නෞකා ඇතුළත රඟ දක්වා ඇරැඹි පාස්කු නාට්‍ය | දිනමිණ

නෞකා ඇතුළත රඟ දක්වා ඇරැඹි පාස්කු නාට්‍ය

 පල්ලිය ආශ්‍රිතව නාට්‍ය කලාවක් බිහිවීමේ මූලාරම්භය ගැන ලෝක ඉතිහාසය විමසීමේදී මධ්‍යකාලීන යුගයේ යුරෝපය තුළ ඊට අදාළ වූ සාධක සපයාගත හැකිය. ක්‍රිස්තියානි ආගම පිළිගත් මුල් අවධියේ පල්ලිය තුළ නාට්‍ය කලාව වෙනුවෙන් පැවතියේ ප්‍රබල විරෝධයකි. නාට්‍ය කලාව තහනම්වීම එහි ප්‍රතිඵලය විය. රෝම නාට්‍ය කලාවේ විශුම දර්ශන සදාචාර විරෝධී නාට්‍ය ලෙස කතෝලික ශාසනයේ මුල් සභා පියවරුන් විසින් හැඳින්වූ අතර ඔවුන් එම නාට්‍යශාලාව හැඳින්වූයේ ‘අනංගයාගේ දේවාලය’ යනුවෙනි. කතෝලික සභාව හා එවක සමාජය විසින් සදාචාර විරෝධී යැයි පිළිගත් ඇතැම් සිද්ධීන් මෙම නාට්‍ය තුළ අන්තර්ගතවීම එයට බලපෑ ප්‍රධාන සාධකය වේ.

මෙම අවධිය වන විට කතෝලික පූජකවරුන් ආගම ව්‍යාප්ත කිරීමෙහිලා දැඩි ප්‍රයත්නයක් දැරූහ. මෙසේ පල්ලිය විසින් නාට්‍ය කලාව තහනම් කර තිබුණ ද පොදු ජනයා අතර පැවති නාට්‍ය භාවිතය මකාලන්නට තරම් පල්ලියට හැකියාවක් නොලැබිණි. එම නිසා නාට්‍ය කලාව අරඹයා ජනයා තුළ පැවැති උද්‍යෝගය තම ආගම ප්‍රචාරය කිරීමේ උපක්‍රමයක් ලෙස යොදාගැනීමට පූජකවරු කටයුතු කළහ. පල්ලියේ පැවැත්වෙන පූජා කටයුතුවලට ජේසු ස්වාමි දරුවන්ගේ ජීවිතයට අදාළ වූ කොටස් නාට්‍යාකාරයෙන් රංගනය කිරීම එහි ප්‍රතිඵලය විය. එසේ පල්ලිය ආශ්‍රිතව නාට්‍ය කලාවක් බිහි නොවූයේ නම් අද පවතින පාස්කු නාට්‍ය කලාව ද බිහි නොවන්නට ඉඩ තිබිණි. තව ද මධ්‍යකාලී යු‍ගයේ යුරෝපයේ ප්‍රචලිතව තිබූ ජනවන්දනා නාට්‍ය විශේෂය ද පාස්කු නාට්‍ය වර්ධනය වීමෙහිලා සෘජුව බලපා ඇත.

පාස්කු දුක්ප්‍රාප්ති නාට්‍යයේ ආරම්භය

කතෝලික පල්ලිය ආශ්‍රයෙන් බිහි වූ ජනවන්දනා නාට්‍ය ක්‍රමිකව වර්ධනය වීමත් සමඟම ක්‍රිස්තුන් වහනසේගේ දුක් විඳීම, මරණය හා උකුත්වීම මුල්කරගනිමින් පාස්කු දුක්ප්‍රාප්ති නාට්‍ය ආරම්භ විය. 1634 දී ආරම්භ වූ ජර්මනියේ ‘ඔබර් අමගවූ’ පාස්කු දුක්ප්‍රාප්ති නාට්‍යය ‘බ්ලැක් ඩෙත්’ නමැති මහාමාරිය වසංගතයට ගොදුරු වූ ජනතාව ඉන් බේරාගැනීම සඳහා එහි ගම්වැසියෝ දෙවියන්ට බාරයක්වීමේ ප්‍රතිඵලයකි. 1634 සිට සෑම දස වසරකට වරක් අද දක්වා ‘ඔබර් අගමවූ’ පාස්කු දුක්ප්‍රාප්ති නාට්‍යය වේදිකාගතවීම එහි විශේෂත්වයයි.

කිතුනු ආගමික ඉගැන්වීම නාට්‍ය රංගනය මඟින් මිනිස් මනසට කා වැද්දවීම සඳහා වේදිකාව මත රඟ දැක්වීම ශ්‍රී ලංකාවට පැමිණියේ 16 වන සියවසේ පෘතුගීසි ධර්මදූත පූජකවරුන්ගේ පැමිණීමත් සමඟයි. විශේෂයෙන් ප්‍රැන්සිස්කාන හා ජේසු නිකායික පූජකවරුන් එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල කතෝලික ධර්මය ප්‍රචාරය කිරීම සඳහා යොදාගත් එක් ඉගැන්වීම් ක්‍රමවේදයක් වූයේ නාට්‍ය රඟ දැක්වීමය. තමන් ආගම ප්‍රචාරය කරන රටවල මිනිසුන්ගේ ආත්මය විනිවද යාමට උචිත ආනුභාව සම්පන්න වූත්, මෘදු ගුණයෙන් සමන්විත වූත් ආයුධය වූයේ නාට්‍යය යි’ යනුවෙන් ලුසියානා ස්ටේගාඤ්ඤෝ පිච්චියෝ නමැති පෘතුගීසි ඉතිහාසඥයා පවසා තිබේ.

පෘතුගීසි ධර්මදූතයන් ශ්‍රී ලංකාවට ගෙන ආ නාට්‍ය සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකින් යුතුය.

1. කිතුනු ආගමික පෙරහර හා කිතුනු ආගමික උත්සවලදී පෙන්වනු ලැබූ ‘ ජනවන්දනා නාට්‍ය’ (මේවා අතර ‘පාස්කු නාට්‍ය’ විශේෂයෙන් කැපී පෙනෙයි)

2. කතෝලික ධර්මය ඉගැන්වීම අරමුණුකොටගෙන රඟ දැක්වූ ධර්මෝපදේශ නාට්‍ය

මෙම නාට්‍ය අතරින් ‘පසං නාටක’ හෙවත් ‘පාස්කු නාට්‍ය’ පිළිබඳ විමසීමක් කළහොත්, ඉංග්‍රීසි භාෂාවෙන් passion play යන නමින් හඳුන්වන මෙම පාස්කු නාට්‍ය ‘පූජා කර්ම නාට්‍ය’ ‘පාස්කු ජනවන්දනා නාට්‍ය’ යන නම් වලින් ද මේ නාට්‍ය හඳුන්වයි.

13 වන කිතුනු සියවසේ සිට පෘතුගාලයේ පැවති මෙම ‘පාස්කු නාට්‍ය’ යුරෝපයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්ප සම්ප්‍රදායක් බිහිකිරීමට සමත් වූවක්. අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා උන්වහන්සේගේ ලිපි ලේඛන මඟින් පෙන්වාදෙන ආකාරයට මෙම නාට්‍යවලට ‘පාස්කු’ යන නම යෙදුණේ, පෘතුගීසි භාෂාවේ ‘පාස්සු’ යන නම ඇසුරෙනි. ‘පාස්කු’ යන වචනයේ අර්ථය ‘ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සුරුවම් නොහොත් ප්‍රතිමා මඟින් පෙන්වීම’ යන්නයි.

