සභාපති කුසලාන පාපන්දු අවසන් ගැටුම හෙට | දිනමිණ

සභාපති කුසලාන පාපන්දු අවසන් ගැටුම හෙට

ප්‍රින්ස් ගුණසේකර
ලීග් සභාපති රාමනාතන් පුවනේන්ද්‍රන්

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ පාපන්දු සමාජය හා ජාවාලේන් අතර හෙට (8) කොළඹ සිටිලීග් පිටියේදී පැවැත්වෙයි. මෙම අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ එකහමාරක් හා අනු ශූරයන්ට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කෙරේ.

එයට අමතරව අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා, හොදම ගෝල් රකින්නා හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට තිලිණ හිමි කෙරේ.සෑම තරගයකදීම කණ්ඩායමකට රුපියල් 5000 බැගින් හා තරගාවලිය වෙනුවෙන් සෑම කණ්ඩායමකටම විශේෂිත ඇදුමක් ලබාදීමට පියවර ගෙන තිබිණි. දෙවැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම වියදම් සිටි ලීග් සභාපති රාමනාතන් පුවනේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික මුදලින් දැරීම විශේෂත්වයකි.

මෙහි අවසන් පූර්ව වටයේදී කොළඹ පාපන්දු සමාජය වෙතින් රිනවුන් ක්‍රීඩා සමාජය ගෝල් 2-1කින් පරාජය කළ අතර ජාවාලේන් ගෝල් 2-0කින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය පරාජය කලේය.

ජාවාලේන් ක්‍රීඩා සමාජය වසර 7කට පසුව අවසන් මහාතරගයකට සුදුසුකම් ලැබූ අතර වසර 2010දී අසාත් සාලී කුසලානය දිනාගත් පසුව පාපන්දු ශූරතාවක් දිනා ගැනීමට සමත්ව නැත. එබැවින් ඔවුන්ට මෙම අවසන් තරගය විශේෂ වූවකි.ජාවාලේන් පිල මේ තරගාවලියේ සහභාගීවූ සියලු තරග ජයගෙන අපරාජිතව ඉදිරියට පැමිණි අතර කොළඹ පාපන්දු සමාජය හමුවන්නේ වසර දෙකකට පමණ පසුවය. අවසන් වරට කොළඹ හා ජාවාලේන් අතර පැවැති තරග තුනකින් කොළඹ පිල ජය වාර්තා කළද, වසර 2013දී පළමු පෙළ තරගාවලියේදී ජාවාලේන් ගෝල් 2-1කින් සිටිලීග් පිටියේදී කොලඹ පිල පරාජයට පත් කළේය.

කොළඹ පාපන්දු සමාජය නිමාවූ චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේදී ශූරතාව දිනාගෙන සිටින අංක එකේ පාපන්දු කණ්ඩායම බැවින් තම ජයග්‍රාහී බව අඛණ්ඩව රැක ගැනිම මෙම අවසන් මහා තරගයේදී එකම අපේක්ෂාව බවට පත්ව ඇත.


නව අදහස දක්වන්න