නාටක අතරින් රම්‍ය වූ ශාකුන්තලය | දිනමිණ

නාටක අතරින් රම්‍ය වූ ශාකුන්තලය

 සම්මානනීය විද්වතකු වන මහාචාර්ය ආරිය රාජකරුණා ගේ අලුත්ම ලිපි එකතුව “භාරතීය මහා කවි කාලිදාසගේ සකුන්තලා නාට්‍ය පිළිබඳ නව අර්ථකථනයක් සහ වෙනත් ශාස්ත්‍රීය නිබන්ධනයි.” එය පසුගියදා එළිදුටුවා. එයින් ලිපි පහක්ම සංස්කෘත නාට්‍ය කලාවට අදාළයි. ඒ නිසා සෙසු ලිපි සියල්ල මඟහැර ඉහත විෂය ක්ෂේත්‍රය කේන්ද්‍රිතව ලියා කියා ඇති දේ විමසා බැලීම උචිත යැයි මා සිතනවා.”

අපේ රටේ සංස්කෘත නාට්‍ය නුර්ති යුගයේ සිටම වේදිකාගතව තිබෙනවා. ජෝන් ද සිල්වාගේ ‘රත්නාවලී’ ඊට නිදසුනක්.

ගම්බද නාට්‍ය වර්ග අතර අංග සම්පූර්ණ වූ රංග ශෛලියක් ඇත්තේ නාඩගම්වල පමණකැයි කියා හඳුනාගන්ට ප්‍රථම එනම්; 1953 දී පමණ වේදිකාගත ‘වෙද හටන’ නාට්‍යය අළලා ලියූ ලිපියක විශ්ව කීර්තියට ලක්වුණ දෘෂ්‍ය කාව්‍ය ගණනාවක් ඇති සංස්කෘත සාහිත්‍යය දෙසට අපගේ නෙත් සිත් යොමුකළ යුතු අවදිය පැමිණ ඇතැයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කියා තිබෙනවා.

එසේම තවදුරටත් ගත් කල්හි අපේ සභ්‍යත්වයට වඩාත් ළංවන භාරතීය සභ්‍යත්වයෙන් පැනනැඟුණු සංස්කෘත දෘෂ්‍ය කාව්‍යයෙන් ආභාසය ලැබීමෙන් අපට දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැඟිය හැකි යැයි ද හෙතෙම කියා තිබෙනවා.

නාඩගම් රංග රීතිය ඇසුරෙන් ‘මනමෙ’ නාටකය නිපදවූවායින් පසුවත් සංස්කෘත නාට්‍ය කෙරෙහි ඇති ලෝලත්වය මහාචාර්ය සරච්චන්ද්‍ර නැතිකර ගත්තේ නැහැ. ‘හස්තිකාන්ත මන්තරේ’ (1959) ඊට මනා නිදසුනක්. එය අසුවල් සංස්කෘත නාට්‍යයේ පරිවර්තනයක් යැයි සෘජුවම කිව නොහැකි වුණත් භාස නමැති සංස්කෘත නාට්‍යකරුවාගේ ‘ස්වප්න වාසවදත්තා’, ‘ප්‍රතිඥා යොගන්ධරයායන’ යන නාට්‍ය දෙකට ද ශ්‍රී හර්ෂදේවගේ ‘රත්නාවලී’ හා ‘ප්‍රියදර්ශිකා’ යන නාට්‍ය දෙකට ද වස්තු වූයේ හස්තිකාන්ත මන්තරේ නාට්‍යයේ එන කතා පුවතම බව පෙනෙනවා. මෙම නාට්‍යයට ඇතුළත් වන්නේ වාසුලදත්තා යනුවෙන් බෞද්ධ පොතපතෙහි සඳහන් වන උජ්ජයිනි (උදේනි නුවර) චණ්ඩප්පජෝත (ප්‍රද්‍යෙත මහසෙන) රජුගේ දියණිය උදයන රජුගේ බිරිඳ වූ සැටියි.

විශ්ව නාට්‍ය පුස්තක මාලා යන පොත් පෙළ යටතේ මහාචාර්යවරයා ‘සංස්කෘත’ නාට්‍ය කීපයක් ද සංස්කරණය කර තිබෙනවා. භාසගේ ස්වප්නව ‘වාසවදත්තා’ (පියදාස නිශ්ශංක) ශ්‍රී හර්ෂ දේවගේ ‘රත්නාවලී’ (පියදාස නිශ්ශංක) ශූද්‍රකගේ ‘මැටි කරත්තය’ (පියදාස නිශ්ශංක) ‘සකුන්තලා’ (මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි හා පියදාස නිශ්ශංක) යන නාට්‍ය ඒ අතර වෙනවා.

