කප්පම්කාරයෝ! | දිනමිණ

කප්පම්කාරයෝ!

කප්පම, අල්ලස, දූෂණය රටේ සෑම ක්ෂේත්‍රයක් පුරාම ඔඩු දුවා ඇති බව පෙනෙන්නට තිබේ. අවුරුදු සමයේ බස් රථ පිළිබඳ සොයා බැලීම සඳහා මාතර අධිවේගයේ රථගාලට ගිය ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට මන්නයකින් කෙටීමට කප්පම්කාරයෙක් උත්සාහ ගත්තේ ය. ඊට ආසන්න හේතුව වී ඇත්තේ කප්පම්කාරයන් සියලු දෙනාට රථගාලෙන් ඉවත් වන ලෙස සභාපතිවරයා දැන්වීම ය. වත්මන් ආණ්ඩුව දූෂණයට හා වංචාවට එරෙහිව තද - බල ක්‍රියාමාර්ග ගනිමින් සිටිය ද කප්පම්කාරයන් තව ම බලවත් බව මේ සිද්ධියෙන් පෙනී යයි. ගමනාගමන කොමිසමේ සභාපතිවරයා ජීවිතය බේරාගෙන ඇත්තේ අනූනවයෙන් යැයි කියන්නට පුළුවන.

වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ ඇමැති ජෝන් අමරතුංග මහතාට අසන්නට ලැබී ඇත්තේ ද එබඳු ම ප්‍රවෘත්තියකි. එම ව්‍යාපාරික ප්‍රජාව ඇමැතිවරයා සමඟ කියා ඇත්තේ කිසිම ව්‍යාපාරයක් කප්පම් දීමකින් තොරව කරගෙන යා නොහැකි බව ය. ව්‍යාපාරිකයන් පැහැදිලි කරන අන්දමට කප්පම්කාරයෝ දෙපිරිසක් සිටිති. එක කොටසක් වන්නේ රාජ්‍ය සේ‍වයේ නියුතු බිම් මට්ටමේ නිලධාරීන් ය. අනෙක් කොටස වන්නේ වෘත්තීය කප්පම්කරුවන් ය. නිලධාරී මට්ටමේ කප්පම්කරුවන් රජයේ ගාස්තු ලෙස දක්වමින් කප්පම් ගන්නා අතර වෘත්තීය මට්ටමේ කප්පම්කරුවන් ව්‍යාපාරිකයන් බිය වද්දා කප්පම් ලබා ගන්නා බව සාකච්ඡාවේදී හෙළිදරව් වී ඇත.

විමර්ශන ඇසෙන් යුතුව රටේ සියලු ක්ෂේත්‍ර දෙස බැලුවහොත් සෑම තැනක ම කප්පම් ගැනීම හා අල්ලස් ගැනීම සිදුවන බව පෙනී යයි. දේශපාලකයන් අල්ලස් හා කොමිස් ගන්නේ එක විදිහකට ය. උසස් නිලධාරීන් කප්පම් හා කොමිස් ගන්නේ තවත් විදිහකට ය. වෘත්තීය කප්පම්කරුවන් රටේ මැරයන් හා චණ්ඩි වටා රොක් වී ඇති අතර ඔව්හු ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් බිය වද්දා කප්පම් ලබා ගනිති. මීට වසර කිහිපයකට පෙර ඉතා සාර්ථක විදේශීය ආයෝජකයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ටින් මාළු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලැසුම් කළේ ය. එහෙත් දේශපාලකයෙක් මැදිහත් වී ආයෝජකයාගෙන් කොමිස් ඉල්ලා සිටියේ ය. විදේශීය ආයෝජකයා සිය ව්‍යාපෘතිය නවතා මව් රටට ගියේ ය.

විදේශීය ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටවලට ගිය බව පසුගිය කාලය තුළ වාර්තා වී තිබිණි. ඊට ප්‍රධාන හේතුව බලධරයන් එම ආයෝජකයන්ගෙන් විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටීම බව පසුව හෙළිදරව් වී ඇත. ආයෝජකයන් රජයේ ගාස්තු ගෙවීමට අකැමැති නැත. ව්‍යාපාරය වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට ද අකැමැති නැත. එහෙත් එකිනෙක පුද්ගලයන්ට කොමිස් ලබා දීමට ඔවුන් කැමැති වන්නේ නැත. එය සාධාරණ ය.

