සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශයට අමුතු සන්නියක් | දිනමිණ

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශයට අමුතු සන්නියක්

විෂය නිර්දේශය සංශෝධනය යනු මූලික සැලැස්මක් අනුව හා පූර්ව පර්යේෂණයක් අනුව, ශාස්ත්‍රීය ප්‍රමිතීන්ට අනුකූලව එසේ ම, ශාස්ත්‍රීය අවංකභාවයකින් යුක්තව කළ යුතු සද්කාර්යයකි. එහෙත්, මේ විෂය නිර්දේශය සංශෝධනය කිරීමේ දී, එය එසේ නොවූ බව එයට සහභාගී වූවෝ මෙන් ම, ජාතික අධ්‍යාපන ආයතනයේ සමහර නිලධාරීහු ද පවසති.

මේ වනවිට 2016 වසරේ අපොස (සා/පෙළ) විභාගය සඳහා පෙනීසිටි සිසුන්ගේ ප්‍රතිඵල පිටව තිබේ. ඔවුන් යුහු යුහුව බලා සිටින්නේ, අලුත් අවුරුද්දෙන් පසු අපොස (උ/පෙළ) විෂයයන් හැදෑරීම සඳහා අලුත් පන්තිවලට යාමට ය. ඒ සඳහා අපේක්ෂා දල්වා සිටින ඔවුන් මේ වසරේ සිට ඉගෙන ගන්නේ පෙර වසරේ සිසු සිසුවියන් ඉගෙන ගත් විෂය නිර්දේශයට වඩා තරමක් වෙනසකට ලක්වූ සංශෝධිත විෂය නිර්දේශයකි. එහෙත්, අපොස (උ/පෙළ) සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින සිසු සිසුවියන්ට නම්, නව විෂය නිර්දේශය මේ වසරේ ලැබේද? නැද්ද? කියා දෙගිඩියාවෙන් සිතන්නට සිදුව ඇත්තේ, අනෙක් විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් මේ වනවිට සකසා නිමවී, අවශ්‍ය ගුරු පුහුණුව පවා ඔවුන්ට ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය මේ වනවිටත් කටයුතු කර ඇතත් සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය තවමත් රහසිගත ලියැවිල්ලක් බවට පත්ව ඇති බැවිනි.

විෂය නිර්දේශය සංශෝධනය යනු මූලික සැලැස්මක් අනුව හා පූර්ව පර්යේෂණයක් අනුව, ශාස්ත්‍රීය ප්‍රමිතීන්ට අනුකූලව එසේ ම, ශාස්ත්‍රීය අවංකභාවයකින් යුක්තව කළ යුතු සද්කාර්යයකි. එහෙත්, මේ විෂය නිර්දේශය සංශෝධනය කිරීමේ දී, එය එසේ නොවූ බව එයට සහභාගී වූවෝ මෙන් ම, ජාතික අධ්‍යාපන ආයතනයේ සමහර නිලධාරීහු ද පවසති.

ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 1999 වර්ෂයේ අග භාගයේ දී ය. පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීම, ගුරුවරුන් සඳහා මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් පැවැත්වීම, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශ සම්පාදනය හා ඒවා පාසලට හඳුන්වා දීම මේ ව්‍යාපෘතියේ මූලික කාර්යය විය. ඒ අනුව 2000 වර්ෂයේ දී පාසල් මාධ්‍ය සමාජ ආරම්භ කරන ලද අතර, මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව 2002 දී පවත්වනු ලැබිණි. 2006 දී සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය 10 හා 11 ශ්‍රේණි සඳහා හඳුන්වා දෙනු ලැබිණි. එහි අරමුණ වූයේ සාමාන්‍ය පෙළ විෂයයක් වශයෙන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඉගැන්වීම ය. එම සිසුන්ට උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හඳුන්වා දුන්නේ 2008 වර්ෂයේ දී ය. මාධ්‍ය අධ්‍යාපනය ව්‍යාපෘතිය යටතේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයේ නිල කටයුතු ක්‍රියාත්මක කරන ලද්දේ ජාතික අධ්‍යාපන ආයතනයේ භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය යටතේ පැවැති සිංහල භාෂා දෙපාර්තමේන්තුව මගිනි.