කිස්තුන් වහන්සේගේ පාස්කු සිද්ධිය (දුක්විඳීම, මරණය හා උත්ථානය ) මහා ක්‍රිස්තියානි අබිරහසක් හා ප්‍රාතිහාර්යක් බව මුල් කාලවල සිටම කිතුනු විශ්වාසය හා පිළිගැනීම තිබිණි. ඒ අනුව ක්‍රිස්තුන් වහන්සේගේ එම පාස්කු සිද්ධිය දෘශ්‍ය කාව්‍ය ආකාරයෙන් පෙන්නුම් කර , කිතුනු බැතිමතුන්ගේ භක්ත්‍යාදරය හා විශ්වාසය තව තවත් වැඩි කිරීමත්, ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අත්දැකීම කිතුනුවාගේ පෞද්ගලික අත්දැකීමක් ලෙස ඔහුගේ ජීවිතය තුළට කා වැද්දවීමත්, එමඟින් සැබෑ ජීවිත වෙනසක් ඇතිකරවීමත් මෙම පාස්කු නාට්‍ය රඟ දැක්වීමේ අරමුණු වෙයි.

මෙම පාස්කු ජනවන්දනා නාට්‍ය හා ගායනා සෑම එකක්ම වාගේ ලියැවී ඇතිතේ, ශුද්ධ බයිබලය පදනම්කොට ගෙනය. මන්ද, චතාරික කාලයේ ජනවන්දනාවට විශේෂයෙන් මහ සිකුරාදා ‘තුන් පැය ධ්‍යානය’ වන්දනා පිළිවෙතට කිතුනු බැතිමතුන්ව ඉතා ගැඹුරින් යොමු කරවීම මෙහි අරමුණ වී තිබේ. මේ නිසා ඇතැම් පාස්කු නාට්‍ය රංගන ඉතා දීර්ඝ ඒවා විය. පසුකාලයේ දී මහ සිකුරාදා ‘තුන් පැය ධ්‍යානය’ වන්දනා පිළිවෙතට සරිලන පරිදි ක්‍රිස්තුස් වහනසේගේ දුක් ප්‍රාප්තිය රඟ දැක්වීම පමණක් සිදුකර ඇත. අද බොහෝ කතෝලික දේවස්ථානවල මහ සිකුරාදා දින ඉදිරිපත් කරන්නේ පාස්කු නාට්‍යවලින් ගත් සංශෝධනය කළ තෝරාගත් කොටස් කිහිපයකි.

ක්‍රිස්තියානි ජනවන්දනා නාට්‍ය කලාව

ක්‍රමිකව වර්ධනය වූ ග්‍රීක පුද පූජා නාට්‍ය බටහිර නාට්‍යය කලවේ තවත් ප්‍රභේදයක් වන ක්‍රිස්තියානි ජනවන්දනා නාට්‍යට ද මූල පිරීය. පාස්කු නාට්‍යයේ ආරම්භය අව‍බෝධ කර ගත හැකි වන්නේ මධ්‍යකාලීන යුරෝපීය ක්‍රිස්තියානි ජනවන්දනා නාට්‍ය පිළිබඳ අධ්‍යයනයක නියැළීමෙනි. මෙම කාල වකවානුව ක්‍රි.ව. 10 වන සියවසේ සිට ක්‍රි.ව. 15 වන සියවස දක්වා දිගහැරේ. මධ්‍යකාලීන යුරෝපීය නාට්‍ය කලාව ගත් කල කිතුනු ජනවන්දනා නාට්‍ය අබිරහස් හෙවත් මිස්ටරි නාට්‍ය ප්‍රාතිහාර්ය විෂයක හෙවත් මිරකල් නාට්‍යය සහ සදාචාර හෙවත් මොරැලිටි වශයෙන් නාට්‍ය වර්ග 4කට මූලිකව බෙදිය හැකිය.

බටහිර ග්‍රීක නාට්‍ය කලාවේ පමණක් නොව භාරතීය හා චීන නාට්‍ය මෙන්ම සිංහල නාට්‍යයේ ද ප්‍රභවයට මුල් වූ ආගමික වත් පිළිවෙත් හා පොදු ජනතාවගේ ඇදහිලි හා පුද පූජා යුරෝපීය නාට්‍ය කලාවේ උපතට පදනම් වූ බව සඳහන් වේ. මධ්‍යකාලීන යුරෝපීය ජනවන්දනා නාට්‍යයේ ප්‍රභවයට මූල බීජය වපුරවමින් ප්‍රථම වරට දිව්‍ය පූජාවට නාට්‍ය ගුණයෙන් අනූන වූ නිරූපිත ජවනිකාවක් එක් කරනු ලැබුවේ දහවන ශතවර්ෂයේදී ය. මධ්‍යකාලීන කිතුනු ජනවන්දනාවට අයත් ඉපැරණිතම නාට්‍ය වන මෙය පාස්කු දිව්‍ය පූජා යාගයේ නිරූපිත වූවකි. එහි අත්පිටපතක් සාන්ත ගෝල්ක තාපසාරාමයෙහි හමුවන අතර එහි අති සරලතම අනුවාදය ලතින් බසින් සඳහන් වේ.

ජනවන්දනාවක් වශයෙන් යුරෝපයේ බිහිවී ඇති පාස්කු නාට්‍ය අද වන විට මුළු ලොවෙහිම ප්‍රසිද්ධියට පත්වී ඇත. පෘතුගාලය, බෙල්ජියම, ඉතාලිය, මෙක්ෂිකෝව, ෆිලිපීනය, ස්පාඤ්ඤය ආදී රටවල් ගණනාවකම ප්‍රසිද්ධියට පත් පාස්කු නාට්‍ය කලාව ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් මෙම පාස්කු නාට්‍ය හරහා දුක් ප්‍රාප්ති ගායනා හෙවත් පසන් ගායනාවක් බිහිවන්නේ ලංකාවෙනි.

නාට්‍ය මගින් කතෝලික ධර්මය ඉගැන්වීම

පාස්කු නාට්‍ය මගින් කතෝලික ධර්මය ඉගැන්වීමට ක්‍රියා කළ ධර්ම දූතයන් අතර ප්‍රැන්සිස්කානු හා ජේසු නිකායික පූජකවරුන් කැපී පෙනෙයි. ඔවුන් අතරින් ජේසු නිකායිකයෝ නාට්‍ය පෙන්වීම පිළිබඳ ප්‍රවීණයෝ වෙති. විදේශ රටවල ධර්ම ප්‍රචාරය සඳහා යාමට බලාපොරොත්තු වන සෑම ධර්මදුතයෙක් ම නාට්‍ය පුහුණුවක් ලැබීම ඔවුන්ගේ ආගමික අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් වී තිබිණි. මේ සඳහා පෘතුගාලයේ හා ඉතාලියේ නාට්‍ය පුහුණු පාසල් පිහිටුවා තිබූ අතර පෘතුගාලයේ සිට ආසියානු රටවලට නැව් වලින් යාත්‍රා කිරීමේදී පෙර පුහුණුවක් වශයෙනුත්, එහි මගීන්ගේ රසාස්වාදය පිණිසත් ජේසු නිකායික පූජකවරුන් තමන් ගමන් ගන්නා නැව් තුළ නාට්‍ය රඟ දක්වා ඇති බව ඔවුන් පෘතුග‍‍ාලයට යැවූ ලිපිවල සඳහන්ව ඇත. මෙසේ නැව් තුළ නාට්‍ය රඟ දක්වමින් නාට්‍යවල අඩුපාඩු සාදා ගැනීමත්, නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමත් එය පදනම් කර ගනිමින් නාට්‍යවල වෙනස්කම් කිරීමටත් මෙම පූජකවරුන් පුරුදු වී සිටි බවට සඳහන් වේ.

