නැකතේ බොරුව හෙළි කළ නැකත් කමි­ටුව | දිනමිණ

නැකතේ බොරුව හෙළි කළ නැකත් කමි­ටුව

තිඹිරියාගම බණ්ඩාර

කො“නැකතත් අවුල් - කමිටුවත් අවුල් - අවුරුද්දට මොකද වෙන්නේ?”

මෙය පුවත්පතක මුල් පිටුවෙන් උපුටා ගත් ශීර්ෂ පාඨයකි. පාඨකයාගේ නීච කුතුහලය ඇවිස්සීමේ සැඟවුණු අභිප්‍රායක් මෙයින් දිස්වේ. ඒ මෙසේ ය.

නැකත් කමිටුව ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ය. සිංහල අලුත් අවුරුද්දට පෙර නැකත් පත්‍රය පිළියෙල කර රජයට ලබා දීම කමිටුවේ වගකීම යි. අවුරුදු සිරිත් විරිත්වලට අදාළ නැකත් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ඉන් අනතුරුව ය.

ජ්‍යොතිෂය පිළිබඳ හැදෑරූ ප්‍රධාන පෙළේ පිරිස් කමිටුව නියෝජනය කරති. අවුරුදු නැකත් වැරදියට සකසා ඇති බව කියමින් ජ්‍යොතිෂවේදීන් දෙතුන් දෙනකු පුවත්පත්වලට ලිපි සපයා තිබිණ. සංස්කෘතික කටයුතු ඇමැතිවරයා කැඳවූ මාධ්‍ය හමුවක් ද සංස්කෘතික අධ්‍යක්ෂවරිය සහභාගි වූ නැකත් කමිටු සාකච්ඡාවක් ද මාධ්‍යයෙන් දැක ගැනීමට ලැබුණේ ඉන්පසු ව ය. ඇමැතිවරයා එහි දී අවස්ථාවෝචිතව කරුණු දක්වමින් කලහකරුවන්ගේ චෝදනා සරදමට ලක් කරනු පෙනිණ. නැකත් කමිටුවේ ඝෝෂකයන්ට මැදිවූ අධ්‍යක්ෂවරියට සිදු වූයේ නොහික්මුණු සිසුන් රැලක් වචනයේ බලයෙන් හසුරවන ගුරුවරියකගේ භූමිකාව නියෝජනය කිරීමට ය. ඇමැතිවරයාගේත් සංස්කෘතික අධ්‍යක්ෂවරියගේත් හැසිරීම අනුව ජ්‍යොතිෂවේදීන් අප හට පෙනී ගියේ හිස් ඝෝෂකයන් පිරිසක් බව ය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට සිදු ව ඇත්තේ මෙතෙක් පැවැති සම්ප්‍රදායක් පවත්වාගෙන යෑමට ය. එහෙයින් වරද ඇත්තේ මුල ය. නැකත් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමේ වගකීම රජය විසින් බාර ගනු ලැබීම ඒ වරද ය. නැකතට අනුව කටයුතු කරන පිරිස් මෙන් ම එසේ නොකරන අය ද සිටිති. ඒ ඔවුන්ගේ නිදහස ය. වි‍ශ්වාස, ඇදහිලි, සිරිත් විරිත් ජන සමාජයෙහි පවතී. රජය ඒවායෙහි න්‍යාය පත්‍ර සකස් කිරීමෙන් වැළකිය යුතු ය. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු එය යි.

නැකත පිළියෙල කිරීම රජයේ වගකීම යැයි සිතන පිරිස් මෙවර සිදු වූ දේ රජයේ අඩු පාඩුවක් ලෙස ද දකින්නට පුළුවන. “යහපාලනයට නැකතක්වත් හදා ගන්න බෑ” යන චෝදනාව ද නැඟිය හැක. මුලින් උධෘත කොටගත් පුවත්පත් ශීර්ෂ පාඨයෙන් ද එය හැඟේ. එය ද සාකච්ඡාවට ගත යුත්තකි.

මීට පෙර සංස්කෘතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විජිත් කණුගල කවියා වරක් අපූරු රහසක් හෙළි කළේ ය.