විෂයමාලාවේ අරමුණ

සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය සම්පාදනය කරන ලද්දේ, යොවුන් වියේ දරුවන්ට අවශ්‍ය සන්නිවේදන නිපුණතා අත්පත් කර දීම අරමුණු කර ගෙන ය. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්පාදනය කරන ලද්දේ එම විෂයය ඉගෙන ගන්නා දරුවන්ට අනාගතයේ දී ජාතික සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමටද, රට තුළ පවත්නා ජාතික අර්බුදය මූලික කර ගෙන සහජීවනයෙන් ජීවත් වීමට අවශ්‍ය නිපුණතා අත්පත් කර දීමට ද, අසීමිතව පැතිරෙමින් පවත්නා මාධ්‍ය සංස්කෘතිය තුළ ස්වාධීනව ජීවත් වීමට අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව අත්පත් කර දීමද, පොදුවේ සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ නිපුණතා අත්පත් කර දීමද අරමුණු කර ගෙනය.

මේ අනුව උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය කිසිසේත් විශ්වවිද්‍යාල ප්‍රවේශ විෂයයක් ලෙස සම්පාදනය කරනු නොලැබිණි. එබැවින් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල සන්නිවේදනය හා මාධ්‍ය උගන්වන ආකෘතියට වඩා උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය වෙනස් විය. 2015 වසරේ සිට පාසල් විෂය නිර්දේශ සංශෝධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙමින් පැවතිණි.

ඒ අනුව 10 හා 11 ශ්‍රේණිවලට නියමිත විෂය නිර්දේශ සංශෝධනය කරන ලදුව, 2013 වර්ෂයේ මැද භාගය වන විට ඒවා ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් අනුමත කර තිබිණි.1999 වර්ෂයේ සිටම මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතියේ ප්‍රධානී ලෙස කටයුතු කළ බන්දුල පී.දයාරත්න මහතා 2013 ජුනි 30 වැනි දින ජාතික අධ්‍යාපන ආයතනයේ සේවයෙන් විශ්‍රාම ගිය අතර, ඉන් පසුව ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල භාෂා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට ඒ. නීලමණී මහත්මිය බඳවා ගනු ලැබිණි. විද්‍යුත් ප්‍රචාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට රුවිනි ගුණවර්ධන මහත්මිය බඳවා ගැනීමට එවකට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ මහාචාර්ය අබේරත්න බණ්ඩාර කටයුතු කළේ ය.

ප්‍ර‍මිති බිඳීම

ඔවුන් දෙදෙනාම ඒ තනතුරු සඳහා අවම සුදුසුකම් නොතිබූ අය බව පැවසේ. සිංහල භාෂා දෙපාර්තමේන්තුව විෂය මාලා සංවර්ධන කාර්යයෙහි බලය ලත් ශාස්ත්‍රීය දෙපාර්තමේන්තුවක් වූ අතර, විද්‍යුත් ප්‍රචාර දෙපාර්තමේන්තුව විෂය මාලා සංවර්ධන කාර්යයෙහි බලය නොලත්, මාධ්‍ය නිෂ්පාදනය කාර්යයෙහි නියුක්ත දෙපාර්තමේන්තුවක් විය. 2013 අග භාගයේ දී අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා විසින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය සිංහල භාෂා දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර විද්‍යුත් ප්‍රචාර දෙපාර්තමේන්තුවට මාරු කරන ලදී. ඒ සමඟ සිංහල භාෂා දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර සිටි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.නීලමනී මිය විද්‍යුත් ප්‍රචාර දෙපාර්තමේන්තුවට මාරු කරන ලදී.

පසුව සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය ඒ. නීලමණීට ද, උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය විද්‍යුත් ප්‍රචාර දෙපාර්තමේන්තුවට බඳවා ගෙන සිටි රුවිනි ගුණවර්ධන මියට ද පවරා ඇත. එය සමහරු දකින්නේ, ජාතික අධ්‍යාපන ආයතනයේ සියලූ ශාස්ත්‍රීය ප්‍රමිති උල්ලංඝනය කරමින් සිදු කරන ලද්දක් ලෙසට ය. මෙවැනි ශාස්ත්‍රීය පර්යේෂණයක් ජාතික අධ්‍යාපන ආයතනයේ සිදුවූ පළමු අවස්ථාව මෙය බව ද බොහෝ දෙනා පවසති.