මෙම පාස්කු නාට්‍යවලින් බොහෝමයක් දෙව්මැදුරු ආශ්‍රීතව රඟ දක්වා තිබේ. ඇතැම් ඒවා පැරිෂ් පාසල් (මීසමට අයත් ප්‍රධාන පාසල්වල) වල රඟ දක්වා ඇත. ඇතැම් කතෝලික දෙව්මැදුරු අසල ස්ථිර රංගන වේදිකා ඉදිකර තිබූ බව ලන්දේසි පූජකවරයෙකු වූ පිලිප්පුස් බල්දේයුස්තුමා ඔහුගේ කෘතියේ සඳහන් කර තිබේ.

රූකඩ හා ප්‍රතිමා මඟින් රඟ දැක්වීම

ශ්‍රී ලංකාවේ මුල්කාලීන පාස්කු නාට්‍ය සම්පූර්ණයෙන් ම වාගේ රඟ දක්වා ඇත්තේ සුරුවම් ප්‍රතිමා හා රූකඩ භාවිතයෙනි. රූකඩ නාට්‍ය කලාවේ ආරම්භය පාස්කු නාට්‍ය යැයි කිව හැකි තරමට ම මේවා බොහෝම ඉපැරණිය. පාස්කු නාට්‍ය රඟ දැක්වීමට යොදා ගත් රූකඩ වර්ග තුනක් (3) දක්නට ලැබෙයි.

1. මුල් භාවිතයෙන් නටවන රූකඩ

2. කෝටු භාවිතයෙන් චලනය කරවන රූකඩ

3. නූල් හා කෝටු යන දෙකම භාවිතයෙන් රඟ දක්වන රූකඩ

මෙම නූල් රූකඩ ඇද ඇත්තේ (අම්බලන්ගොඩ රූකඩ මෙන්) වේදිකාවේ ඉහළ සිට නොව වේදිකාවේ යට පිහිටි සැඟවුණු කොටසක සිටය. ඔවුන් ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබ සිටි පිරිසක්. ජීවමාන මිනිස් ශරීර ප්‍රමාණයෙන් යුක්ත මෙම රූකඩ අලංකාර ලෙස පල්පවලින් සකසා ඇති අතර, පහළ කෙටස රඟ දැක්වීමේ පහසුව සඳහා පිදුරු පිරවූ ගෝනි රෙදිවලින් නිමකර තිබී ඇත.

රූකඩ, ප්‍රතිමා ජීවමාන නළු නිළියන් වීම

පසුකාලීනව ජේසුස් වහන්සේ හා මරියතුමියගේ චරිත හැර අනෙක් චරිත ජීවමාන නළු නිළියන් විසින් රඟ දක්වා තිබෙනවා. මෙසේ සුරුවම්වලින් පණ ගැන්වුණු පාස්කු නාට්‍ය තුළට ජීවමාන නළු නිළියන් එක්වීමට බලපෑ‍ හේතු කිහිපයක් තිබේ.

1. දිගු කාලයක් භාවිත කළ සුරුවම් අබලන්වීම නිසා ඒවා නිසි ලෙස රඟ දැක්වීමට යොදා ගැනීමේ අපහසුව ඇති වීම.

2. මෙම සුරුවම් ක්‍රියා කළේ නූල් සූත්තර ක්‍රමයට නිසා ඒවා නිසි ලෙස හැසිරවීමට දන්නා දක්ෂ ශිල්පීන් ක්‍රමයෙන් අඩු වී යාම.

3. මෙම සුරුවම් හා එමඟින් ඉදිරිපත් කළ පාස්කු කතන්දරය දිගු කලක් පෙන්වීම නිසා ප්‍රේක්ෂකයෝ ඒවා හොඳින් දනිති. එනිසා පසුකාලීනව බලාපොරොත්තු වූ දේව පණිවුඩය එමඟින් ලබා දීමට නොහැකි වීම.

4. ජීවමාන නළු නිළියන් යොදා ගැනීමෙන් වසරින් වසර කතා පිටපත අලුත් කිරීමටත්, ජවනිකාවල නවතාවයක් ඇති කිරීමටත් හැකි බව පෙනී යාම.

5. සුරුවම් භාවිතයෙන් කරන පාස්කු සංදර්ශනවලට වඩා ඉතා සාර්ථක අන්දමින් හා වඩාත් සිත් කාවදින සුළු ආකාරයට ජීවමාන නළු නිළියන් මඟින් කළ හැකිවීම.

6. ජීවමාන නළු නිළියන් මඟින් අංගචලන‍යන් හා භාවයන් ප්‍රකෘති ලෙස කළ හැකි වීම නිසා.

7. දෙබස් හා ගායනයන් ජීවමාන නළු නිළියන් මඟින් සජීවීව හා තාත්විකව ගායනා කිරීමට හා දෙබස් උච්චාරණයට හැකිවීම.

යනාදිය දැක්විය හැකිය. නාට්‍යයට අවශ්‍ය පසුතලය හා ඇතැම් චරිත කොටස් නිරූපණය කර ඇත්තේ පසුබිමෙන් එල්ලා තිබූ චිත්‍රවලිනි. නිදසුනක් ලෙස ජේසුස් වහන්සේ දෙපස ඇණ ගැසූ සොරුන් දෙදෙනා හා ඈතින් පෙනෙන ජෙරුසලම් නගරය සිතුවමකින් පෙන්වා ඇත.

පාස්කු නාට්‍යයේ අරමුණ ජන වන්දනාවට බැතිමතුන්ව සූදානම් කිරීම හා ඊට භක්ත්‍යාදරයෙන් සහභාගී කරවීම නිසා පසුකාලීන පාස්කු නාට්‍යයේ ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබිණි.

1. ජීවමාන නළු නිළියන් යොදාගෙන කරන ජවනිකා රඟ දැක්වීම

2. සුරුවම්, ප්‍රතිමා යොදාගෙන කරන රඟ දැක්වීම

පාස්කු නාට්‍යයේ මුල් අවස්ථාවේ සිට පිලාත්ගේ නඩු තීන්දුවේ අවසානය දක්වා කොටස්වලට ජීවමාන නළු නිළියන් රංගන දායකත්වය දෙන අතර, ඉන් පසුව එහි දෙවන කොටස වන කල්වාරි ගමනේ සිට ජේසුස් වහන්සේ කුරුසිය මත උකුත්වීම දක්වා සුරුවම් ප්‍රතිමා භාවිතයෙන් රඟ දැක්වෙන ජනවන්දනා කොටස ඇරඹේ. පාස්කු නාට්‍යයේ මෙම දෙවන කොටස එහි ප්‍රධානම හා වැදගත්ම කොටස වන අතර, එය ජනවන්දනා භක්ති අභ්‍යාසයක් ලෙසින් රඟදැක්වෙන නිසා මෙම පාස්කු නාට්‍ය ‘පාස්කු ජනවන්දනා නාට්‍ය’ යන නමින් ද හඳුන්වයි. එනිසා ජේසුස් වහනසේ හා මරියතුමිය යන චරිත සඳහා සුරුවම් උපයෝගී කර ගනියි. එහි අරමුණ ශ්‍රද්ධාව ඇති කිරීම හා මහ සිකුරාදා දින ජනවන්දනාවට ප්‍රවේශ වීමය.