පියදාස නිශ්ශංකගේ ‘රත්නාවලී’ ඇසුරෙන් ‘රත්නාවලි’ නාට්‍යය පේරාදෙණි සිසුන් ලවා නිෂ්පාදනය කරවන්ට උත්සුක වුණේ මහාචාර්ය සරච්චන්ද්‍ර එපමණක් ද නිශ්ශංකගේ ‘රත්නාවලී’ පරිවර්තනයෙන් සංක්ෂිප්ත පිටපතක් ඔහු සකසා දීමෙන් මෙයට නොමඳ අනුග්‍රහ දක්වා තිබෙනවා.

මහාචාර්ය රාජකරුණා තම ප්‍රමුඛ ලිපිවලින් කාලිදාසගේ ‘සකුන්තලා’ නාට්‍යය පිළිබඳ නව අර්ථකථනයක් දීමට උත්සුකව වී ඇතැයි කියන්න පුළුවන්.

කාලිදාස තව නාට්‍ය කීපයක් ලියා තිබුණත් (මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝර්වශී) ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය වන්නේ ‘සකුන්තලා.’ කාව්‍යයන් අතරින් නාටකය රම්‍ය වන බවත්, ඒ නාටක අතරෙනිදු ‘ශාකුන්තලය’ වඩාත් රම්‍ය වන බව විචාරකයන් පවසා තිබෙනවා. ‘සකුන්තලා’ නාටකය වනාහි මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුතු කෘතියක් බව ඊට අර්ථකථනයක් ඉදිරිපත් කරමින් කියන මහාචාර්ය රාජකරුණා ‍එහි එන ස්වභාවික සෞන්දර්ය ඇගැයීම ද මැනවින් දක්වනවා. පහත වන්නේ ඔහුගේ ප්‍රකාශයක්.

‘කාලිදාසගේ ‘සකුන්තලා’ නාටකය හුදෙක් ස්ත්‍රිය ඇගැයීමට ලක්කිරීම සඳහා පමණක් රචනා වූවක් නොවේ. එය වෙනත් අරමුණුවලින් ද යුක්තය. එහි තවත් අරමුණක් නම් මිනිසාගේ අවට පරිසරය හා ස්වභාවික සෞන්දර්ය ඇගැයීමයි.’

‘සකුන්තලා’ ඇසුරෙන් විවිධ නිර්මාණ බිහිව තිබෙනවා. ඉන්දියාවේ චිත්‍රපට ද තනා තිබෙනවා. වී. ශාන්තාරාම්ගේ ‘ස්ත්‍රී’නමැති සිනමා පටය ඊට හොඳ උදාහරණයක්.

මහාචාර්ය රාජකරුණා තම පොතේ මහාචාර්ය ජයදේව තිලකසිරි වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන්කර ති‍බීම වටිනවා. ‘සංස්කෘත’ නාට්‍ය කලාව හඳුන්වා දීමෙන් ඔහු කර ඇති සේවය අනර්ඝයි. මහාචාර්ය තිලකසිරි තම ආචාර්ය උපාධි නිබන්ධයට ලිව්වේත් “කාලිදාසගේ කවීත්වය හා කාව්‍ය සංකල්පය” යන මාතෘකාවෙන්. සංස්කෘත නාට්‍ය වංශයේ තුන්වැනි කාණ්ඩය වශයෙන් ඔහු ලියා පළකළ “සංස්කෘත නාට්‍ය සාහිත්‍යය” සංස්කෘත නාට්‍ය අළලා කෙරුණු සාරගර්භ විමර්ශනයක් ලෙස හඳුන්වන්ට පුළුවන්.

කාලිදාසයන්ගේ ‘සකුන්තලා’ නාට්‍යය අලුත් දෘෂ්ටියකින් රසවිඳින්ට, එය වඩාත් විචාරපූර්වකව අධ්‍යයන කරන්ට මහාචාර්ය රාජකරුණාගේ පොත හොඳ අවස්ථාවක්.

සුනිල් මිහිඳුකුල
[email protected]

නව අදහස දක්වන්න