විෂය සංශෝධනය

මහාචාර්ය අබේරත්න බණ්ඩාර ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉවත් කිරීමෙන් පසු එමතනතුරට පත් කරනු ලැබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ද, ඉන් පසුව එම තනතුරට පත් කරන ලද මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ද මේ ශාස්ත්‍රීය පර්යේෂණය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන ගියහ.

මේ අනුව උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය සංශෝධනය කිරීමේ කාර්යයට අදාළව රුවිනි ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද ලිපි ගොනු සඳහා අනුමැතිය ලබා දුන්නේ එවකට ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග අධ්‍යක්ෂව සිටි සනත් පූජිත මහතා හා විද්‍යා හා තාක්ෂණික පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන සිඩ්නි ජයවර්ධන මහතා විසින් බව ආයතනයේ නිලධාරීහු පවසති.

තමන්ගේ පීඨයට අයත් විෂයයක් මේ ආකාරයෙන් ශාස්ත්‍රීය පර්යේෂණයකට ලක් වන අතර, එය අයිති භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන හිමියෝ කිසිදු මැදිහත් වීමක් නොකළ බව ද ඔහුහු පවසති. විෂය මාලා සංශෝධනයක් සඳහා කිසිදු ආකාරයක ශාස්ත්‍රීය පළපුරුද්දක් නොතිබූ රුවිනි ගුණවර්ධන මිය තමන්ගේ පෞද්ගලික අභිමතය අනුව යමින් මේ විෂය නිර්දේශය සැකැසීම සඳහා එතෙක් කටයුතු කළ සියලු දෙනා ම ඉවත් කර, මහාචාර්ය සමන්ත හේරත් විෂය සංශෝධන මණ්ඩලයේ ප්‍රධානි වශයෙන් පත් කර ගත් බව පැවසේ. ඉන් පසු මහාචාර්ය ආරියරත්න ඇතුගලද, කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස යන මහත්වරු ද එම මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වශයෙන් බඳවා ගෙන ඇත.

මේ කාර්යය සඳහා යෝග්‍යතාවක් නොමැති ගුරුවරුන් සම්පත් දායකයන් වශයෙන් තෝරාගෙන, විෂය නිර්දේශ සංශෝධන කාර්යයට අතගැසුව ද තවමත් එය සිදුව නැති බව ජාතික අධ්‍යාපන ආයතනයේ සමහර නිලධාරීහු පවසති.

මහාචාර්ය සමන්ත හේරත් පාසල් මාධ්‍ය අධ්‍යාපනයට කිසිදු සම්බන්ධතාවක් තිබූ කෙනෙක් නොවන බවත්, මහාචාර්ය ආරියරත්න ඇතුගල එක ම අවස්ථාවක දී පමණක් සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය සමාලෝචනය කිරීමට සහභාගි වී ඇති බවත් ය. ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා සන්නිවේදනය පිළිබඳ විද්වතකු ලෙස සැලකුවත්, සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ පාසල් විෂය නිර්දේශයක් සංශෝධනය කිරීමට අවශ්‍ය අත්දැකීම් හා පළපුරුද්ද සහිත කෙනකු නොවන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

උ.පෙළ විෂය නිර්දේශ මුල්වරට සැකසීමේ දී එම මණ්ඩලයේ සිටි ආචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය කමල් වලේබොඩ වැන්නන් පමණක් නොව, මේ විෂය ආරම්භ කිරීමේ මූලිකයා වූ බන්දුල පී.දයාරත්න මහතා ද එයින් ඉවත් කරන්නට රුවිනි ගුණවර්ධන කටයුතු කිරීම නොකළ යුතුව තිබූ බව බොහෝදෙනා පවසති.

කෙසේ වුව 2017 වසර සඳහා උ.පෙළ අනෙකුත් විෂය නිර්දේශ සංශෝධන මේ වනවිට සැකසී ඇතිමුත්, උ.පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයට අදාළ විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් මේ වනවිට සකසා අවසන්ව නැති බව පැවසේ.