වර්තමානයේ කතෝලික දේවස්ථානවල මහ සිකුරාදා ‘තුන් පැය ධ්‍යානය’ මුල් කරගෙන ඉදිරිපත් කරන පාස්කු නාට්‍යවල මෙම දෙකොටසම දැකිය හැකි නමුත්, කුරුසියේ ඇණ ගැසූ ජේසුස් වහන්සේගේ චරිතය හැර සෙසු චරිත සියල්ලම ජීවමාන නළු නිළියෝ රඟ දක්වති. ජේසුස් වහන්සේගේ සුරුවම ජීවමාන මිනිස් සිරුරක ප්‍රමාණයෙන් යුක්තය. එය ප්‍රේක්ෂකයන්ට ‍නොපෙනෙන සිහින් කඹ ආධාරයෙන් අදත් ක්‍රියාත්මක කෙරෙයි. එම සුරුවමේ හිස, දෑස්, දෙඅත් හා දෙපා එහා මෙහා චලනය කළ හැකි ආකාරයට වෙන වෙනම අවයව එකිනෙකට සම්බන්ධ කර ඇත.

‘පාද නමස්කාරය’ ආරම්භ වීම

මෙම පාස්කු නාට්‍ය වේදිකාවට පමණක් සීමා නොකොට එය ජීවමාන රංගන ක්‍රියාවලියක් බවට පත්කරමින් ජේසුස් වහන්සේගේ කුරුස ගස බැතිමතුන් මාරුවෙන් මාරුවට කර තබාගෙන යමින් එම ජනවන්දනා භක්ති අභ්‍යාසයට පූර්ණ දායකත්වය දෙමින් ජේසුස් වහන්සේගේ කුරුස ගමනේ අත්දැකීම විඳ ගනිති. ‘පාද නමස්කාරය’ භක්ති අභ්‍යාසයක් ලෙස නාට්‍යයෙන් ගැලවී වෙනමම එකක් වෙයි. අද අප පාදනමස්කාරය ලෙස කරන භක්ති අභ්‍යාසය ඇරඹෙන්නේ පාස්කු නාට්‍යවල එක් කොටසක් ලෙසිනි. නමුත් අද එය අපේ වෙනම චතාරික භක්ති අභ්‍යාසයක් බවට පත් වී ඇත.

එම පාස්කු පෙරහැරේදී බැතිමතුන් කුරුසිය කර තබා ගෙන යන ක්‍රිස්තුන් වහන්සේගේ ජීවමාන නළුවාට එය ගෙන යාමට සහය වෙමින් සිරිනියේ සීමොන්, වෙරෝනිකා හා ජෙරුසලමේ ස්ත්‍රීන්ගේ චරිතවලට පණ පොවති. ඒ වටා හේවායන් මෙන් රඟපාන නළුවෝද ගමන් කරති. අවසන් වශයෙන් කුරුසියේ ඇණ ගැසූ ජේසුස් වහන්සේව නිරූපණය කරනනේ සුරුවමය. පසුව කුරුසියෙන් බිමට බාන කුරුස පත් ජේසුස් වහන්සේගේ එම සුරුවම යහනක තබාගෙන මළ බෙරය හඬවමින් පෙරහැරකින් දේවස්ථානය තුළට ගෙන එන අතර, එය සිපාචාර කිරීමට බැතිමතුන්ට අවස්ථාව සලසා දෙයි.

මෙසේ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා කුරුසියේ මරණය සුරුවම් භාවිතයෙන් හා රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් ඉදිරිපත් කරමින් එම ඓතිහාසික සිද්ධියට දුන් පණ පෙවීම නිසා පාස්කු නාට්‍ය ජීවමාන ස්වරූපයක් ගෙන ඇත. මහ සිකුරාදා දුක් ප්‍රාප්ති ජනවන්දනා, මෙහෙයට සහභාගි වූ කතෝලිකයන් මෙම පාස්කු නාට්‍ය නරඹා කඳුළු සැලු බව පැරණි වාර්තාවලින් පෙනී යයි.

පසුකාලීනව පාස්කු නාට්‍යවලට නව අර්ථ කථනයක් දීමටත්, එහි නාට්‍යමය ස්වරූපය වැඩි දියුණු කිරීමටත්, කතෝලික බැතිමතුන් තුළ භක්ත්‍යාදරය වැඩි දියුණු කිරීමටත් සහයක් වශයෙන් ගීතිකා හා කන්තාරු ඇතුළත් කෙරුණි. මෙම කන්තාරු ගීත ප්‍රධාන කොටස් දෙකකින් (2) යුතු විය.

1. සාමූහික ගායනා - (උදාහරණ, සිරි මරණේ සාධුකාර ගීත ශ්‍රීය, බලනු බලනු සෙන‍ඟෙනි.. වැනි ගී)

2. හුදෙකලා ගායනා - (වෙරෝනිකා ගයන - හඳපානේ පිපි වැටකෙයි මල සේ නම් ගීය)

ලංකාවේ පාස්කු නාට්‍යවලට මහත් කලඑළියක් හා නව පන්නරයක් ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 1705 දී මෙරටට පැමිණි ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා මඟිනි. එතුමා පාස්කු නාට්‍ය කලාවට නවක අංග කිහිපයක්ම එක් කළේය. විශේෂයෙන් එතුමා එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පෙදෙස්වල සේවය කරද්දී එහි සිටි කාන්තාවන් මිය ගිය තම ස්වාමි පුරුෂයාගේ දේහය ඉදිරියේ නැගු විලාපය හා ලතෝනි හඬ තුළින් මතු වූ රිද්මය ඇසුරෙන් ගීත නිර්මාණය කොට ඒවා පාස්කු නාට්‍ය සඳහා යොදා ගත්තා. ක්‍රිස්තු වර්ෂ 1728 දී ගොන්සාල්වේස් පියතුමා රචිත ‘දුක් ප්‍රාප්ති ප්‍රසංගය’ නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත ‘දේශනා නවයේ පසන් පොත’ පාස්කු නාට්‍ය සමඟ සම්බන්ධ විය.‍

‘ඔරතෝරියන් මිෂන් රිපෝට්’ නමැති වාර්තාවේ මෙසේ දැක්වෙයි. ශුද්ධ වූ සතිය පාස්කු සංදර්ශන සමඟින් සැමරූ අතර, ධර්මදූතයන් සය දෙනා දේශනා නවය ඔවුන් අතර බෙදා ගනිමින් එකක් ද්‍රවිඩයෙන් ද, අනෙක් ඒවා සිංහලයෙන් ද පැවැත් වූහ. තම භාර්යාවන් හා දරුවන් සමඟ පැමිණ සිටි කොළඹ ඕලන්දිය කතෝලිකයන් සතුටු කරනු සඳහා ඔවුන් දන්නා භාෂාව වූ පෘතුගීසියෙන් ද දේශනයක් විය. කොළඹ, මීගමුව, මාතර හා අනෙකුත් පෙදෙස්වලින් ද, දෙදිනක හෝ තෙදිනක ගමනකින් බෝලවත්ත ප්‍රදේශයෙන් පැමිණි ජන සංඛ්‍යාව අති විශාල විය. ඔවුන් ගොබ් ඉරු දින පැමිණි අතර, පාස්කු ඉරු දින තෙක් නැවතී සිටියහ. එම ස්ථානයේ හැටියට වඩාත් පහසුවෙන් නවාතැන් ගත නොහැකි වූයෙන්, බොහෝ බැතිමතුන් දේශීයව සපයාගත හැකි පොල් අතුවලින් තාවකාලික නිවාස සාදා ගත්හ.

