මලල ක්‍රීඩා උප සභාපති තනතුරු 7කට හිටපු නිලධාරීහු 17ක් සටන් බිමේ | දිනමිණ

මලල ක්‍රීඩා උප සභාපති තනතුරු 7කට හිටපු නිලධාරීහු 17ක් සටන් බිමේ

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා නැවැත එම තනතුරට ඉදිරිපත් වන්නේද? නැද්ද යන්න අද තීරණය කරයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ නාම යෝජනා අද පස්වරු 2.00ට අවසන්වන අතර වත්මන් සභාපති ප්‍රවීණ ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා ඊයේ වනතුරු නැවැත එම තනතුරට තරග කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹ නොතිබුණි.

එහෙත් හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති තනතුරට නාම යෝජනා භාරදීමේ සූදානමින් පසුවේ. ඔහුගේ පාර්ශවයෙන් අනෙකුත් තනතුරු සදහා ඉදිරිපත්වන කණ්ඩායම නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රකාශ කිරීමට නියමිතය. ප්‍රනාන්දු මහතා සමග කලක් කටයුතු කළ හිටපු ලේකම් ප්‍රේමා පින්නවල මහතා මෙවර එම තනතුරට ඉදිරිපත්වීමට තීරණය කොට ඇති අතර ඔහු ප්‍රනාන්දු මහතාගේ පාර්ශවය නියෝජනය කිරීමේ වැඩි කැමත්තකින් පසුවන බව අප කළ විමසීමකදී පැවැසීය.

වත්මන් ලේකම් සුනිමල් රූපසිංහ මහතා නැවැත ලේකම් තනතුරට ඉදිරිපත් නොවන අතර උප සභාපති තනතුරකට නාම යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි පැවැසේ. සුගත් තිලකරත්න මහතාද සභාපති තනතුරට ඉදිරිපත් නොවීමට අද උදෑසන තීරණය කළහොත් උප සභාපති තනතුරකට නාම යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි මලල ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.

උප සභාපති තනතුරු 7ක් සදහා දැනටමත් 17ක් නාමයෝජනා භාරදීමේ සූදානමකින් පසුවන බව වාර්තා වේ. මෙම බොහෝ දෙනා හිටපු විධායක නිලධාරීන් වීම ද විශේෂත්වයකි.

මෙවර උප සභාපති තනතුරුවලට ඉදිරිපත්වන අය අතර යාපනය නියෝජනය කරමින් එස්. විජිදරන්, ත්‍රිකුණාමලයෙන් ඒ. එස් . අක්මාල් හා මන්නාරම ප්‍රදේශයෙන් එස්. ජෙගනීදරන් යන මහත්වරු නාමයෝජනා භාරදෙන අතර කාන්තා නියෝජනය උදෙසා අයිරාංගනී රූපසිංහ හා නයන්ති කුමාරී චන්ද්‍රෙස්න මහත්මීන් ඉදිරිපත් වෙති. උප සභාපතිවරු 7න් එක් තනතුරක් අනිවාර්යයෙන්ම කාන්තාවක් විය යුතු බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් ව්‍යවස්ථාවේ සඳහන් වේ.

මේ අතර උපලේකම් තනතුර සදහා එස්. ඒ. උපාලී හා සම්පත් ජයසේන යන මහත්වරු තරග කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

උප සභාපති තනතුරු 7ක් සදහා ජී. එල්. එස්. පෙරේරා, කර්නල් සුදත් මඩුගල්ල, ලාල් චන්ද්‍ර කුමාර, කර්නල් මංජුල පෙරේරා, කර්නල් රණවීර, ඒ. එස්. අක්මාල්, එස්. විජිදරන්, උපාලී කුමාරසිරි, අයිරාගනී රූපසිංහ, නයන්තී චන්ද්‍රෙස්න, එස්. ඩබ්ලිව් නිමල්සිරි, කොමදෝරු චන්දන බෝපගේ, එස්. ජෙගනීදරන්, අනිල් වීරසිංහ, සුගත් තිලකරත්න, වී. ආර්. ජයලාල් හා සුනිමල් රූපසිංහ යන මහත්වරු ඉදිරිපත් වෙති. 

නව අදහස දක්වන්න