කොළඹ ප්‍රදේශයේ පාසලක උ/පෙළ සන්නිවේදන ආචාර්යවරයකුගෙන් නව විෂය නිර්දේශය පිළිබඳ ඔහු දන්නා තොරතුරු පිළිබඳ විමසීමක් කළවිට ඔහු පවසා සිටියේ, තමන් දන්නේ 2017ට එන්න තිබෙන සංශෝධිත විෂය නිර්දේශය, 2018 වසරේ දී එන බවට ආරංචියක් පැතිර ඇති බව ය.

අලුත් ළමයින්ට උගන්වන්න බැහැ

මේ විෂය පිළිබඳ දේශකවරයකු වන සී.එම්.පී.එස්.චන්ද්‍රසේකර පවසා සිටියේ,

"රුවිනි ගුණවර්ධන සංශෝධිත නිර්දේශයට අදාළ ලියකියවිලි, ජාතික අධ්‍යාපන ආයතනයට ලබා දී ඇත්තේ මාස තුනක් පහුවෙලා. එයා මාර්තු 06 වැනිදා තමා ඒවා දීලා තියෙන්නේ. ඒත් මුද්‍රිත කොපිය විතරයි ජාතික අධ්‍යාපන ආයතනයට ලැබිලා තියෙන්නේ. එහි පෙන් ඩ්‍රයිව් එක දීලා නෑ. සංශෝධන කෙටුම්පත් කරනකොට අක්ෂර සංයෝජනය කළ කොපිය අවශ්‍යයි. දැන් ප්‍රතිළුල පිටවෙලා. එත් තාම මේ විෂය නිර්දේශයේ කටයුතු අවසන් වෙලා නෑ. එහෙම වුණහම අපි කොහොමද අලුතින් උපෙළට එන ළමයින්ට මේ විෂය උගන්වන්න සූදානම් වෙන්නේ? මේ අය අනුගමනය කරන මේ ක්‍රමය අනුව නම්, මේ රටේ ඉන්න ඕනැම කෙනෙකුට විෂය නිර්දේශ හදන්න පුළුවන් වෙයි. මේ තැනැත්තිය මේ කටයුත්ත නිම කරන්නේ නැතිව මේ ආයතනයෙන් ඉවත්ව ගිහින් තියෙනවා. ඇගේ ඔළුවෙ තමයි විෂය නිර්දේශය තියෙන්නේ. ඇය ගියාට පස්සේ ඇය වෙනුවට කවුරුත් පත් කරලත් නෑ.

කොහොම හරි මේ නිර්දේශය සැකසුනේ පැරෂුට් ක්‍රමයට කියන එකයි මගේ අදහස. "

විෂය නිර්දේශ සැකසීමට සම්බන්ධ වූ, නම හෙළි කිරීමට අකමැති ගුරුවරයකුගෙන් විෂය නිර්දේශ සකස් කළ ආකාරය සම්බන්ධයෙන් පවතින මතබේදකාරී තත්ත්වය පිළිබඳ විමසීමි.

"විෂය නිර්දේශයේ පාඩම්වල විශාල වශයෙන් වෙනස්කම් වුණේ නෑ. අපි ගුරුවරු විදිහට අපෙන් ලැබිය යුතු සම්පත් දායකත්වය ලබා දුන්නා විතරයි. අප කළ සේවයට ඒ ආයතනයෙන් කළ යුතු ගෙවීම් කළා. මම මේ විෂය නිර්දේශයේ වර්තමාන තත්ත්වය ගැන දන්නේ නෑ. ගැටලුවක් තියෙනවා කියලා විතරක් දන්නවා."

ලිපිගොනු අතුරුදන්

මේ තත්ත්වය පිළිබඳ මේ විෂය නිර්දේශය හඳුන්වාදීමේ දී එහි කටයුතු කළ ආචාර්ය ටියුඩර් වීරසිංහ පවසන්නේ මෙවැන්නකි.

"විෂය නිර්දේශය සංශෝධනය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා කියනවා. ඒ ලිපිගොනු අතුරුදන්ව ඇති බව කියනවා. ඒ ගැන නිශ්චිතව කියන්න මම දන්නේ නෑ. මෙය සංශෝධනය වෙන්නේ කොහොමද කියලා මං දන්නේ නෑ. මේ වනවිට විෂය නිර්දේශ සකස්වෙලා අවසන් විය යුතුයි. එසේ නොවීම නිසා තමයි විවිධ පුද්ගලයන් විවිධ දේ පවසන්නේ.මෙවැනි ගැටලු ඇතිවෙලා තියෙන්නේ."

