වීදියබණ්ඩාර ගම්මානයට නව නිවාස ව්‍යාපෘතියක් | දිනමිණ

වීදියබණ්ඩාර ගම්මානයට නව නිවාස ව්‍යාපෘතියක්

කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර හේතුවෙන් නායයාම්, පස් කඳු කඩාවැටීමෙන් විපත් සිදුවන ප්‍රදේශයක් ලෙස පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනාගෙන ඇත. එවැනි ආපදාවන්වලට මුහුණ දුන් එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් පාලින්දනුවර පැළෑඳ වීදියබණ්ඩාර ගම්මානය නමින් ඇරැඹිණි.

මේ ආපදාවන්ට ලක්වූවන්ගේ දුක්ගැනවිලි පිළිබඳව අගලවත්ත ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පී. ඩී. අබේරත්න මහතා නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙත කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ නිවාස යෝජනා ක්‍රමය ඇරැඹිණි.

මේ නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය භූමි භාගයක් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කොට ලබාගැනීමට අබේරත්න මහතා කටයුතු කළේය.

ප්‍රදේශයේ විපතට පත්වූවන් අතුරින් ඉතාමත් සුදුසුම පුද්ගලයන් තෝරාගත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් කච්චේරියක් පවත්වමිනි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තෝරාගත් ඉඩම්ලාභීන් විසිපස්දෙනාටම නිවාස තනාගැනීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් ණය පහසුකම් ලබා දුන්නේය. එම නිලධාරීන් නිතරම වැඩබිමට පැමිණ කරන ලද අධීක්ෂණ කටයුතු නිසා නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් ඉතාමත් සාර්ථක ලෙසින් අවසන් කිරීමට හැකි විය.

මේ නිවාස ඉදිකිරීමේදී නිවාසලාභීන්ගේ ද දැඩි උනන්දුව තිබුණු හෙයින් වැලි, ගල්, දැව පහසුවෙන් සොයාගෙන ශ්‍රම දායකත්වය දැක්වීම නිසා ලක්ෂ දහයක පමණ වටිනාකමකින් යුත් නිවාස ඉදිවී ඇත. ස්වභාවික ආපදා හේතුවෙන් නිවාස අහිමිවූවන්ට තම ජීවන මඟ ගෙවන්නට නිවෙසක් ලැබීම පිළිබඳව ඔවුහු බලවත් සතුටට පත්ව සිටිති.

පැළෑඳ ගම්මානයේ දුෂ්කර කඳුවැටියක මේ ගම්මානය ආරම්භ කර තිබේ.

මතුගම සංචාරක 

නව අදහස දක්වන්න