ඉස්සර අවු­රුදු | දිනමිණ

ඉස්සර අවු­රුදු

 මහානාම දුනුමාල

සමස්ත වෙළෙඳ ලෝකය ම ළඟ එන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙවත් ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සමරන උත්සව සමයට ලෑස්ති බෑස්ති වෙමින් සිටිති. සියලු වෙළෙන්දෝ සිය කඩ සාප්පු නෙක බඩු බාහිරාදියෙන් පුරවමින් උත්සව සමයේ ලාබ තීරුව සරුසාර කරගැනීමේ සටනක නිරත වෙත්.

අවුරුදු සමය ආරම්භ කරන අපේ ඇත්තෝ මුල් අවධානය යොමු කරන්නේ නොයෙක් ඇඳුම් ආයිත්තමින් පිරුණු දර්ශනීය මාලිගා සේ පෙනෙන රෙදිපිළි වෙළඳ සල් වෙත ය. ඒ දූ දරුවන් සහ කිට්ටුවන්ත නෑ ප්‍රජාව වෙත තෑගිබෝග පිණිස ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමෙනි. ආහාර පාන, කැවිලි පෙවිලි, රටබීම, රතිඤ්ඤා ඈ නෙක වෙනත් අවුරුදු අවශ්‍යතා ඊළඟට ය. කිරිබත්ගොඩ, නුගේගොඩ, මහරගම, කඩවත වැනි කොළඹට ආසන්න නගර සහ පිටකොටුවේ හරස් වීදි සෙනඟින් පිරෙන්නට පටන් ගන්නේ මේ න්‍යායට අනුව ය.

එහෙත් අදින් අවුරුදු ගණනාවකට එපිට අතීතයේ අවුරුදු සූදානම අදට වඩා හාත්පසින් ම වෙනස් විය. එදා අවුරුදු ළඟ එන බව කියා පෑවේ කැලැන්ඩරයටත් වඩා පරිසරයේ ඇති වූ වෙනස්කම් ය. ගමේ තැන් තැන්වල ඇති එරබදු ගස් රත් පැහැ මලින් බරවෙයි. ගමේ තුරු වදුලුවල සැඟවෙන කොවුලෝ මියුරු හඬින් සිය අනුරාගී කූජනය අරඹත්. ගමේ කජු ගස් පුහුලමින් පිරෙයි.

ජම්බු ගස් ගෙඩිවලින් පිරෙයි. අඹ ගස්වල ගෙඩි හට ගෙන හැඩ ගැන්වෙයි. කොහොමටත් අවුරුදු නැකත් උදාවන බක් මාසය පරිසරය හැඩ ගන්වයි. එදවස ගැමි ගෙවල් අද මෙන් ෆ්ලෝටයිල් ඇතිරූ පොළොවක් සහිත සිවිලිම් විදුලි පහනින් හා විදුලි පංකාවලින් හැඩ ගැන්වූ නවීන ගෘහයන් නොවී ය. උළු ගෙවල් තිබුණේ ද ගමකට තුන හතරකි. බොහොමයක් ගෙවල් පොල්ලතු සෙවිලි කළ, ගෙබිමට ගොම ආලේප කළ ගෙවල් ය.

ඉතින් ගැමියෝ අවුරුදු එන්නට සැරසෙන විට සිය ගෙපැල පිළියෙල කර ගැනීම අරඹති. අවුරුදු සමයට කලින් සංවහන වැස්ස ඇරඹෙන්නට පෙර උහු සිය ගෙපැලේ පොල්ලතු සෙවිලි කරගෙන තිබේ. ගැමි ගෘහිණිය කාලයක් තිස්සේ වැටෙන (විශේෂයෙන් නවම් මහේ වැටෙන) පොල්ලතු දියේ දා ඒවා වියමින් ගෙපැලට පොල්ලතු එක් රැස් කරන්නී ය. මෙසේ එක් රැස් කරගත් පොල්ලතු වහලයට හෙවිල්ලන්නේ ද අසල්වැසියන්ගේ සහභාගිත්වයෙනි. පොල්ලතු බැඳීම අත්තම් ක්‍රමයට සිදුවෙයි. අසල්වැසියාගේ පොල්ලතු හෙවිල්ලිල්ලට සහභාගී වීම තමන්ගේ ගෙපැලේ පොල්ලතු සෙවිල්ලන්නට අසල්වැසියා එන බවට සහතිකයකි.