පාසලට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය සම්පාදනය කර හඳුන්වා දුන් බන්දුල පී. දයාරත්න මහතා.

"පාසල් විෂය මාලාව යනු කඩදාසි ගොනුවක් නොමෙයි. එය මේ රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක්. එබැවින් පාසල් විෂය මාලාවට අයත් විෂය නිර්දේශ සම්පාදනය කිරීම හෝ සංශෝධනය කිරීම කියන්නේ ඉහළ ශාස්ත්‍රීය ප්‍රමිතියකින් යුක්තව හා විධිමත් ශාස්ත්‍රීය ක්‍රියාවලියකින් යුක්තව කළ යුත්තක්. ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව සම්බන්ධයෙන් මේ ශාස්ත්‍රීය වගකීම දරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ආයතනය. මේ වනවිට, උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන ලද අශාස්ත්‍රීය, අවිධිමත් හා දූෂිත ක්‍රියා පිළිවෙළ ජනතාවට හෙළි දරව් කිරීම අත්‍යවශ්‍යයි.

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යනයනය විෂය සංශෝධනය සඳහා රුචිනි ගුණවර්ධනට අනුමැතිය ලබා දී ඇත්තේ එවකට විභාග අධ්‍යක්ෂව සිටි හා විද්‍යුත් ප්‍රචාර වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සනත් පූජිත මහතා විසිනුයි. මේ ශාස්ත්‍රීය අපරාධය නොකරන ලෙස මම පෞද්ගලිකව සනත් පූජිත මහතා හමු වී කරුණු පැහැදිලි කළත්, එයින් පලක් වූණේ නෑ.

2017 දී පාසල්වලට හඳුන්වා දිය යුතු උසස් පෙළ සංශෝධිත විෂය මේ විෂය නිර්දේශ තවමත් රහසිගත ලියැවිල්ලකි.

පාසල් විෂයමාලා යනු රහසිගත ලියවිලි නෙමෙයි. ඒවා පුළුල් වශයෙන් ශාස්ත්‍රීය සාකච්ඡාවට භාජනය කළ යුතුයි.

මේ විෂය නිර්දේශ සංශෝධනය කර ඇත්තේ මුල් විෂය නිර්දේශයේ ගොඩ නංවා තිබූ ශාස්ත්‍රීය ප්‍රමිති අමු අමුවේ උල්ලංඝනය කරමිනුයි. එපමණක් නොව මේ සඳහා කිසිදු ආකාරයක පූර්ව අධ්‍යයනයක් කර නැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ වගේ නිලධාරීන්ගේ හැසිරීම නිසා අවසානයේ විනාශ වන්නේ මේ රටේ දූ දරුවන්ගේ අනාගතයයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපති ලෙස නිල බලයෙන් පත් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයායි. මේ අශාස්ත්‍රීය කටයුතු සිදු වන්නේ එවැනි පසුබිමකයි. මා දැඩිව ප්‍රකාශ කරන්නේ මෙසේ අශාස්ත්‍රීය ලෙස සංශෝධනය කරන ලද උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශ අත් හිටුවා, ඒවා හඳුන්වාදීම 2018 දක්වා කල් දැමිය යුතු බවයි. දෙවැන්න නම් මේ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර පරීක්ෂණයක් පැවැත්වීම හා ඉන් පසු ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමයි. "

විෂය අත්පොත සැකසේ

මේ පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, සැලසුම් හා පර්යේෂණ සනත් පූජිත මහතා පවසා සිටියේ එය තමාට අයත් නොවන බවත්, එම කාර්යභාරය අයත්ව ඇත්තේ භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයට බවත් ය. ඒ නිසා ඒ පිළිබඳ විමසා සිටිය යුත්තේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මාඹුල‍ගොඩ සුමනරතන හිමියන්ගෙන් බව ඔහු පැවසීය. එම හිමියන්ගෙන් විමසූවිට උන්වහන්සේ පවසා සිටියේ, එම සංශෝධිත විෂය නිර්දේශයේ සහ ගුරු අත්පොත් සැකසීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ය. එහෙත් මේ වනවිට අනෙකුත් විෂය නිර්දේශ සකස් කර අවසන්ව, ගුරු පුහුණුව පවා කරගෙන යන නිසා, මේ විෂයට අදාළ ගුරු පුහුණුවීම් කරන්න කාලය ඇත්ද? සහ එය 2018 දී ගෙන එන බවට නැ‍ඟෙන චෝදනාව පිළිබඳ විමසූවිට පැවසූවේ, ඒ සඳහා කාලය ප්‍රමාණවත් බව ය.

