ජනප්‍රිය පාසල් පෙන්වා රු. ලක්ෂ 10ක් වංචා කරලා | දිනමිණ

ජනප්‍රිය පාසල් පෙන්වා රු. ලක්ෂ 10ක් වංචා කරලා

කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිදුකුල

මීගමුවේ ජනප්‍රිය පාසල් අතරට වැටෙන මාරිස්ටෙලා, නිවුස්ටෙඩ්, ආවේ මරියා යන විද්‍යාලවල පළමු වසරට හා ප්‍රාථමික පන්තිවලට ළමයි ඇතුළත් කර දෙන බවට පවසා එම ළමයින්ගේ මවුපියන් වංචා සහගත ලෙස මුලාකර රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක් අප්‍රේල් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා 31 දා නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතවූයේ උ. කඳවල දෙමං හන්දිය පදිංචි කාන්තාවකි.

මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි දොඹවලානේ ලලිත් ගුණරත්න ප්‍රනාන්දු, සන්ධ්‍යා කුමුදුනී ප්‍රනාන්දු, දොන් කැන්සීඩා සේනානායක යන තිදෙනෙකුගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇතැයි මීගමුව පොලිසියට යොමුකර ඇති පැමිණිල්ලේ සඳහන්ය.

මෙම මුදල් සැකකාර කාන්තාව විසින් කොටස් වශයෙන් පැමිණිලිකරුවන්ගෙන් 2016 වර්ෂයේ ලබාගෙන ඇත්තේ 2017 වර්ෂයේ ජනවාරියේදී ළමයි පාසලට ඇතුළත් කර දෙන බවට දෙන පොරොන්දු මතය පැමිණිලි පක්ෂයේ අය විසින් සැකකාර කාන්තාවගේ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර ඇති බව ද පොලිසිය අධිකරණයට කරුණු දැක්වීමේදී ප්‍රකාශ කළේය.

රුපියල් හාරලක්ෂ හැත්තෑපන්දහස බැගින් දෙදෙනෙකුගෙන් ද, රුපියල් ලක්ෂ දෙකක් අනෙක් අයගෙන් ද වශයෙන් මෙලෙස මුදල් ලබාගෙන තිබේ.

ආවේ මරියා විද්‍යාලයට ළමයි ඇතුළත් කර දෙන බවට බොරු පොරොන්දු දී මීට පෙර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම සැකකාර කාන්තාව චෝදනා ලැබ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබේ.

මීගමුව පොලිසියේ කොස්තාපල් (56351) සරත් කුමාර මහතා පැමිණිල්ල මෙහෙයවන ලද අතර විත්තිය වෙනුවෙන් නීතිඥ සකුල ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පෙනී සිටියහ. 

 

නව අදහස දක්වන්න