අවුරුදු ආසන්න වන විට පැරැණි ගැමියෝ සිය ගෙපැල සුද්ද බුද්ද කර ගනිති. කපාගත් කැප්පෙටියා අතු රිටක කෙළවරට තබා බැඳ, එමගින් ගෙපැලේ මකුළුදැල් කඩා දැමේ. ගෙයි බිත්තියේ මැටි කපරාදුවේ පළුදු තැන් වසා දමන ගෙහිමියා ඉනික්බිතිව හුනු ආලේප කරයි. වත් පොහොසත්කම් අඩු ඇත්තෝ සිය ගෙයි බිත්ති මත කිරිමැටි ආලේප කරත්. ගෘහිණිය එක් රැස් කරගත් නැවුම් ගොම ගෙබිමේ මෙන් ම ළිබ්බොක්කේ ද පිරිබඩ ලන්නී ය.

අවුරුදු ආසන්න වන විට වළං කත්කාරයා සිය වළං කද නැවුම් මැටි වළංවලින් පුරෝගෙන ගමට සේන්දු වෙයි. අවුරුද්දට කිරි උතුරන්නට නැවුම් මුට්ටියක් ‍මිලදී ගන්නා අතර ම, ගෙදරදොරේ ඇති වළං, මුට්ටි, නෑඹිලි, ඇතිලි වෙනුවට අලුත් ඒවා මිලට ගැනේ. ගමේ යමන්නා ළඟට යන ගෙහිමියා කැති, මන්න, වප්පිහි, හිරමන ආදිය පණ පොවාගෙන එයි. ගෙදර අයට අලුත් රෙදි පිළි රැගෙන ගමට එන්නේ රෙදි පොට්ටනිය හිසින් ගත් මුස්ලිම් වෙළෙන්දා ය. ඔහු රෙදි පොට්ටනිය ලෙහන තුරු ළමා ළපටින්ට මෙන් ම ළමිස්සියන්ට ද ඉවසිල්ලක් නැත ගෙදර අයට අවුරුදු රෙදි පිළි මතු නොව සබන්, පුයර ආදිය ද ගෙනාවෝ මේ වෙළෙන්දෝ ය.

ගැමි ගෘහිණිය අවුරුදු ආසන්න වන විට කැවිලි පිසින්නට පේවන්නී ය. සෝදා පොඟවාගත් කැකුළු සහල් වනේ ලා කොටාගන්නා ඇය අවුරුදු නැකත් සීට්ටුවේ තෙල් ළිපේ තබන නැකතට අනුව තෙල් ළිපේ තබා, කොණ්ඩ කැවුම් උයන්නී ය. ඇය මුලින් ම උයන්නී කෝඳුරු කැවුමයි. එල්ලා තැබෙන මේ කැවුමේ අයිතිය කෝඳුරුවන්ටයි. කොණ්ඩ කැවුම්වලට අතිරේකව මුංකැවුම්, ආස්මී, කොකිස්, අලුවා, පැණිවළලු ආදී විවිධ කැවිලි වර්ග සැකසේ. අවුරුදු ආසන්න වන විට ගමේ සද්ද බද්ද වැඩිවෙයි. උණ වෙඩි පත්තු වෙයි. බීරංග හඬ ඇසෙයි. (බීරංගය මඳක් දිග අත් දණ්ඩක් සහිත යකඩයකි. එහි ඇති සිදුරට වෙඩි බෙහෙත් දමා යකඩ කූරකින් වසා වේගයෙන් ගලක ගැසූ විට හඬ නැ‍ඟෙයි.) උණ වෙඩි හා බීරංග අද ඇති සද්දන්ත කඳු හෙල් පුපුරා යන්නාක් මෙන් අධික ශබ්ද නඟන රතිඤ්ඤාවලට වඩා පරිසර හිතකාමී බව සඳහන් කළ යුතුම ය.

නැකත් සීට්ටුවට අනුව වැඩ අත්හැරීමේ නැකත උදා වූ පසු ළිප ගිනි නිවා සියලු වැඩ අත් හැරේ. ගෘහිණියට තවත් විශේෂ රාජකාරියක් කරන්නී ය. ඒ ‘මීදුම් අම්මා’ පිදීමයි. කුස්සියේ කුණු මුල්ලේ එකතුවන කුණු අවුරුද්දක් පාවිච්චි කළ පරණ කුල්ල මත තබා ඒ මතින් පරණ ඉලපත ද තබයි. අවුරුද්ද වෙනුවෙන් පිළියෙල කළ කැවිලි එක් වර්ගයකින් එක බැගින් ඒ මත තැබිය යුතු ය. ඉනික්බිති ගෘහිණිය මිනිසුන් නොයන පාලු තැනකින් කුල්ල තබා ආපසු එයි.

