දෙවිනුවරට ලක් ස.තො.ස ශාඛාවක් | දිනමිණ

දෙවිනුවරට ලක් ස.තො.ස ශාඛාවක්

සිංහල අවුරුදු සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහල නැංවීම හා වෙළඳ ඒකාධිකාරය අවම කිරීම පරමාර්ථයෙන් රජය විසින් දිවයින පුරා ලක් ස.තො.ස ශාඛා පන්සියයක් ආරම්භ කිරීම යටතේ  දෙවිනුවර නගරයේ ශාඛා වෙළඳසැලක් ආරම්භ කිරීමට හැකි වීම යහපාලන රජයේ යටතේ ජනතාව ලද විශේෂ වරප්‍රසාදයක් යැයි දෙවිනුවර එ.ජා.ප. ප්‍රධාන සංවිධායක හා දික්වැල්ල දෙවිනුවර සම්බන්ධීකරණ කමිටු සම සභාපති එච්.ආර්.විමලසිරි මහතා ප්‍රකාශ කළේය.
 
දෙවිනුවර නගරයේ ලක් ස.තො.ස 345  වැනි ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ආසන සංවිධායක වරයා එසේ අදහස් පල කරන ලදී.
 
අවුරුදු සමයේ දී ඇතැම්  පෞද්ගලික ව්‍යාපාරිකයින් ආහාර ද්‍රව්‍ය වලට අධික මිල අය කරන අතර බාල වර්ගයේ භාණ්ඩ නොවටිනා මිල ගණන් යටතේ ජනතාවට අලෙවි කරන බවත් , භාණ්ඩ හිඟයක් මවා පාමින් රජය අසීරු තත්වයකට පත් කරන බවත් ප්‍රකාශ කල විමලසිරි මහතා මේ තත්වය මැනවින් වටහා ගත්  ජනාධිපතිතුමාගේත් , අගමැතිතුමාගේත් උපදෙස් මත දිවයින පුරා ලක් ස.තො.ස ශාඛා ජාලය තවත්  පන්සියයකින් වැඩි කර උත්සව සමයේ පාරිභෝගිත ජනතාවට පහසුකම් සැපයීමේ පියවර ගෙන ඇති බව ද විමලසිරි මහතා අවධානය කළේය.
 
මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මාධ්‍යයේ ලක් ස.තො.ස ශාඛාව  විවෘත කිරීමෙන් ජනතා අයිතියට පැවරීම සිදු විය.
 
දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක තුෂාර විජේසූරිය , ලක් ස.තො.ස මාතර ප්‍රාදේශීය කළමණාකරු ඇම්. දිසානායක යන මහත්වරු ද උත්සව සභාව අමතනු ලැබීය.
 
(දික්වැල්ල විශේෂ - ජී.සිරිසේන)

නව අදහස දක්වන්න