දේශනා නවයේ පසන් පොත

මෙම පාස්කු සංදර්ශනයේ දේශනාවාදීන් වූයේ, පළමු දර්ශනය - අපගේ ස්වාමීන් වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ගෙන් සමුගැනීම, දියෝගු ද මෙල්ලෝ පියතුමා විසින් ද, දෙවැන්නද,: ක්‍රිස්තුස් වහන්සේ උද්‍යානයෙහි සිටීම, ඇලෙයිසෝ මැනුවෙල් පියතුමා විසින් ද, තෙවැන්න: අත්අඩංගුවට පත්වීම හා සිර අඩස්සි කිරීම බර්නදිනෝ ද මොන්රෝයි පියතුමා විසින් ද, සිව්වැන්න : කසයෙන් තැලීම්, ප්‍රැන්සිස්කෝ ගොන්සාල්වේස් පියතුමා විසින්ද, පස්වැන්න : කටු ඔටුන්න හිස මත පැලඳවීම, එම ප්‍රැන්සිස්කෝ පියතුමා විසින් ද, සයවැන්න : මෙන්න මනුෂ්‍යයා, බෙර්නදිනෝ පියනම විසින්ද, සත්වැන්න : කුරුසිය රැගෙන යාම, කුස්තෝදියෝ ද අන්ද්‍රාදී පියතුමා විසින්ද, අටවැන්න : කුරුසියේ ඇණ ගැසීම, බැතිමතුන්ගේ දැඩි ඉල්ලීම නිසාවෙන් ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ ලියවිලි වලින් සිංහලයෙන් කියවීම, නවවැන්න : කුරුසියෙන් බිමට බෑම, අන්ද්‍රාදී පියතුමා විසින් ද වෙති. මහ සිකුරාදා දෙව මෙහෙය හා දේශනාවෙන් පසුව ඇරඹුණේ පාස්කු සංදර්ශනයයි.

කුරුසියේ ඇණ ගැසීම ද, කුරුසියෙන් බෑම ද භක්ත්‍යාදරය වඩන ලෙස නිසි පිළිවෙලට සිදු කෙරිණි. අනතුරුව ජේසුස් වහන්සේගේ මෘත දේහය සංකේතවත් කරන සුරුවමක් සහිත පෙරහැර පවත්වනු ලැබීය. ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා සියලු දෙනාම ඉටිපන්දම් ගත් අතැතිව පෙරහැරට එක් වූ අතර එක් පිරිසක් සිංහලයෙන් ද තවත් පිරිසක් දෙමළ භාෂාවෙන් ද යාච්ඤා පැවැත්වූහ. පෙරහැර යළි දෙව්මැදුර වෙත ළඟා වූ විට ස්වාමිදරුවනගේ පිළිරුව එහි පසෙක පිළියෙල කළ ගල්ලෙනෙහි තැන්පත් කරන ලදි. ඊට පසු පිරිස කාණ්ඩ දෙකකට බෙදී ගීතිකා ගැයූහ. කොළඹ සිට පැමිණි ආර්යාවෝ රවිකිඤ්ඤා වීනා, සිතාර් යනාදි තූර්ය භාණ්ඩ ගෙනා බැවින් ඒවා වාදනයෙන් සංගීතයට ආධාර කළහ. තවද පෘතුගිසී භාෂාවෙන් ඇතැම් ලයාන්විත ගීතිකා ද ගායනා කරන ලදී.

මෙයි පෙනී යන්නේ , ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ ‘දේශනා නවයේ පසන් පොත’ හා දුක් ප්‍රාප්ති ප්‍රසංගය කෘතිය පාස්කු නාට්‍යවලට බලපෑ ආකාරයයි. පාස්කු නාට්‍ය රඟ දැක්වෙද්දී වේදිකාවේ කොණක සිටගත් අර්ථ කථනය කරන්නකු මෙම සුරුවම් හා නාට්‍යයෙන් කි‍යවෙන දේ පැහැදිලි කර බැතිමතුන්ට විස්තර කරයි.

මෙම පාස්කු නාට්‍ය රඟදැක්වුණු වේදිකාව භූමිකා තුනකින් එනම් ත්‍රිභාග වේදිකාවලින් යුක්ත විය. එමඟින් එකම නාට්‍යයේ ජවනිකා අවස්ථා දෙකක් හෝ තුනක් එකවර රඟ දැක්වීමට හැකි විය. ප්‍රධාන ජවනිකාව මැද පිහිටි ප්‍රධාන ‍වේදිකාවේ රඟ දැක්වෙද්දී දෙපස ඇති කුඩා වේදිකාවල වෙනත් ජවනිකා දෙකක් නිරූපණය විය. නිදසුනක් ලෙස, ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් සමඟ රාජකීය ලීලාවෙන් ජෙරුසලමට පැමිණීම ප්‍රධාන වේදිකාවේ රඟ දැක්වෙද්දී, පිලාත් සිය බිරිඳ ක්ලෝඩියාව හමුවීම කුඩා වේදිකාවක ඉදිරිපත් කෙරේ. ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය පැවැත්වීම ප්‍රධාන වේදිකාව මත රඟපාන අතර, ජුදාස් නායක පූජක කායාපස්ව හමුවීම අනෙක් පස රඟ දැක්වේ. එසේම මෙම පාස්කු වේදිකාවක ඉදිරිපස මුහුණත අඩි 25 ක් පමණ උස්වූ අතර, පිටිපස කොටස වියළි පොල් අතු වලින් ආවරණය කර ඇත. එම නිසා මෙම වේදිකා ‘පාස්කු මඩු’ නම් වේ. එසේම වේදිකා භූමිය පොළොවේ සිට අඩි 6ක් පමණ උස් විය. වේදිකාව යට කොටසේ සිට රූකඩ සුරුවම් ‘ප්‍රතිමා මෙහෙයවමින් එහා මෙහා ගෙන යමින් රඟ දක්වන නාට්‍ය ශිල්පීන්ව නොපෙනෙන පරිද ආවරණය කර ඇත. එහෙත් ස්ථිර පාස්කු වේදිකා දැකිය හැක්කේ පිටිපන පමණි. එය පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇත.

