ලිවීම කියන්නේ ඉවර වෙන්නැති සිහිනයක් | දිනමිණ

ලිවීම කියන්නේ ඉවර වෙන්නැති සිහිනයක්

කාංචනා අමිලානි
මායා බෑන්ක්ස්

මායා බෑන්ක්ස් අමෙරිකානු ප්‍රේම කතා ප්‍රවර්ගයේ ඉහළම විකුණුමක් සලකුණු කළ ලේඛිකාවකි. මේ වන විට ඈ විසින් රචිත නවකතා ප්‍රමාණය 50කි. මේ ඈ සමඟ කළ සාකච්ඡාවක පරිවර්තනයකි.

ප්‍රේම වෘතාන්ත ලිවීමේ ප්‍රකට ඔබ එහිත් නොයෙක් දිශා කරා ලිවීම විහිදුවා තිබෙනවා. සමකාලීන පසුබිම වටා මෙන්ම ඉතිහාසය වටාත් ඔබේ ප්‍රේම වෘතාන්ත ගෙතී තිබෙනවා. මේ සියල්ල අතරින් ලිවීමට ඔබ වඩාත් ප්‍රිය කරන ආකාරයක් තිබෙනවාද?

ප්‍රේම වෘතාන්ත ලියද්දි තවත් එකකට වඩා ප්‍රිය කරන වෙනත් රටාවක් මට නෑ. මොකද එහෙම වෙනසක් මට දැනෙන්නෙ නැති නිසා. ඒ නිසාම මේ ප්‍රශ්නෙත් ටිකක් විතර මට අමුතුයි. මම හිතන්නේ ඔබ ඔය කියන ඕනෑම වර්ගයක් ඔස්සේ ලිවීමේ හැකියාව මට තියෙනවා කියලයි. එහෙම වර්ගයෙන්, වර්ගයට වෙනස් විදිහට ලිවීමෙන් මම ලබන්නේ වෙනස්ම විදිහෙ අත්දැකීමක්. හැම නවකතාවක්ම මට අලුත් යමක් ගේනවා. ඒ වගේම ඒ හැම වර්ගයකම නවකතාවක් ලියන්න ගත්තම මගේ සම්පූර්ණ උනන්දුව ඒක වෙතටයි කේන්ද්‍ර වෙන්නේ.

ඔබ ලේඛකයෙක් වෙයි කියලා මුල ඉදන්ම දැනගෙන හිටිය කෙනෙක්ද?

මම හිතන්නේ ලේඛකයෙක් වෙයි කියලා මුල ඉදන්ම දැනගෙන ඉන්න එකයි, නිතරම ලිව්ව එකයි කරුණු දෙකක් කියලයි. මගේ මුළු ජීවිත කාලෙම මම ලිව්වා. ඒ ලියපු සියලුම දේ අයිති වෙන්නෙත් ප්‍රේම වෘතාන්ත ගණයට. ඉතාම කුඩා කාලෙ ඉඳන්ම දිග නවකතා ලියන එකයි මම කළේ. විෂයන් පහක් ලියන්න තියෙන සටහන් පොතේ හැම අස්සක් මුල්ලක් ගාණෙම මම නවකතා ලිව්වා. නමුත් කවදාහරි පොතක් මුද්‍රණය කරන්න ඕනා කියලා හරි ලේඛකයෙක් වෙන්න ඕනා කියලා හරි අදහසක් මට තිබුණේ නෑ.

ලිවීම කියන්නේ ඉවර වෙන්නැති සිහිනයක් වගේ එකක්. හිස් වෙන හැම් පාරකම ඒක ආයෙ පිරෙනවා. මම වැඩිහිටියෙක් වෙලා තුන්වැනි දරුවා ලැබුණටත් පස්සෙයි ලේඛකයෙක් වෙන්න ඕනා කියන අදහස මට ඇති වුණේ. ඇයි මම උත්සාහ කරලා නොබලන්නෙ කියලයි එතකොට මට හිතුණේ. තවත් නැතිවෙන්න මුකුත් එතකොට නැහැ කියලයි මට හිතුණේ. මම දැක්ක හීන මුද්‍රණය කරලා බැලීමෙන් මට මුකුත්ම නැති වෙන්නෙ නෑ කියලා ඒත්තු ගන්වාගන්නත් තරමක් කාලයක් ගත කරන්න වුණා. අවුරුදු හතරක් විතර අරගෙන, ප්‍රකාශකයෝ දෙන්නෙක් එක්ක ගිවිසුමකට එළැඹිලා මගේ පළවෙනි නවකතාව ලියන්න ගත්තා. එහෙම තමයි අනපේක්ෂිත ලේඛකයෙක් වීමේ දීර්ඝ ගමන පටන් ගත්තේ.