පෞද්ගලික බස් ව්‍යාපාරය ගතහොත් එය දුවන්නේම කප්පම් මත ය. බස් ව්‍යාපාරිකයන් වෙන ම කප්පම් ගෙවිය යුතුය. රියදුරන් හා කොන්දොස්තරවරුන් වෙන ම කප්පම් ගෙවිය යුතුය. ආයතනවල නිලධාරීන් වෙන ම කප්පම් ගන්නා අතර මැරයෝ වෙන ම කප්පම් ගනිති. එකිනෙක බස් මාර්ගවල කප්පම් පොළවල් තිබේ. බස්පොළවල්වලද වෙන ම කප්පම් ගන්නා ස්ථාන තිබේ. ඇතැම් මාර්ගවල හන්දියක් ගණනේ කප්පම් ගන්නා ක්‍රමයක් ද තිබේ. එක්තරා අවස්ථාවක බස්රථ හිමියන් කියා සිටියේ කප්පම් ගැනීම නිසා පෞද්ගලික බස්රථ ධාවනය නැවැත්වීමට කාලයක් එන බව ය. රටේ තත්ත්වය ගැන බලන විට එය අසත්‍යයක් නොවන බව පෙනී යයි.

අප කළ සොයා බැලීමක දී පෙනී ගියේ බස් රථවලින්,ව්‍යාපාරිකයන්ගෙන් පමණක් නොව ටියුෂන් ගුරුවරුන්ගෙන් ද කප්පම් ගන්නා ක්‍රමයක් දැන් පවතින බව ය. සෑම ප්‍රසිද්ධ නගරයකම පාහේ ව්‍යාපාරික ලෙස උපකාරක පන්ති පැවැත් වේ. මේ සෑම පන්තියකම උගන්වන ගුරුවරුන් කප්පම් ගෙවිය යුතු බව දැනගන්නට ලැබී ඇත. එසේ නොගෙවන අයට පන්ති පවත්වාගෙන යෑමට නොහැකි වෙයි. මැරයෝ පැමිණ පන්ති කඩාකප්පල් කරති. මීට ඇති බිය නිසා බොහෝ අය රහසිගත ලෙස කප්පම් මුදල් ගෙවා දමති. මේ තත්ත්වය පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. ඇතැම්විට පොලීසිය පවා මේ තත්ත්වය දනිති. එහෙත් කිසිවකු කප්පමට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නට නැත.

නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යා නොහැකි නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේ යැයි කියන්නට බැරි ය. නිදහස ගැනත්; ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් බොහෝ පුරසාරම් කියවෙන’මුත් කප්පම්කාරයන් ගැන සොයා බලන හා ඔවුන් නීතියේ රැහැනට හසුකර ගන්නා විධිමත් ක්‍රියාවලියක් අපට නැත. පාසල තුළ අල්ලස් ගැනීම පවතී. රෝහල තුළ කප්පම් ගැනීම පවතී. කාර්යාල තුළ අල්ලසකින් තොරව කිසිදු රාජකාරියක් කරගත නොහැකිය. ඇතැම් රාජකාරි ස්ථානවල සිගරැට්ටුව,බුලත්විට, ප්ලේන්ටිය පවා අල්ලසක් ලෙස භාරගනී. මේ ක්‍රමය වෙනස් වන බවක් පෙනෙන්නට නැත.

ඇතැම් පුද්ගලයකුගේ අපේක්ෂාව මුදලින් අල්ලස් හා කප්පම් ගැනීම ය. තව පුද්ගලයකුගේ අපේක්ෂාව ලිංගික අල්ලස් ලබා ගැනීම ය. විදුහල්පතිවරුන් රැසක් ලිංගික අල්ලස් ගැනීමට ගොස් අමාරුවේ වැටුණු අවස්ථා ගැන ප්‍රවෘත්ති පළ වී තිබිණි. ආයතනවල උසස් නිලධාරීන් රැකියා ලබා දෙන බවට පොරොන්දු දී අල්ලස් ලබා ගන්නා බව ද, තරුණියන් අමාරුවේ හෙළන බවද ප්‍රකට කාරණයෙකි. මෙබඳු සිදුවීම් හෙළිදරව් වූ පසු ඒවාට විශාල ප්‍රචාරයක් ලබා දෙන’මුත් නිසි දඬුවම් ලැබෙන බවක්පෙනෙන්නට නැත. මැලේසියාව හා සිංගප්පූරුව අල්ලස් හා කප්පම් ගැනීම මුළුමනින්ම වළක්වා ඇති රාජ්‍යයන් දෙකකි. එම ආදර්ශ අප ද ලබාගත යුතුය.

එක අතෙකින් නීතිය හරියට ම ක්‍රියාත්මක විය යුතුය. තව අතෙකින් දූෂණ සොයා කරන විමර්ශන සක්‍රීය කළ යුතුය. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ දේශපාලකයන්ට මෙය වළක්වා ගැනීමේ වුවමනාවක් තිබීම ය. ඇමැති ජෝන් අමරතුංග මහතා කියා ඇත්තේ වත්තල කිසිවකුට කප්පම් ගැනීමට ඉඩ නොදෙන බව ය. අනෙකුත් දේශපාලකයන්ද මේ අයුරින් තම ප්‍රදේශ ගැන සොයා බලන්නේ නම් වැදගත් ය.

නව අදහස දක්වන්න