පාරම්පරික පාස්කු මඩු හා සන්දර්ශන

ශ්‍රී ලංකාවේ ‍පාස්කු නාට්‍ය කලාව වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත්තේ මුහුදුබඩ ප්‍රදේශවලය. ධර්මදූතයන් අත පැවති මෙම පාස්කු මඩු හා සංදර්ශනවල නිත්‍යානුකූල භාරකාරත්වය හා අයිතිය පසුව එම ප්‍රදේශයේ සිටි පවුල් කිහිපයකට හෝ ප්‍රදේශවාසීන්ට හිමිවිය. කෙසේ වුවද මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ, කන්ද උඩරට පාස්කු නාට්‍යවල සම්ප්‍රදායක් දැකිය හැකිය. එහෙත් මෙරට වඩාත් ප්‍රසිද්ධ පාස්කු නාට්‍ය වන්නේ , පිටිපන, මීගමු දූව, බොරලැස්ස යන ප්‍රදේශවල රඟ දක්වන නාට්‍ය වෙති. මීට අමතරව මග්ගොන, දියලගොඩ, පයාගල, කලමුල්ල, වාද්දුව හා මොරටුව යන පෙදෙස්වල ද, හලාවත, බෝලවත්ත, කම්මල, නයිනමඩම, පුත්තලම යන ප්‍රදේශවල ද, මඩකලපුව, මන්නාරම, පේසාල, යාපනයේ, පේනඩට්රිප්පු, අරිප්පු, වත්කාල් හා සිලාවතුරෙයි යන ප්‍රදේශවලද ද්‍රවිඩ පාස්කු නාට්‍ය රඟ දක්වා ඇත. ලාංකේය නාට්‍ය කලාවේ පෝෂණයට කිතුනු නාට්‍ය කලාව දායක විය. 17 වන සියවසේ සිටි පෘතුගිසී ධර්මදූත පියතුමන්ලා විසින් රචනා කරන ලදැයි සිතිය හැකි පාස්කු නාට්‍යවල අත්පිටපත් කිහිපයක් ශේෂව තිබී ඇත. ලංකාවට පැමිණි ධර්මදූත පූජකවරු මෙම අත්පිටපත්වල අභ්‍යාස ලබන්නට ඇත‍. 17 වන සියවසේ ෆැන්සිස්කාන නිකායේ අන්තෝනියෝ පෙයිශෝතු පියතුමා මීට එක් නිදසුනකි. මෙතුමා 1609 දී මාතර කොටවන දෙව්මැදුරේ කිතුනු නාට්‍යයක් රඟ දක්වා ඇත. එවකට මෙරට පැවති විවාහ ක්‍රමයක් වූ එකගෙයි කෑම (Polygamy) සදාචාරාත්මක නොවන බව පෙන්වීමට මෙම නාට්‍ය ලියා ඇත්තේ සන්වාක ජුවාම් තුමාගේ ප්‍රාණ පරිත්‍යාගය නම් වූ තේමාව මුල් කර ගනිමින්ය.

1602 දී ජේසු නිකායික පියතුමන්ලා විසින් නිර්මාණය කළ නාට්‍යක් රඟ දක්වා ඇත්තේ කොළඹ ජේසු නිකායික ගෘහයේ පැවති නාට්‍ය පාසලේදීය. මෙම නාට්‍ය දියෝගා ද කුඤ්ඤ පියතුමා විසින් නිර්මාණය කළ බව සඳහන් වේ. මෙය ලාංකේය කිතුනු ජනවන්දනා නාට්‍යයේ පැරැණි ම රංගනය ලෙස සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය 1706 දී පමණ කටුගස්තොට ශා. අන්තෝනි දෙව්මැදුරෙන් ආරම්භව මන්නාරම් ප්‍රදේශයන් ලංකාව පුරා ප්‍රසිද්ධ වූ බව පත පොතේ සඳහන් වේ. නමුත් ඇතැම් පර්යේෂකයනගේ මතය වී ඇත්තේ එය ඊටත් ප්‍රථම මුහුදු බඩ ප්‍රදේශයෙන් ආරම්භ වී ඇති බවයි. නමුත් එම නාට්‍ය රඟ දැක්වීම් සම්බන්ධව විධිමත්ව ඉතිහාසයේ සඳහන් නැති බව ඔවුන්ගේ මතයයි. අද දක්වා බටහිර මුහුදු බඩ ප්‍රදේශවල මෙම පාස්කු නාට්‍ය රඟ දක්වයි. ලංකාවේ ප්‍රසිද්ධ බොරලැස්සේ ලොරන්ස් පෙරේරා නම් නිර්මාණකරුවා විසින් කරන ලද පාස්කු නාට්‍යය 1923 දී පමණ ආරම්භව 1938 දක්වා ලංකාවේ ප්‍රසිද්ධම පාස්කු නාට්‍ය විය. පිටිපන පාස්කුව 1738 දී පමණ ආරම්භ වී ඇත. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් රචිත දුක්ප්‍රාප්ති සංග්‍රහය නම් දේශනා නවයේ පසන් පොත මුල්කරගෙන රූකඩ ආශ්‍රිත පාස්කුවක් පිටිපන ‘ නයිදප්පු’ පරම්පරාවෙන් ආරම්භ වී ඇත. මුල් වකවානුවේදී ආදම් එවගේ සිට පාස්කු හතක් පෙන්වූ බව කියැවේ. ‘ගොබ් ඉරිදා’ සිට මළවුන්ගෙන් උත්ථානවීම සමරන ‘පෙරනාල් ඉරිදා’ දක්වා මේ පාස්කුව පෙන්වන ලදි. මුළු පාස්කුවම රූකඩ හා සුරුවම් ආශ්‍රිතව කරන ලදී. මෙම පාස්කු හතේදී විශේෂිතම දේ නම් ආලේලුයියා සෙනසුරාදා රාත්‍රි පෙන්වා ඇති යක් නාඩගමයි. එය සම්පූර්ණයෙන්ම මිනිසුන් යොදාගෙන කළ යෝබ් තුමාගේ ජීවිත කථාව හා ජේසුන්ගේ මරණය නිසා පාතාලයේ ඇති වූ කැලඹීම පිළිබිඹු කිරීම සඳහා කළ නාඩගමකි. පිටිපන පාස්කු නාට්‍යය ඉදිරිපත් කිරීම සඳහා රූකඩ 42ක් සහ ජේසුස් වහන්සේගේ විවිධ ඉරියව් නිරූපණය කෙරෙන සුරුවම් හතක් තිබී ඇත.

දූවේ පාස්කු නාට්‍යයේ ආරම්භය පිළිබඳ විවිධ මත ඇත. මේ නිසා 1839 සිට නියත වශයෙන් රඟ දක්වන්නට ඇතැයි සිතිය හැක්කේ, 1939 දී එහි ශතක ජයන්තිය පවත්වා ඇති බැවිනි. 1839 වසරේදී පමණ ඉන්දියාවේ කොචින් ගම්මානයේදී නිර්මාණය කරන ලදැයි සැලකෙන පාස්කු ප්‍රතිමාව අද දක්වාම සුරැකිව පවතියි. මෙය වේස්තු කිස්තෝ නම් ඉන්දියානු ප්‍රතිමා ශිල්පියාගේ නිර්මාණයක් ලෙස සලකයි. 1939 දක්වාම දුවේ පාස්කු නාට්‍යය සඳහා භාවිතකොට ඇත්තේ ප්‍රතිමාය. මේ නිසා මෙම පාස්කු නාට්‍ය යුගය ප්‍රතිමා පාස්කු යුගය ලෙස හැඳින්වෙයි. 1939 දී නව නාට්‍ය පිටපතක් පාස්කු රංගනය සඳහා යොදාගෙන ඇත. ඒ වූ කලී 1937 සිට 1940 දක්වා මීගමුව සින්ද්‍රානි දෙව්මැදුරේ මීසම් පාලකව උන් මර්සලින් ජයකොඩි පියනම විසින් ඩොරති සෙස්ගේ බෝන් කින්ග් ක්‍රිස්තු චරිතය කතාව ඇසුරු කරගෙන රචනා කරන ලද නාටක පිටපතකි. මෙම නාට්‍ය පිටපතේදී ප්‍රතිමා බොහොමයක් වෙනුවට මිනිස් චරිත යොදා ගැනීම නිසා ප්‍රතිමා භූමිකා ලෙස ඉතිරිව ඇත්තේ (එවකට) ක්‍රිස්තුතුමා, මරියතුමිය, ජුවාම් චරිත කීපයක් පමණි.