" විෂය නිර්දේශය අවශ්‍ය වෙන්නේ දැන් 12 ශ්‍රේණියෙ ඉන්න අය 13 ශ්‍රේණියට ගියහමයි. විෂය නිර්දේශය 2017දි අනිවාර්යයෙන්ම ගේනවා. මට කියන්න පුළුවන් එච්චරයි. ඒ තොරතුර දැනගත්තහම ප්‍රමාණවත් නේද?"

උන්වහන්සේ පැවසූහ.

කලාකීර්ති එඩිව්න් ආරියදාස මහතා පවසන්නේ, තමන්ට මේ විෂය නිර්දේශය සම්බන්ධයෙන් කෙරෙන කිසි ම විමසීමකට ප්‍රකාශයක් කිරීමට නොහැකි බව ය. විෂය නිර්දේශය රහසිගත ලියැවිල්ලක් බවට නැ‍ඟෙන චෝදනා මෙන් ම, එය සකස් කිරීමට සම්බන්ධ කරගත් පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් දක්වන අදහස් උදහස් වැරැදි බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගෙන් විමසූවෙමි.

"අපට පැවරුණු වැඩ කොටස ඒ කාලෙම ඉවර කළා. සම්පත් දායකත්වය ලබා දුන්නා. අදාළ සීමා ඇතුළෙ අපට කතා කරන්න වෙන්නෙ. ඒ නිසා, වැඩි විස්තර ජාතික අධ්‍යාපන ආයතනයට කතා කරලා දැනගන්න. "ඔහු පැවසුවේ එපමණකි.

මේ විෂය නිර්දේශය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුවිනි ගුණවර්ධන මිය විමසූවිට ඇය කියා සිටියේ, විෂය නිර්දේශයට අදාළ සියලු ම ලිපිගොනු තමන් විසින් අධ්‍යක්ෂතුමියට බාර දී ඇති බව සහ ඒ පිළිබඳ විමසන කිසිදු පැනයකට තමන්ට පිළිතුරු දීමට නොහැකි බව ය. "අවශ්‍ය තොරතුරු අධ්‍යක්ෂතුමියගෙන් විමසන්න." ඇය දුරකථනය විසන්ධි කර ක්‍රියාවිරහිත කර දැමුවාය.

අමුතු පුහුණුවක් අනවශ්‍යයි

ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මද්දුදුම මහතාගෙන් නිශ්චිත පිළිතුරක් දැනගනු පිණිස සම්බන්ධ කර ගතිමි.

"මේ වෙනකොට විෂය නිර්දේශ සංශෝධන සිදුවෙලා තියෙන්නේ. ගුරු අත්පොත ලියැවෙමින් තියෙන්නේ. මේ කටයුත්ත බාරව සිටි නිලධාරියා ලිපිගොනු බාරදීලා ගිහින් තියෙන්නේ. ඒ තොරතුරු ටික තමයි දැනට කියන්න පුළුවන්."

මේ සම්බන්ධයෙන් විද්‍යා හා තාක්ෂණ පීඨයේ සිඩ්නි ජයවර්ධන මහතාගෙන් වමසීමි.

"විෂය මාලා අවුරුදු අටෙන් අටට වෙනස් වෙනවා. මේ විෂය නිර්දේශයේ සියයට සියයක් වෙනස් කරපු එකක් නෙමෙයි. අඩුපාඩු සකසපු එකක්. මහාපරිමාණ උඩුයටිකුරු කරලා නෑ. මේ විෂය ගුරුවරු අමුතුවෙන් පුහුණු කරන්න දෙයක් නෑ. අවශ්‍ය ගුරු පුහුණුවීම් කාලය මදිනම් ඩබල් කරලා කරන්න පුළුවන්."

