ශ්‍රීසාන්ත්ගේ තරග තහනම දිගටම | දිනමිණ

ශ්‍රීසාන්ත්ගේ තරග තහනම දිගටම

 ඉන්දීය අපරාධ අධිකරණය විසින් මුදලට තරග පාවාදීමේ චෝදනාවෙන් එරට වේගපන්දු යවන ක්‍රීඩක එස්.ශ්‍රීසාන්ත් නිදහස් කරනු ලැබුව ද ජීවිතාන්තය දක්වා පැනවූ තරග තහනම ඉවත් කිරීමට එය ප්‍රමාණවත් නොවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

පසුගිය 2015 වසරේ ජූලි මස 25 වැනිදා නවදිල්ලි උසාවිය මගින් ශ්‍රීසාන්ත් සියලු චෝදනාවලින් නිදහස් කිරීමෙන් පසුවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට එරෙහිව ඔහු විසින් කේරල ප්‍රාන්ත උසාවියක ගොනු කළ අභියාචනාව විභාග කළ අවස්ථාවේදී එරට ක්‍රිකට් පාලක මණ්ඩලය උසාවියට කරුණු ගොනු කරමින් මේ බව කියා සිටියේය.

ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමෙන් තම අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ශ්‍රීසාන්ත් ගොනු කළ අභියාචනාව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශයෙන් එසේ ඉවතට විසිවූ අතර එංගලන්තයේ ක්‍රිකට් සමාජයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා සිටි ඔහුට ඒ අනුව එම අවස්ථාව මඟ හැරි ගියේය.

34 හැවිරිදි ශ්‍රීසාන්ත් ඉන්දීය ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ දෙවැනි කේරල ජාතිකයා වන අතර ටෙස්ට් තරග 27කට ක්‍රීඩා කරමින් කඩුලු 87ක් දවාලීමට ඔහු සමත් විය. එක්දින තරග 53ක සහභාගි වූ හෙතෙම එහිදී බිඳ දැමු කඩුලු සංඛ්‍යාව 75කි. විස්සයි20 තරග 10කට සහාභාගිවී කඩුලු 7ක් දවාලීමට ද ඔහු සමත් විය.

ඔහු මුදලට තරග පාවාදීමේ චෝදනාවට හසුවූයේ 2013 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදීය. 

නව අදහස දක්වන්න