මීගමුව නගරයට ආසන්නව පිහිටි පිටිපන ගම්මානයේද පාස්කු නාට්‍යය සම්බන්ධ ප්‍රසිද්ධියක් උසුලයි. අද දක්වාම නවීකරණය කරමින් මෙම නාට්‍ය රංගනය කරනු ලබන අතර, වසර 275ක් පමණ පැරැණි බව නාට්‍ය විචාරකයෝ පවසති. පිටිපන පාස්කුවට දීර්ඝ ඉතිහාසයක් ඇති බවට සාධක කීපයකි. ඒ පිටිපන දේවස්ථානය ඉදිරියේ පිහිටා ඇති පාස්කු මඩුවයි. මෙම පාස්කු මඩුවේ විශේෂත්වය වන්නේ පෘතුගිසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදා තිබීමයි. පාස්කු මඩුවේ ඇණ ගසන කුරුසියේ ප්‍රතිමාව , පිටිපන දේවස්ථානයේ අල්තාරය ඉදිරියට පෙනෙන සේ නිමකොට ඇත. මෙම පාස්කු මඩුවේ තවත් විශේෂත්වයක් වන්නේ ත්‍රිහාග රංග පීඨයකින් සමන්විත වීමයි. හෙරොද් මාලිගාව, පිලාත්ගේ මාලිගාව මෙම එකම රඟ මඩලක පෙන්වීමට හැකියාව තිබීමයි.

බයිබලීය කතා රඟ දැක්වීම

පිටිපන පාස්කු නාට්‍යයේ ඓතිහාසික පසුබිම මතුකරන විට ඉතිරිව ඇති සාධකයක් වන්නේ පාස්කු මඩුවට සහ එය වටා ඉදිකොට ඇති ප්‍රකාරයයි. මෙවැනි විශාල ප්‍රකාරයකින්න වටකොට ඇත්තේ මුල්කාලයේ රූකඩ විලාසයෙන් පාස්කු නාට්‍යය පෙන්වූ නිසා බව ජනතාවගේ මතයයි. නිදසුනක් ලෙස ජේසුතුමා කොටළුවකුගේ පිට උඩ යන අවස්ථාව පෙන්වීමේදී මිනිසකු කොටළුවගේ රූකඩය හිසමත තබා පාස්කු මඩුවේ එහා මෙහා ගිය බව ඔවුහු පවසති.

මුල් යුගයේදී පිටිපන පාස්කුව රංගනයකොට ඇත්තේ පාස්කු සතියට අදාළව නාට්‍ය දර්ශන වෙන්කරගෙනය.

1. ගොප් ඉරිදා - ආදම් සහ ඒව ලෝකය මැව්ව අවස්ථාව පටන්ගෙන, කායින් ආබේල් මරණය.

2. මහා බ්‍රහස්පතින්දා - නායක පූජක කුමන්ත්‍රණය අන්තිම රාත්‍රි භෝජනය දක්වා කොටස් නිරූපණය.

3. මහ සිකුරාදා - ජෙත්සමනි උයනේ සිට ජේසුතුමාගේ මරණය දක්වා (පිලාත්ගේ නඩුවේ සිට)

4. අ‍ලේලූයියා සෙනසුරාදා -මෙදින රාත්‍රියේ ජේසුතුමා මරණය පරාජය කොටඋත්ථාන වන නිසා පාතාල ලෝකයේ දොරටු විවෘත වන බව (ස්වර්ගීය මාර්ගය) ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.

මේ දිනට (අලේලූයියා සෙනසුරාදා) පසුව යකුන්ට පාතාල ලෝකයෙන් ඉවත්වීමට සිදුවෙයි. එබැවින්, අලේලූයියා සෙනසුරාදා යකුන්ගේ නිදහස් දිනය ලෙස සලකයි. මෙහි සිදුවීම සිහිකිරීම සඳහා ගමේ ළමෝ යකුන් ලෙසින් වෙස්වළාගනු ලබති. කොළ අතුවලින් සහ විවිධ දැලි වර්ගයකින් ශරීර විකෘති කරගනු ලබයි. මේ ළමෝ ගමේ නිවෙස් ‍ෙවත සහ කඩසාප්පු වෙත ගොස් හිඟමන් ඉල්ලති. කලින් දින සිටම ඔවුනගේ පැමිණීම අපේක්ෂා කරන ව්‍යාපාරිකයෝ ඔවුන්ට අවශ්‍ය දේ තෑගි කිරීම සඳහා සූදානම් කරගනු ලබයි.මේ ක්‍රියාවලිය යකාපාටි ක්‍රමය ලෙස ක්‍රිස්තු බැතිමත්තු ව්‍යවහාර කරයි. මෑතක් වන තුරම මෙම ක්‍රියාවලිය මීගමුව නගරයේ පාස්කු සමයේදී දක්නට ලැබුණු සුලබ දර්ශනයක් වී තිබිණි.

5. පාස්කු ඉරිදා - ජේසුතුමා උත්ථාන වූ දිනයයි. ප්‍රතිමාව රැගෙන ජනතාව ගමවටා යෑම සාමාන්‍ය සිරිත වී ඇත. මෙය ඈත අතීතයේ සිදුකරන ලද පාස්කුව පිළිබඳ බිඳක් වුවද වර්තමානයේ නවීකරණය වී ඇති බව පෙනෙයි.

1958 දී රූකඩ හා සුරුවම් උපයෝගී කරගනිමින් නයිදප්ලුලාගේ තෝමස් ප්‍රනාන්දු පාස්කුව පෙන්වා ඇත. දේශනා කාරයා නම් අද පොතේ ගුරා ලෙස හඳුන්වන 8 දේශනය ගායනා කරන විට අදාළ රූකඩ හා සුරුවම් කරළියට ගෙන එමින් මෙම පාස්කුව ඉදිරිපත් කර ඇත.

1964 දී පමණ සලමන් ප්‍රනාන්දු විසින් ලියන ලද පාස්කු නාට්‍යය පිටපතක් මුල්කරගෙන මීගමුව නගර සභා ශාලාවේ දී මිනිසුන් යොදවා පාස්කු නාට්‍යය රඟ දක්වා ඇත. එම නාට්‍ය සඳහා ගීත ලියා ඇත්තේ එතල් ලියනගේ නම් පාඨශාලා ආචාරිනියයි. සංගීතය සපයා ඇත්තේ ස්ටැන්ලි මාස්ටර් නම් කලාකරුවා විසිනි. රූකඩ පාස්කුවට නව මුහුණුවරක් දුන් එම පාස්කුවේ ජේසුස් චරිතය නිරූපනය කර ඇත්තේ ප්‍රරන්සිස්කු නම් කෙනෙකි. එහි ජුදාස් චරිතය මනමේ නම් තරුණයෙකු විසින් ඉදිරිපත් කළ අතර දේව මාතා චරිත හා සෙසු ස්ත්‍රී චරිත පිරිමි අය විසින්ම ඉදිරිපත් කර ඇත. එය මුළුමනින්ම භක්තිය උපදවන පාස්කු නාට්‍යයක් වී ඇත.