මේ චාරිත්‍රය නොයෙක් පළාත්වල නොයෙක් නම්වලින් හැඳින්වේ. අපේ මිත්‍ර මහින්ද කුමාර දලුපොතට අනුව සත් කෝරලයේ මේ චාරිත්‍රය ‘කුණු මුත්තා’ පිදීමයි. සියනෑ කෝරලයේ දී මේ සිරිත ‘අලුබොක්කා’ පිදීමයි.

පුණ්‍යකාලයේ දී ගැමි දරුවෝ පංච කෙළියේ යෙදෙති. ඔළිඳ කෙළිය මෙන් ම නෙරෙංචි කෙළිය ද ගෘහස්ථ ක්‍රීඩා වෙයි. චක් ගුඩු මෙන් ම වළ කජු ගැසීම ද පොර පොල් ගැසීම ද අයිති එළිමහනට ය. ළමිස්සියෝ ඔන්චිලි පදිති. රබන් ගසති. (අද දරුවන්ට මෙවන් පැරැණි ක්‍රීඩා දැක බලා ගත හැක්කේ රූපවාහිනියෙනි.)

පන්සලේ ඝණ්ටාර නද දෙන විට ම උණ වෙඩි හා බීරංග හඬ ද ඇසෙන්නට වෙයි. ඒ ළිප ගිනි මෙලවීමේ නැකතයි. ගෘහිණිය නැකත් සීට්ටුවෙන් නියමිත දිසාව බලාගෙන ළිප ගිනි දල්වයි. අවුරුදු කිරිබත ඉදෙන්නේ ඉන් අනතුරුව ය. හත් මාළුව ද ගෘහිණිය අතින් සකස් වෙයි. කිරි කජු, කහට දලු, මෑ, බටු, කොස්සැට, වට්ටක්කා දලු වැනි ජාති හතක් හත් මාළුවට අඩංගු ය. අවුරුදු නැකතට පහන් දැල්වීම සඳහා පහන් පැල ගෙහිමියා අතින් සැකසෙන්නේ කල් ඇතිවම ය. අවුරුද්දට ආහාර අනුභව කිරීමේ හා වැඩ ඇල්ලීමේ නැකත උදාවීමෙන් පසු පහන් දල්වා, කිරි උතුරවා අවුරුදු කිරිබත කවුරුත් එකට වාඩි වී අනුභව කිරීම සිරිතයි. ගනුදෙනු කිරීම සඳහා බුලත් කොළයක දවටන ලද රුපියලේ කාසි බිරියට ද දරුවන්ට ද ලබා දෙයි. අවුරුදු නැකතට වැඩ අල්ලන්නේ කැත්තෙන් හා උදැල්ලෙනි. කොස් ගසක් වැනි කිරි සහිත ගසකින් කපා ගත් අත්තක් පහන් පැල ඉදිරිපිට සිටුවා ඊට කැත්තෙන් කොටා වැඩ අල්ලන අතර, ඵල සහිත ගසක පැළයක් නැකතට සිටුවා උදැල්ලෙන් වැඩ ඇල්ලීම සිදුවෙයි. ගෘහිණිය නැකතට ළිඳ සමග ගනුදෙනු කරන්නී ය. කාසි, අඟුරු, කහ වැනි දෑ අඩංගු පොට්ටනියක් ළිඳට දමන ඇය අනතුරුව ජලය මත සමන්පිච්ච මල් විසුරුවයි. ළිඳෙන් ජලය ගන්නේ ඉන් අනතුරුව ය.

සංහිඳ පාමුල තීරයෙන් අප ඉදිරිපත් කළේ අතීත අවුරුදු පිළිබඳ මතක රූපාවලියකි. සේයාරුවක් අනෙක් පස හැරවූවා සේ සියල්ල අද වෙනස් ව ඇත. ඒ සමාජ සිරිත් විරිත් පරිණාමයට යටත්ව ය. 

නව අදහස දක්වන්න