ඔබේ රසිකයන් වැඩියෙන් කතා කළ, ඒ අය උන්මාදයට පත් කළ විශේෂ නවකතාවක් ගැන සඳහන් කරන්න හැකියාවක් තියෙනවද? එහෙම නවකතාවක් තියෙනවද?

එහෙම නවකතා එකක් නෙවෙයි දෙක, තුනක්ම තියෙනවා. Sweet Persuasion,the hero, Damon Roche කියන පොත් ගැන එහෙම ලොකු උන්මාදයකින් මගේ පාඨකයෝ කතා කළා.

ඔබ ලිවීමේ නිරත නොවන වෙලාවට කියවීමට ප්‍රිය කරන කෘති මොනවද? මෑතකදී එසේ කියවා දැඩිව බැඳුණු කෘති මොනවාද?

මගේ කියවීමේ රුචිය විදුලිය වගේ වේගවත්ව වෙනස් වෙන එකක්. හැබැයි ඉතාම ලේසියෙන් මාව සතුටට පත් කරන්නත් පුළුවන්. කියවන ඕනෑම පොතක ප්‍රේමය සම්බන්ධ කතන්දරයක් තියෙනවා නම් මම සතු‍ටුයි. ඒක තමයි මම ඉල්ලන ප්‍රධානම කාරණය. විවිධ ශානර ඔස්සේ ලියැවුණු විවිධ පෙම් කතා මගේ කියැවීමේ ලැයිස්තුවේ තියෙනවා. නමුත් ඒවා එකින් එක කියන්න නම් හැකියාවක් නැහැ.

ලිවීමේ නිරත වෙන්න ඕනෑ කරන වෙනත් අලුත් ශානරයක් තිබෙනවාද?

ඇත්තම කිව්වොත් එහෙම වෙනත් වර්ගයක් අත්හදා බලන්න මගේ අදහසක් නෑ. මොකද මේ වෙනකොට මගේ සීමාව ඇතුළේ, ප්‍රේම කතා ප්‍රවර්ගය අැතුළේ මට ලියන්න පුළුවන් හැම වර්ගයකින්ම ලියලා ඉවරයි කියලයි හිතන්නේ. ඒ නිසා තවත් මාදිලියක් හෝ ශානරයක් ගැන වධ වීමේ අවශ්‍යතාවයක් මට නෑ.

ලිවීමේදී ඔබ වේගය සහ අධික වේගය ප්‍රිය කරන ලේඛිකාවක්ද?

මගේ නවකතාවලදී ඉතාම සංයමයෙන් සහ සෙමින් චරිත ගොඩනඟා ගන්නයි මම උත්සාහ කරන්නේ. වේගය සහ අධික වේගය මාව නිර්වචනය කරන්න ඔබින වචන නෙවෙයි. එහෙම වේගයෙන් ලියන්න හැකියි කියලත් මම හිතන්නෙ නෑ. චරිතයක් ඉල්ලා සිටින යම්, යම් ගති ලක්ෂණ රාශියක් නිතරම තියෙනවා. ඒවා චරිතයට කවන්න නම් වේගය විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ලොකු ඉවසීමක් සහ සැලසුම්සහගත බුද්ධියකින් කටයුතු නොකළොත් සියල්ල අවුල් වෙලා යන්න පුළුවන්.

නවකතාවක් ලියන්න ඔබ කොපමණ කාලයක් ගත කරනවාද?

ඒක එක්, එක් පොතට වෙනස් වෙනවා. කතාවේ ස්වාභාවය අනුවයි ඒක ලියලා ඉවර කරන්න ගතවෙන කාලය ගැන අදහසකට එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මට කාලය ගැන නිශ්චිත අදහසක් කියන්න අපහසුයි.

ලිවීමට නොහැකිව ගතවෙන කාලයක් (රයිටර්ස් බ්ලොක්) ඔබටත් තිබෙනවාද?

මට නම් එහෙම කාලයක් ගත කරන්න සිද්ධ වෙලාම නෑ. ඒ නිසා එහෙම දෙයක් තියෙනවා කියලා පිළිගන්නත් මම මැළි වෙනවා. ලියන්නෙ නැතිව ඉන්න බැරිකමක් මිස නොලියා ඉන්න පොළඹවන කිසිම දෙයක් මට නම් ඇත්තෙ නෑ.

නව අදහස දක්වන්න