කොන්ද ඇද වූ පරපුරක් බිහිවීම | දිනමිණ

කොන්ද ඇද වූ පරපුරක් බිහිවීම

 කිලෝ හත අටක පොත් මල්ලක් පිටේ එල්ලා ගත් පාසල් දරුවා සුලබ දසුනකි. මේ දරුවන් අනාගතයේ කොන්ද ඇදවූවන් බවට පත්විය හැකි යැයි මෑතක දී වෛද්‍යවරයෙක් පැවසී ය. පාසල් නිවාඩු කාලයේ දී දෙමාපියන්, ගුරුවරුන් හා අධ්‍යාපන බලධාරීන් නැවත සිහිපත් කළ යුතු කරුණකි‍ මේ.

කොන්ද ඇදවීම තල දෙකකින් තේරුම් ගත යුතු ය. ඉන් පළමුවැන්න අධික බර නිසා කොඳු ඇට පෙළ විකෘති වීම ය. දෙවැන්න මල්ලේ ඇති පොත්වල අන්තර්ගතය පිළුණු එකක් වීම නිසා හදවත හා ප්‍රඥාව විකසිත නොවූ පරපුරක් බිහිවීම ය. වෛද්‍යවරුන්ගේ අවධානයට යොමු ව ඇත්තේ මතුපිට ඇදවීම හෙවත් අස්ථි පෙළ ය. සයිටම් ආයතනයට එරෙහි ව ඔවුන් අරඹා ඇති විරෝධයෙන් පෙනී යනුයේ දෙවැනි තලයේ ඇදවීම ඔවුන් හට ද බලපා ඇති බව ය. එනම් හදවත සුන්දර නොවීම හා ප්‍රඥා හීන බවයි.

යහපත් ආණ්ඩුකරණයක් පිළිබඳ කතිකාවත ජනවාරි 8 දේශපාලන පෙරළියට ආසන්න වූ කාලපරිච්ඡේදය ඉක්මවා දශක කිහිපයක් අතීතයට යයි. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර වූ රාජ්‍ය සේවය, අධිකරණය, පොලිසිය සහ මැතිවරණ ක්‍රමය යනාදී ‍ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ එහිදී අවධානය යොමු විය. මේ හා සමාන අවධානයක් යොමු වූයේ අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය යනාදී ක්ෂේත්‍රවල ප්‍රගතියට හේතු වන ජාතික ප්‍රතිපත්තියක වැදගත්කම යි. අධ්‍යාපනය යනු මෙයින් වැදගත් ම ක්ෂේත්‍රයයි. ජනවාරි 8 විප්ලවයට දායක වූ සිවිල් බලවේග මෙන් ම දේශපාලන බලය හිමිකරගත් පාර්ශ්ව ද මේ පිළිබඳ කරන කැපවීම ප්‍රමාණවත් නොවන බව අපගේ හැඟීම ය. සත්‍ය වශයෙන් ම එය ‍ඔවුන්ගේ මාතෘකාවක් වී නොමැත. වෛද්‍යවරුන් අනතුරු අඟවන බර පොත් මල්ලම ඊට සාක්ෂියකි.

මේ පොත් මල්ලෙහි ඇතුළත් පෙළ පොත් ඉඳහිට කියවා බැලීමේ අවස්ථාව අප හට ද ලැබේ. ඇතැම් පෙළ පොත් අච්චු ගැසීම සඳහා කරන ලද වියදම ගඟේ මූදේ දැම්මා වැන්න. උදාහරණයක් ලෙස හයවැනි පන්තියේ බුද්ධාගම පෙළපොත ගනිමු. (ආගම ඉගැන්වීමම වරදක්ය යන නිගමනය පසෙකින් මඳකට තබමි.) සුපුරුදු පරිදි ම සිදුහත් කුමරු උපන් හැටියේ නෙළුම් මල් හතක් මත ඇවිද පණ්ඩිත වැකි කිහිපයක් කියයි.

“උපන් හැටියේ ඇවිදින්න පුළුවන්ද අම්මේ?” දරුවා අසයි.

“කට වහගනිං” අම්මා කියයි. ඒ කට වසා ගැනීම මුළු සිසු දිවියෙහි ම පුරුද්දක් බවට පත්වෙයි. හයේ පන්තියේ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයෙහි“බුද්ධ කෝලාහලය” කුමක්දැයි අසා තිබිණ.

බුදුන් ඉපදීමට වසර දහසකට පෙර දෙවියන් බඹුන් කරන ඝෝෂාව යැයි පාඩම් පොතේ ඇත. මේ මොන විකාරයක් ද? මේවා කියවීමෙන් දරුවන් ශික්ෂිත කළ හැකි ද? මේවා කටපාඩම් කිරීමෙන් දරුවන්ට ලැබෙන දැනුම කුමක් ද? මේ පොත් සම්පාදනය කර ඇත්තේ ගිහි පැවිදි ප්‍රසිද්ධ උගතුන් විසිනි. බුද්ධ චරිතයෙන් උගත හැකි මනුෂ්‍යත්වය පිළිබඳ කරුණු කිසිවක් මේවායෙහි අන්තර්ගත නොවේ. ඊනියා ජාතික අධ්‍යාපන ආයතනය මීට වගකිව යුතුය. පෙළපොත්වලින් මේ පිළිබඳ නිදර්ශන ඕනෑ තරම් පෙන්විය හැකි ය. ජාතික අධ්‍යාපන ආයතනය සුදු අලියකු යැයි කීමෙහි කිසිදු වරදක් මට නම් නොපෙනේ. අවිද්‍යාවෙන් අත්මිදීම ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපනයේ පංච මහා දර්ශනයෙහි ඇතුළත් විය. දේශපාලන හා සමාජ බලපෑම් මත නිදහස් අධ්‍යාපනය මුළුමනින් ම ක්‍රියාත්මක වීම ඇනහිටිය ද එයින් වූ යහබලපෑම අදට ද වැදගත් ය. විදුහුරු ශික්ෂිත මනසක් සහිත මිනිසකු බිහිවීම එහි අපේක්ෂාව යි.

පාඩම් ‍පොත්වල බර කිලෝග්‍රෑම් ගණනින් වැඩිවන තරමට අධ්‍යාපනයෙහි අරමුණු ඉටුවන්නේ නැත. නූතන සංස්කෘතික මිනිසා ගොඩනැඟීමේදී යල් පැන ගිය පෙළපොත්වලින් කළ හැකි දෙයක් නොමැත. පාසල්වල අධ්‍යාපනය විධිමත් කිරීමේ එක් පියවරක් වනුයේ සිසුන්ට පීඩාවක් නොවන, නූතන දැනුම ඇතුළත් වන පෙළපොත් හඳුන්වා දීම ය. ඒ සඳහා දියුණු අධ්‍යාපනයක් ඇති රටවල පෙළපොත් (තිබේ නම්) අධ්‍යයනය කළ යුතු ය. පාසල්වල අධ්‍යාපනය ගුණාත්මක ව ඉහළ නැංවීමෙන් ටියුෂන් ආධිපත්‍යය බිඳිය හැකි ය. ඒ සඳහා හොඳ ගුරුවරයකු නිර්මාණය කර ගත යුතු වේ. මේ සියල්ල කළ හැක්කේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙනි.

තිඹිරියාගම බණ්ඩාර
[email protected]

නව අදහස දක්වන්න