී තිබෙන බව සඳහන් කළ ඒ මහතා මේ දක්වා තොරතුරු නිලධාරීන් පත් කර නොමැති සෑම ආයතනයකම ප්‍රධානියා පනතේ සඳහන් වන ආකාරයට තොරතුරු නිලධාරියා බවට පත්වන බවද කියයි. ඒ අනුව තොරතුරු ලබාදීමේ ප්‍රමාදයක් ඇති විය නොහැකි අතර මේ වසරේ දී සියලු නිලධාරීන් පුහුණු කරන බවද ඒ අනුව මේ පනත සියයට 100ක ක්‍රියාකාරිත්වයක් අත්පත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

තොරතුරු දැනගැනීමේ පනත මේ වන විට ක්‍රියාත්මක වන අතර මේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය විශාල වැඩකොටසක් කරගෙන යන බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා තොරතුරු කොමිෂන් සභාව ස්වාධීන කොමිෂමක් වශයෙන් මේ වන විට ස්ථාපිත කර තිබෙන බවද මෙය අපේ රටට නව නීතියක් බවද සඳහන් කළේය. විවෘත ආණ්ඩු ප්‍රවර්ධනයක් මේ හරහා අපේක්ෂා කරන බව සඳහන් කළ ඒ මහතා රජයේ කටයුතු විනිවිඳව පෙනෙන ආකාරයට සහ මහජනතාවට වගකියන ආකාරයට මෙන්ම මහජනයා රාජ්‍ය ආයතන නීතියෙන් බැඳ තබාගන්නා නීති පද්ධතියක් බවද මෙය නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා නව වැඩ සංස්කෘතියක් අවශ්‍ය වන බවද පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් අවශ්‍ය පුහුණු කිරීම් කරගෙන යන බවද හෙතෙම කීවේය.

මේ අතර මෙවැනි පනත් සම්මත කරගත් රටවලින් ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් පනතේ ක්‍රියාකාරිත්වය ඇති කර තිබෙන බව කී කරුණාරත්න පරණවිතාන මහතා දැනටමත් මේ පනත සඳහා ශ්‍රී ලංකාව ඉහළ පිළිගැනීමක් අත්කර ගෙන තිබෙන බවද දැනටමත් එහි පවතින අඩුපාඩු සම්පූර්ණ කරගෙන ඉදිරියට ගමන් කරන බවද සඳහන් කළේය.

පසුගිය 2016 වසරේ අගෝස්තු මස 4 දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මේ වසරේ පෙබරවාරි මස 3 දා සිට බලාත්මක වන අතර තොරතුරු පමණක් නොව ගත වූ වසර 10ක කාලය තුළ ඕනෑම තොරතුරක් රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටීමට මේ අනුව මහජනතාවට අයිතිය හිමිවෙයි.

මෙය තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, තොරතුරු නිලධරයන් පත්කිරීම සඳහා ද, තොරතුරු ලබාගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිස ද වූ පනතකි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 14 අ ව්‍යවස්‌ථාව මඟින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර තිබෙන අතර තොරතුරු ලබාගැනීමට ජනතාවට ඇති අයිතිය බලාත්මක කිරීම මඟින් අමාත්‍යාංශ ඇතුළු සියලු රජයේ ආයතනවල විනිවිද භාවයක්‌ ඇති වේ. ඒ ඔස්‌සේ රටේ ජනතාවට යහපාලනය සඳහා වැඩිවශයෙන් සහභාගි වීමට අවස්‌ථාව උදාවෙයි. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සක්‍රීය ලෙස බලාත්මක කිරීමේ වගකීම ජනමාධ්‍ය ඇමැතිවරයාට පැවරෙන අතර ඒ අනුව මධ්‍යම ආණ්‌ඩුවේ පළාත් සභා හා පළාත් පාලන ආයතන හා ඒවා යටතේ ඇති සංස්‌ථා, මණ්‌ඩල සහ දෙපාර්තමේන්තුවල තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම රටේ සෑම පුරවැසියෙකුටම හිමිවෙයි. 

නව අදහස දක්වන්න