ජොන්ස්ටන් එළියට නිකවැරටිය ඉන්දිකට | දිනමිණ

ජොන්ස්ටන් එළියට නිකවැරටිය ඉන්දිකට

වයඹ මාධ්‍යවේදීන්ට තර්ජනය කළ ටිකිරිබණ්ඩාත් දොට්ට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කර නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු අනුව පක්ෂ නායකත්වයට ඇහුම්කන් දෙන පක්ෂයට වැඩ කරන සංවිධායකවරු පත්කර ගැනීමේ වැඩපිළිවෙළට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කර ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කිරීම සිදුකර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ සිදුකරන ලද ආසන සංවිධායක තනතුරු සංශෝධනයේ දී මධ්‍යම පළාතේ සමස්ත මාධ්‍යවේදීන්ගේ අපකීර්තියට පත්ව සිටි පොල්ගහවෙල ආසන සංවිධායක මෙන්ම වයඹ පළාත් සභාවේ සභාපති ධුරය හෙබ වූ ටිකිරිබණ්ඩා අධිකාරි මහතා ද එම සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට හිටපු ඇමැති ජයරත්න හේරත් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබුණි.

ටිකිරිබණ්ඩා අධිකාරි මහතා පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවැති පළාත් සභා රැස්වීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අපහාසාත්මක ලෙස බැණවැදී පළාත් සභා රැස්වීමෙන් පලවා හැරීම නිසා වයඹ මාධ්‍යවේදීන් පළාත් සභා රැස්වීම වාර්තා කිරීම මාස 6ක් තිස්සේ වර්ජනය කර තිබිණි.

මේ අයුරින් පක්ෂයේ වැඩ නොකරන ආසන බලමණ්ඩල 18ක් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණ ගැනීමට නියමිතව ඇති අතර, මේ බලමණ්ඩලවල කටයුතු භාරව සිටි සංවිධායකවරුන්ගේ ක්‍රියාකලාප පිළිබඳ වසර දෙකකට අධික කාලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලා සිටියත් පසුගිය රජය සමයේ නම් ඔවුනට එතරම් කාලයක් නොලැබෙන බව ඊයේ (11) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මේ ආසන 18ට අමතරව වැඩ නොකරන අනෙකුත් සියලුම ආසනවලටත් නව සංවිධායකවරුන් පත් කරන ලෙස තමන් ඇතුළු ශ්‍රීලනිප පාක්ෂිකයන් ජනාධිපතිවරයාට යෝජනා කළ බවත් හෙතෙම කීවේය.

මේ අතර, ශ්‍රීලනිපයේ යම් සංවිධායකවරයෙක් මහනුවර පැවැත්වීමට නියමිත පක්ෂ මැයි රැලියට එක් නොවන්නේ නම් එසේ සහභාගී නොවන සියලු සංවිධායකවරු ඉවත් කර නව සංවිධායකවරු පත් කිරීමට යෝජනා කරන බව ද ශාන්ත බණ්ඩාර මහතා කීය.

බුද්ධිකා ඉඹුලාන, චන්ද්‍රිකා පෙරේරා සහ කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක 

 

නව අදහස දක්වන්න