අතුරුදන් කොස්තාපල්ගේ සිරුරේ කොටස් කැලෑවක | දිනමිණ

අතුරුදන් කොස්තාපල්ගේ සිරුරේ කොටස් කැලෑවක

අනුරාධපුර මධ්‍යම විශේෂ

රාජකාරිය සඳහා නිකුත් කරනු ලබන ස්වයංක්‍රීය පිස්තෝලය සමඟ දින දහතුනකට ඉහතදී අතුරුදන්වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මෙහෙයුම් අංශයේ සේවය කළ කොස්තාපල්වරයාගේ සිරුරේ කොටස් සාලියවැව පොලිස්වසමේ නීලබැම්ම ප්‍රදේශයේ ඝන කැලෑවක තිබියදී රාජංගණය පොලිසියේ ස්ථානධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා සොයාගෙන තිබුණි.

මියගොස් සිටියදී සොයාගත් පුද්ගලයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනියුක්තව සේවය කළ (42282)ඔරුප් ගමයලාගේ ලලිත් කුමාර නැමති පොලිස් කොස්තාපල්වරයා බව රාජංගණය පොලිසිය තහවුරු කරගෙන තිබුණි.ඔහු කරදනයාගම, වීරපොකුණ, බිංගිරිය ලිපිනයේ ස්ථිර පදිංචිකරුවෙක් වූ කිඩවරක්කුළම මැදවච්චිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 48 හැවරදි අවිවාහක අයෙක්බව පොලිසිය පැවසුවේය.

පිස්තෝලයෙන් හිසට වෙඩිතබා ගැනීමෙන් අනතුරුව දිවිනසා ගෙන ඇති බවට සැකකරන අතුරුදන්වූ කොස්තාපල්වරයාගේ සිරුර කබරයන් කාදමා තිබූ බවත් හිසින් වෙන්වූ අස්ථි කොටස් සියල්ල ඝන කැලෑවේ ගල්තලාවක්මත තිබී හමුවූබව රාජාංගණය පොලිසිය පැවසුවේය. ඔහු මියගිය ස්ථානයේ තිබී රාජකාරිය සදහා නිකුත්කළ පතුරම් සහිත ස්වයංක්‍රීය පිස්තෝලය ඔහුගේ රාජකාරි හැදුනුම්පත සහිත මුදල් පසුම්බිය,හිස් මත්පැන් බෝතලයක්,සෝඩා බෝතලයක්,සෙරප්පු දෙකක් පොලිසිය සොයාගෙන තිබූ අතර පිස්තෝලයේ පතුරම් නැවතත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවී (ලෝඩ්වී) තිබූබවද පොලිසිය පැවසුවේය.

පසුගියදා 17 සවස කලාවැවෙහි වැලි ගොඩ දමන පුද්ගලයෙක් දරුවන් දෙදෙනා සමඟ වැලිගොඩ දැමීමට නීලබැම්ම ප්‍රදේශයට ගොස් ඇති අතර දරුවන් දෙදෙනා ශරීර අවශ්‍යතාවක් සදහා ඝන කැලෑව දෙසට ගිය අවස්ථාවේ පිස්තෝලයක් වැටී තිබෙන අයුරුදැක ඒ පිළිබදව පියාට දන්වා ඇතැයි පොලිසිය පැවසුවේය.

වැලිගොඩ දැමීම සඳහා පැමිණි පුද්ගලයා ප්‍රදේශය පිළිබඳව විමසිලිමත්ව බලද්දී පිස්තෝලය වැටී තිබු ස්ථානයට මදක් ඈතින් මියගිය පුද්ගලයෙක්ගේ අස්ථි කොටස් තිබෙන අයුරුදැක ඒ පිළිබදව රාජාංගණය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් දන්වා තිබේ.

එහිගිය පොලිස් නිලධාරින් කැලෑවේ වැටිතිබූ මියගිය කොස්තාපල්වරයාගේ මුදල් පසුම්බිය පරික්ෂාවට ලක්කළ අවස්ථාවේ එය දින 13 කට ඉහතදී අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයාගේ බව තහවුරු කරගෙන තිබුණි.

මියගිය පොලිස් කොස්තාපල්වරයා මත්පැන් පානයට පුරුදුවී සිටි අයෙක් බවත් ඔහුට මැදවච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සබධතාවක් පවත්වා තිබූ බවත් අතුරුදන් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ අනුරාධපුර මූලස්ථාන පොලිසිය තහවුරු කරගෙන තිබුණි.ඔහු පසුගිය අප්‍රේල් මස (04) වනදා උසාවි රාජකාරියකට යාම සඳහා පිස්තෝලයක් අවශ්‍ය බව පවසා ස්වයංක්‍රීය පිස්තෝලය හා ජීව උණ්ඩ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවෙන් ලබාගෙන අතුරුදන්වී තිබුණි.

මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ මහෙස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය පසුගිය (18) උදෑසන පැවැත් විණි. මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පැවත්වීම සාලියවැව පොලිසිය සිදුකරන බව රාජාංගණය පොලිසිය පැවසුවේය.

නව අදහස දක්වන්න