සී නෝර් පදනමෙන් බහු දින ධීවර යාත්‍රාවක් දියත් කරයි | දිනමිණ

සී නෝර් පදනමෙන් බහු දින ධීවර යාත්‍රාවක් දියත් කරයි

බුද්ධිකා ඉඹුලාන

සී නෝර් පදනම විසින් නව තාක්ෂණික පහසුකම් රැසකින් යුතුව පළමු වරට නිපදවන ලද අඩි 60ක දිගින් යුත් බහු දින ධීවර යාත්‍රාව දියත් කිරීම පෙරේදා (06) මට්ටක්කුලිය යාත්‍රාංණයේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වසර 12කට පසුව මෙවැනි තාක්ෂණික පහසුකම්වලින් යුතු යාත්‍රාවක් නිපදවීමට සී නෝර් පදනම සමත් වී තිබේ. මේ වන විට අප රටේ බහුදින ධීවර යාත්‍රා 1480කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටිය ද, ඒවායේ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා අල්ලා ගන්නා ලද මසුන්ගෙන් සියයට 40ක් පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ.

විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළට මසුන් අපනයනය කිරීමේ දී ගුණාත්මක බවින් ඉහළ මසුන් සඳහා වැඩි ඉල්ලුමක් පවතී. වර්තමානයේ සමස්ත මත්ස්‍ය ඉල්ලුමෙන් අප රට විසින් සපයන්නේ සියයට 30ක් වැනි සුළු ප්‍රමාණයකි. එම නිසා නව තාක්ෂණික උපකරණ හා පහසුකම් සහිත බහුදින ධීවර යාත්‍රා සහන පදනමක් යටතේ ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවට ලබාදීමට ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට රජය එකඟත්වය පළ කරන ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අඩි 55කට වඩා විශාල බහු දින ධීවර යාත්‍රා නිපදවීම සී නෝර් පදනම විසින් ආරම්භ කරන ලද අතර එවැනි බහු දින ධීවර යාත්‍රා 10ක් 2017, 2018 වසර දෙකේ දී ඉදි කිරීමට නියමිතය. රුපියල් මිලියන 60ක් වන මේ ධීවර යාත්‍රාවක් සඳහා ධීවර ප්‍රජාව විසින් ගෙවිය යුත්තේ සියයට 50ක් පමණි. ඉතිරි සියයට 50 රජය විසින් දරයි. මේ බහුදින ධීවර යාත්‍රාවල ශීත කාමර පහසුකම් මෙන්ම වැඩි මසුන් ප්‍රමාණයක් ගබඩා කර තබාගැනීමට පහසුකම් ඇති අතර මසුන් ඇල්ලීමේ දී මරු වැල් හෙවත් ලොන්ග් ලයින් නැමැති නව ක්‍රමය හඳුන්වා දී තිබේ.

මේ ක්‍රමයෙන් මසුන් කිසිදු හානියකින් තොරව අල්ලා ගත හැකිය. එම නිසා පසු අස්වනු නාස්තිය අවම කර ගත හැකි පරිදි මේ නව ධීවර යාත්‍රා ද සකස් කර තිබේ. මේ වැඩපිළිවෙළ යටතේ වැඩි දියුණු කළ හා අමතර නවීන පහසුකම්වලින් සමන්විත තවත් බහුදින ධීවර යාත්‍රාවක් නිපදවීමේ කටයුතු ද පෙරේදා (06) සී නෝර් පදනම විසින් ආරම්භ කරනු ලැබීය. එමෙන්ම සී ෂෙල්ස් රජය විසින් ද එම රටට විශාල ප්‍රමාණයේ නවීන බහුදින ධීවර යාත්‍රා 05ක් සඳහා මේ වසරේ දී ඇණවුම් ලබා දී තිබේ. ඒවා නිපදවීම ද මේ වන විට ආරම්භ කර ඇත.

මේ නව බහුදින ධීවර යාත්‍රාව දියඹට මුදා හැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මෙසේ කියා සිටියේය.

"අප රට නිෂ්පාදන හා අපනයන ආර්ථිකයක් ගොඩ නඟන්නේ නැතිව සංවර්ධනය කිරීම අසීරු කටයුත්තක්. විශේෂයෙන් මීට දශකයකට පෙර ලෝක මත්ස්‍ය වෙළෙඳපොළේ මිල තීරණය කළේ ශ්‍රී ලංකාවයි. පසුගිය කාලයේ කිසිදු රජයක් ධීවර කර්මාන්තය සංවර්ධනයට පියවර නොගැනීම නිසා දැන් එම බලය මාලදිවයිනට ගොස් තිබෙනවා. ඉදිරි කාලයේ දී නැවතත් එම හැකියාව අප සතු කරගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම අප රටේ මත්ස්‍ය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින නිසා මසුන් අපනයනය ඉලක්ක කර ගනිමින් එම කටයුතු ආරම්භ කර තිබෙනවා. වර්තමාන රජයේ ඉලක්කය ඉදිරි වසර තුනේ දී නව රැකියා අවස්ථා ලක්ෂ 10ක් නිර්මාණය කිරීමයි. ඒ යටතේ ධීවර අමාත්‍යාංශය විසින් අනිවාර්යෙන්ම ඉදිරි වසර දෙකක දී රැකියා අවස්ථා ලක්ෂයක් නිර්මාණය කරනවා.

පසුගිය කාලයේ සී නෝර් ආයතනය රාජ්‍ය ආයතනයක් වශයෙන් තිබුණේ පහළ මට්ටමකයි. නමුත් දැන් ස්ථිර තැන්පතුවක් සහිත රාජ්‍ය ආයතනයක් වශයෙන් ඉතාමත් ලාභ ලබන තත්ත්වයට වත්මන් රජය විසින් එම ආයතනය පත් කර තිබෙනවා. අපේ සෙසු රාජ්‍ය ආයතනත් ඉතා හොඳ තත්ත්වයට පත් කරගැනීම දක්ෂ කළමනාකාරිත්වයක් යටතේ අපහසු නොවන බව මගේ විශ්වාසයයි."

සී ෂෙල්ස් මහ කොමසාරිස් ඩැනී ෆවුරේ, එම ආයතනයේ සභාපති ජගත් පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ 

 

නව අදහස දක්වන්න