මුම්බායි ඉන්දියන්ස් යළි පෙරමුණට | දිනමිණ

මුම්බායි ඉන්දියන්ස් යළි පෙරමුණට

 නටීෂ් රානා සහ නායක රෝහිත් ෂර්මාගේ පිතිහරඹය මත ගුජරාට් ලයන්ස් පිලට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්විය.

මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේ පෙරේදා රාත්‍රී පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පිල පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගුජරාට් පිලට ලබා දුන් අතර නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 176කි. පිළිතුරු ඉනිම ක්‍ර‍ීඩා කළ මුම්බායි ඉනිම නිමාවීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජය වාර්තා කළේ කඩුලු 6ක් අතැතිවය.

මුම්බායි පිලේ මැද‍ පෙළ ශක්තිමත් කළ නටීෂ් රානා පන්දු 36කදී ලකුණු 53ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර2ක් සමගිනි. ඔහුට අගනා සහයක් දුන් නායක ෂර්මා පන්දු 29කදී නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 40කි. ඊට හතරේ පහර 3ක් සහ හයේ පහරක් එක්විය.

ගුජරාට් ලයන්ස් - 176/4 (ඕවර 20) බ්‍රෙන්ඩන් මැකලම් 64, දිනේෂ් කාර්තික් න‍ොදැවී 48 (මිචෙල් මැක්ලෙනගන් 24/2)

මුම්බායි ඉන්දියන්ස් - 177/4 (ඕවර 19.3) නටීෂ් රානා 53, රෝහිත් ෂර්මා නොදැවී 40, කීරොන් පොලාඩ් 39 (ඇන්ඩෘ ටයි 34/2)

පූනේ සුපර් ජයන්ට් ලකුණු 27කින් ජය ගනී

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් පිලට එරෙහිව බැංග්ලෝර් හී පැවැති තරගයෙන් ලකුණු 27ක ජයක් වාර්තා කිරීමට පූනේ සුපර් ජයන්ට් පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිලේ ඇරියු‍මෙන් පළමුව පන්දුවට පහරදුන් සුපර් ජයන්ට් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු 161 හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134ක් පමණි.

සුපර් ජයන්ට් - 161/8 (ඕවර 20) රාහුල් ත්‍රීපතී 31, අජින්ක්‍යා රහානේ 30 (ඇඩම් මිල්නේ 27/2, ශ්‍රීනාත් අර්වින්ද් 29/2)

රෝයල් චැලෙන්ජර්ස් - 134/9 (ඕවර 20) ඒ.බී.ඩිවිලියර්ස් 29, විරාත් කෝලි 28 (බෙන් ස්ටෝක්ස් 18/3, ෂර්දුල් ටාකූර් 35/3)

නව අදහස දක්වන්න