“නැකත් කමිටුව රැස්වුණා ම එක එක්කෙනා එක එක නැකත් හදාගෙන ඒක හරි අනෙක්වා වැරදියි කියලා වාද කර ගන්නවා. හැම දෙනාගෙම සම්මුතියෙන් පොදු නැකතක් හදලා දෙන්ඩ කියලා බැරිම තැන මම කීවා. ඒක හදලා දීල ගිහිල්ලත් එළියෙ ඉඳගෙන චෝදනා කරනවා. මේක මහ විකාරයක්”.

විජිත් කණුගලගේ ප්‍රකාශය ද අදාළ කර ගනිමින් නැකත් හැදීමේ බොරුව පිළිබඳ මීට පෙර ද ලියා ඇත්තෙමි. දහ දෙනෙක් ඉන්නා කමිටුවක එකේ සිට දහය දක්වා පුද්ගලයෝ තමන්ගේ අංකය නිවැරදි යැයි වාද කරති. ගෝරිය සංසිඳුවිය හැකි මඟක් තිබේ. එනම් මධ්‍ය අංකය ගැනීම යි. උත්තරය පහේ ඉලක්කම යි. නැකත් කමිටුව අවුරුදු නැකත් රජයට ඉදිරිපත් කරන පිළිවෙළ එසේ නම්, ඒ තරම් විහිලුවක් තිබිය හැකි ද?

ජ්‍යොතිෂය යනු කෙප්පයකි. තිස් අට දෙනකුගේ කමිටුවක නැකත් තිස් අටක් හෝ කිහිපයක් තිබීමෙන් ම එය පැහැදිලි වේ. ජ්‍යොතිෂය සත්‍යයක් නම්, ජ්‍යොතිෂය දන්නා අයගේ නැකත එකක් විය යුතු ය. මෙබඳු බොරුවක් රජය විසින් නඩත්තු කරනු ලැබීම අපරාධයකි. බෞද්ධයන් බහුතරයක් ජීවත් වන රටක නැකතෙහි එල්ලී සිටීම ද හාස්‍යජනක කරුණක් වන්නේ බුද්ධ භාෂිතයෙහි නැකත් පිළිබඳ සඳහන් වී ඇතැයි සනාථ නො වන හෙයිනි. නැකත් ගැන කිසිවක් නොදන්නා බටහිර රටවල් විද්‍යාව, තාක්ෂණය සහ සාහිත්‍ය කලා විෂයයන්ගෙන් ඉහළ ම තැනකට යන අතරතුර, නැකත බඩේ බැඳගත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයෙහි හැට්ට කටුවක්වත් නිෂ්පාදනය නොකෙරේ. වන්දිභට්ටයන්ගේ කලාව උඩ දමමින් උසස් කලාව කප්පාදු කෙරේ. පෘථිවිය වටා සියලු ග්‍රහ තාරකා භ්‍රමණය වෙතැයි සැලකූ යුගයක ග්‍රහ බලපෑම් පිළිබඳ චින්තනය බිහි විය. එහෙත් පෘථිවිය තමා වටේ භ්‍රමණය වෙමින් සූර්යයා වටා භ්‍රමණය වන බව වත්මනෙහි කුඩා දරුවෝද දනිති.

ජ්‍යොතිෂය යනු ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින් ම බඩ වඩා ගැනීම සඳහා භාවිත කරනු ලබන පරම මිථ්‍යාවකි. සමාජයෙහි ඉදිරි ගමනට බාධා කරන මෙබඳු කෛරාටිකයන් හට ජනමනස දූෂණය කිරීම සඳහා රාජ්‍ය සම්පත් යෙදවීම ජාතික අපරාධයකි.

අදහස් 1ක් ඇත

Astrology is an ancient geocentric concept which has absolutely no impact on anyone except via the placebo effect which influences the faithful. The point on ecliptic that is selected as the first point of Aries in Sri Lanka is well within the constellation of Pisces in the observed Sky, not on border with Aries. It happens to be the position of the Sun on the Spring equinox of CE 282 March 21st. The year of King Mahasena's Coronation. This definition has moved New Year by one day on average every 70.56 years on Gregorian Calendar to April 13-14th due to Precession of Equinox. Remember it was 12-13th about 50 years ago. We need a practical definition for the cultural event, not locked into meaningless astrology..

නව අදහස දක්වන්න