බැඩ්මින්ටන් නිලවරණය මෙහයවූ ත්‍රි පුද්ගල කමිටුවටත් වැඩ වරදී | දිනමිණ

බැඩ්මින්ටන් නිලවරණය මෙහයවූ ත්‍රි පුද්ගල කමිටුවටත් වැඩ වරදී

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය අධීක්ෂණය කළ ත්‍රි පුද්ගල කමිටු නිලධාරීන්ට ක්‍රීඩා තහනමක් පැනවීමට අවශ්‍ය පියවර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. නව ක්‍රීඩා රෙගුලාසි අනුව බැඩ්මින්ටන් සංගමය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය කර සාමාජිකයන් වෙත ඉදිරිපත් කරන තුරු නිලවරණය නොපවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම්දී තිබියදී නිලවරණය පැවැත්වීමට උපදෙස් දීම එම නිලධාරීන් තිදෙනාට එරෙහිව එල්ලවී ඇති චෝදනා වේ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය ත්‍රි පුද්ගල නිලවරණ කමිටුවක් යටතේ පැවැති අතර එම කමිටුවට චන්දන පෙරේරා, රෝහණ ද සිල්වා හා නන්දන පෙරේරා යන මහත්වරු ඇතුළත් වූහ. මෙයින් චන්දන පෙරේරා මහතා ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයා ලෙසත්, අනෙක් දෙදෙනා නිලවරණයට ඉදිරිපත්වූ පාර්ශ්ව දෙකේ නියෝජිතයන් ලෙසත් නිලවරණ මෙහෙයුම් කටයුතු සිදු කළහ.

ක්‍රීඩා අමාත්‍යාංශය බැඩ්මින්ටන් නිලවරණය තාවකාලිකව අත්හිටුවන ලෙසට එවූ ලිපිය නොසලකා බැඩ්මින්ටන් නිලවරණය ඉදිරියට ගෙන යා හැකි බව මේ නිලධාරීන් තිදෙනා එදින නිලවරණයට පැමිණ සිටි සාමාජිකයන්ට ප්‍රකාශ කිරීම ක්‍රීඩා රෙගුලාසි හෑල්ලුවට ලක් කිරීමක් බව පැවැසේ. එම නිලධාරීන් තිදෙනාගේ තීරණය අනුව නිලවරණයේ ඡන්ද විමසීම පැවැත්වූ බවට ක්‍රීඩා අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.

ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝණය කරමින් බැඩ්මින්ටන් නිලවරණය එලෙස පැවැත්වූ හෙයින් එහි ප්‍රතිඵල පිළිනොගන්නා බව ක්‍රීඩා ඇමැතිවරයා පසුව පැවැසීය. ඒ අනුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පරිපාලනය උදෙසා නිලවරණයෙන් පත්වූ නිලධාරීන් තිදෙනකු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු පත්කිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ. බැඩ්මින්ටන් පරිපාලනය බලයලත් නිලධාරියකු යටතට පත්කරන බව කලින් පැවැසුවද පැමිණි යෝජනා සලකා බලා විශේෂ කමිටුවක් පත්කිරීමට ඇමැතිවරයා තීරණය කළේය.

මේ අතර එම විශේෂ කමිටුවට නිලවරණයට ඉදිරිපත්වූ පාර්ශ්ව දෙකම නියෝජනයවන පරිදි සාමාජිකයන් පත්කරන ලෙස තවත් යෝජනාවක් ක්‍රීඩා අමාතයාංශයට ඉදිරිපත්වී තිබේ. මේ සියලු යෝජනා සලකා බැඩ්මින්ටන් පරිපාලන විශේෂ කමිටුව පත් කිරීම ඉක්මණින් සිදු කිරීමට අමාත්‍යාංශය කටයුතු යොදමින් සිටී.

නව ක්‍රීඩා රෙගුලාසි අනුව සියලුම ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමට පෙර වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම අනිවාර්යවන අතර එසේ සිදු නොකොට නිලවරණයක් පැවැත්වූයේ නම් එහි ප්‍රධාන නිලධාරීන් තිදෙනාට ජීවිත කාලයටම ක්‍රීඩා තනතරු දැරිය නොහැකිවන පරිදි ක්‍රීඩා තහනමක් පැනවේ.

ඒ අනුව සභාපති සුරාජ් දන්දෙනිය, ලේකම් අමල් ඩයස් හා භාණ්ඩාගාරික රුවන් ගාල්ලගේ යන මහත්වරුන්ට එම ක්‍රීඩා තහනම අදාලවන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර සිටී. එහෙත් සුරාජ් දන්දෙනිය මහතා පවසන්නේ බැඩ්මින්ටන් නිලවරණය පවත්වන ලෙස සියලුම අනුබද්ධ සංගම් වෙන වෙනම ලිපි මගින් කළ ඉල්ලීම් අනුව නිලවරණය පැවැත්වීමට සිදුවූ බවය.

එහෙත් බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය නීත්‍යානුකූලව පවත්වන ලෙස සභාපතිවරයාට කළ දැනුම්දීම කිසිසේත් බැහැර නොකළ යුතු බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහසවී ඇත.

නව අදහස දක්වන්න