උ.පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සංශෝධිත විෂය නිර්දේශයට අදාළ 12 වැනි ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශන සංග්‍රහය මේ වනවිට මුද්‍රණය සඳහා ලැබී ඇතිද යන්න පිළිබඳ දැනගනු පිණිස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් අයි.එන්.කේ.බී.ඉලංගසිංහ මහතාගෙන් විමසීමි.

"බොහෝ වෙලාවට අපි ප්‍රමුඛතාව දෙන්නේ 1- 11 ශ්‍රේණි දක්වා විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් මුද්‍රණයටයි. උ.පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සංහෝධිත විෂය නිර්දේශයට අදාළ 12 වැනි ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශන සංග්‍රහය මේ වනවිට අපට ලැබී නැහැ. ඒ සම්බන්ධයෙන් අපට මොකුත් දැනුම්දීලත් නෑ. සමහර අවස්ථාවල ඒ අයම විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් මුද්‍රණය කරන අවස්ථාත් තියෙනවා. මේ ගැන වැඩි විස්තර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමියගෙන්ම දැනගන්නකෝ."

අදාළ අංශවල නිහඬතාව

එසේනම්, අවසාන වශයෙන් මේ පිළිබඳ විමසිය යුත්තේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මියගෙන් ය. මාර්තු මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා දිනකට හත් අට වතාවක් ම ඇය සම්බන්ධ කර ගැනීමට අප මහන්සි ගත්ත අප අමතන සෑම මොහොතකම ඇය සිටියේ සාකච්ඡා පවත්වමින් ය. ඇයට මාගේ දුරකථන අංකය ද ලබා දී, ඇයගේ කාර්යාලයේ සිට දුරකථන ඇමතුම් ලබාගන්නා කාන්තාවන් කිහිපදෙනකුටම ඇය සම්බන්ධ කර දෙන ලෙස පණිවිඩ තැබූව ද, මේ මොහොත වනතෙක්ම ඇය සම්බන්ධ කර ගැනීමට හැකි නොවුණි. අවසන් වරට ඇගේ කාර්යාලයේ සිටින මුණසිංහ නැමැත්තකු ඇය සම්බන්ධ කර දීමේ වගකීම තම උරමතට ගත්ත ද, අපොස (උ/පෙළ) මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශය පිළිබඳ නැ‍ඟෙන චෝදනාවලට ඇයගෙන් පිළිතුරු ලබා ගැනීමට අපට අවස්ථාවක් ඇය තවමත් ලබා නොදුන්නේ, මෙහි කුමක් හෝ අර්බුදයක් ඇති නිසාද?

2017 දී මෙම සංශෝධිත විෂය නිර්දේශ ක්‍රියාත්මක කළ යුත්තේ නම් ඒවා 2016 අවසාන වන විට ඒවා අනුමත කර, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සකස් කර, ඒවා මුද්‍රණය කර තිබිය යුතු ය.එසේ නොවීම ගැන ජාතික අධ්‍යාපන ආයතනයද, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුද, අධ්‍යාපනඅමාත්‍යංශයේ අදාළ නිලධාරීන්ද වගකිව යුතුය.

දැන් මේවා දඩි බිඩි ගා සකස් කරන්නට කාලයක් නොමැති අතර, එවැනි දඩිබිඩි සංශෝධිත විෂය නිර්දේශයක් පාසල් පද්ධතියේ ක්‍රියාත්මක කිරීම ද බරපතළ වරදකි. ඒ නිසා, මේ වන විටත් අනුමත කර නැති, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සම්පාදනය කර, මුද්‍රණය කර නැති හා ගුරුවරුන් පුහුණු කිරීමේ කාර්යය ආරම්භ කර නැති විෂය නිර්දේශ පිළිබඳ අධ්‍යාපන නිලධාරීන්ගේ දෙනෙත් ඇරිය යුතු කාලය ඉක්ම ඇති බව නම් සැබෑවකි‍.

ජෝන් මැක්ඩොනල්ඩ් නමැති විද්වතා පවසා ඇත්තේ, සේවය විශිෂ්ට වන්නේ, එය නියමිත වෙලාවට නිම කළවිට දී බව ය. කවුරු වුව මතක තබාගත යුතු කරුණක් විය යුත්තේ ද මෙය ම ය.

ඉරෝෂිණී දීපිකා

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න