පාරම්පරික පිටිපන නාට්‍ය කලාව

පිටිපන පාස්කු නාට්‍යය උරුම වී තිබුණේ නයිදප්පු පරම්පාරාවටය. එය වෙනස් මඟකට ගැනීම හා හොඳ නිර්මාණකරුවන්ට ඉදිරියට ඒමේ අවස්ථාවක් ලෙසත් පාරම්පරික පාස්කුව සාම්ප්‍රදායීක පාස්කුවක් කිරීමක් අතරට ‘ස්වාමිදරුවාණෝ’ 1979 දී පිටිපන පාස්කු නාට්‍ය කරළියට එක් කළේ පිලිෂියන් ප්‍රනාන්දු ගුරුතුමා විසිනි. පිටිපන පාස්කුවට අමතරව බොහෝ නාඩගම් පිටිපනට උරුම වී ඇත. නාඩගම්කරුවන් අතර ඩේවිඩ් සුබෙයිදා ද විය. ඔහු 1964 පාස්කුවේ දේශනාකාරයා ලෙස කරළියට එක්විය. සවරියෙල් ගුරුතුමා, කොරනේලිස් ගුරුතුමා, නමින් ප්‍රසිද්ධ අදත් මතකයේ රැඳි නාඩගම්කරුවන් පිටිපනට උරුමවී සිටියේය. 1979 පාස්කුව නාඩගම් ශෛලිය උපයෝගී කර ගැනීමත් සමඟ මෙම කලාකරුවන් සිහිකිරීමද වටී. 1979 ආරම්භ වූ ස්වාමිදරුවාණෝ පාස්කු නාට්‍යය නාඩගම් සම්ප්‍රදායානුකූලව ඉදිරිපත් විය. එම මුලින්ම කරළියට ගෙන ආවේ විප්ලවීය පාස්කු නාට්‍යයක් ලෙසය. මේ තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ උත්තරීතර මනුෂ්‍යත්වයත් එවකට සමාජය තුළ වූ දිළිඳු බව හා වහල් බවින් මුදවා ගැනීමට කෙරෙන අරගලයත් නායක පූජකයින්ගේ කුරිරු පාලනයත් මැනවින් පිළිබිඹු වන අතර නිතර බලයේ රැඳී සිටීමට වෙර දරන පිලාත් තුළින් නිවට නියාලු පාලකයෙකු නිර්මාණයවීමත් තම ගුරු ස්වාමීන් පාවා දුන් ජුදාස් දෙස වුවද අනුකම්පාවෙන් හා මානව දයාව පෙර දැරිකර බැලීමත් වැනි කරුණු මෙහි අඩංගු විය.

මද්දලය, බෙරය උපයෝගීකරගත් පාස්කුවට උරුම වූ බටහිර සංගීතය ඈත්කර දේශීය සංගීතයට මුල්තැනදීමත් උදාර ගැමි කලාවක් වූ නාඩගම් සම්ප්‍රදායත් ගැබ්කර ගැනීමත් තුළින් ‘ස්වාමිදරුවාණෝ’ නිර්මාණය විය. එම පාස්කුවේ එන දේවමාතා වැලපීම ලියා ඇත්තේ පිටිපන මා ජයවීර නම් කලාකරුවා විසිනි. ඇසුවන් සවන් පත් වලට මුසුව හද කකියවන එම වැලපිල්ල ගායනා කරන්නේ මැගිලින් නොහොත් යමුනා කුමාරි නමින් පිටිපන ප්‍රසිද්ධ පසන් ගායනයෙන් නමක් තබා ඇති කලාකාරිය විසිනි. ඇයද නාඩගම් ඉතිහාසයේ පුරුකකි.

ස්වාමිදරුවාණෝ 1988 දී පිටිපන පාස්කු ඉතිහාසයේ 25 වෙනි ජයන්තිය සැමරීය. 1995 දී චිත්‍රපට සංස්ථාව හා කතෝලික මාධ්‍ය පර්ෂදය හා එක්ව එය චිත්‍රපටයක් බවට පත් කළාය. 1995 දී පිටිපන පාස්කු මණ්ඩපයේදී පිළිෂියන් ගුරුතුමාගේ ගෝලයකු වන සිසිර ජයශාන්ත මෙය අධ්‍යක්ෂණය කළේ පිළිෂියන් ගුරුතුමාගේ මඟපෙන්වීම මතය. 1995 දී ශා. පීතර විද්‍යාලයේ විමුක්තියේ කථාව නමින් දින 7ක් ද හලාවතේ සුදසුනේ ස්වාමිදරුවාණෝ නමින් 1988 දී ද, 1997 දී රුක්මණි දේවී ශාලාවේදීද ස්වාමිදරුවාණෝ නමින් නිහාල් පීරිස් කලාකරුවා ක්‍රිස්තු චරිතයට යොදවා ගනිමින්ද රඟ දක්වා ඇත. 2007 වසරේදීද වෙනස් කම් කිහිපයක් කරමින් සිසිර ජයශාන්තගේ අධ්‍යක්ෂණයෙන් සීදූවේදී ඉදිරිපත් කෙරිණ. කතෝලික ධර්මය ශ්‍රී ලංකවේ පැතිර යමින් තිබූ යුගය (1742 දී) පාස්කු නාට්‍ය කල‍ාවද ප්‍රචලිතව තිබිණ. එම වකවානුවේ ලන්දේසින් විසින් කතෝලිකයින්ට හිරිහැර කළ අවස්ථාවක පළඟතුරේ , පල්ලන්සේන කොච්චිකඩේ කතෝලික ජනතාව පිහිට පතා ඇවිත් ඇත්තේ ද පිටිපනටය. එය පීටර් පිල්ලේ විසින් ලන්දේසි ආණ්ඩුකාරවරයාට ලියූ ලිපියක්ද ඉතිහාසයේ කියැවේ.

ලොව පළමු පාස්කු මුද්‍රා නාට්‍යය

එසේම ලොව පළමු පාස්කු මුද්‍රා නාට්‍යය රඟ දක්වනුයේද ශ්‍රී ලංකාවේය. ‘තාරකයාණෝ’නම් වූ එය ලොව ප්‍රථම පාස්කු බැලේ ප්‍රසංගයයි. එය වසර 2012 දී මීගමුව කඩොල් කැලේ හා 2013 දී කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී අති සාර්ථකව රඟදක්වන ලදී. ‘තාරකයාණෝ’අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නැරඹු අතර එය ලොව ප්‍රථම පාස්කු බැලේ ප්‍රසංගය බවට ප්‍රකාශයක් ද ලබා දී ඇත. මෙහි පිටපත කථිකාචාර්ය විජිත් රොහාන්ගෙනී.

ශ්‍රී ලංකේය සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා පාස්කු නාට්‍යවලින් ලැබුණු සහය අප්‍රමාණය. ශ්‍රී ලංකේය නාට්‍ය කලාවක් බිහිකිරීමටත්, වර්ධනයවීමටත් පාස්කු නාට්‍ය වලින් විශාල දායකත්වයක් ලැබි ඇත. අද එය ලාංකේය උප සංස්කෘතියක් බවටද පත්ව තිබේ. පාස්කු හා පසන් සම්බන්ධව විධිමත් අධ්‍යාපනයක්, අධ්‍යයනයක් හා සංරක්ෂණය කිරීමක් කළ යුතු ආයතනයක අවශ්‍යතාවය ඇතිව තිබේ. පැරණි ලිපි ලේඛන පිටපත් සොයාගෙන අධ්‍යයනය කිරීමත් එය තවදුරටත් අධ්‍යයනය කිරීමත් ඒ සම්බන්ධ පර්යේෂණ පවත්වමින් එය රැකගනිමින් ඒ තුළින් ඉස්මතු වන වටිනාකම් අනාගත පරපුර වෙත රැගෙන යාම අපගේ හෙට දවසේ වගකීමකි. 

තිළිණ අලහකෝන් 

 


නව අදහස දක්වන්න

Or log in with...