මීතොටමුල්ලේ විපත්වලට වන්දි | දිනමිණ

මීතොටමුල්ලේ විපත්වලට වන්දි

 මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇතිවූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැඟින් ද දේපල හානියකට උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වා ද වන්දි ගෙවීමට වහා කටයුතු කෙරේ.

මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ආපදාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුව අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍යාංශය විසින් දැනටමත් කටයුතු කර ඇත.

මෙම රජය බලයට පත්වීමෙන් පසුව 2016 වසරේදී ස්වාභාවික විපත් හේතුවෙන් ආපදාවට ලක්වන ජීවිත හා දේපල හානිවලට වන්දි ලබාදීමේ ප්‍රගාමී (PROACTIVE) පියවරක් ලෙස ජාතික රක්ෂණ භාර අරමුදල හරහා මුළු රටම ආවරණය වන පරිදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. මේ හේතුවෙන් විපතට පත්වූවන්ට පහසුවෙන් වන්දි ලබාදීමට රජයට හැකිව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

මී‍තොටමුල්ල විපතෙන් පසුව අවතැන්ව සිටින ජනතාවට පිසූ ආහාර ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදී ඇති අතර අවදානම් තත්ත්වයේ පවත්නා නිවාස නැවත සාදාදීමට හෝ විකල්ප ස්ථානවල පදිංචි කරවීමට ද රජය විසින් කටයුතු කරනු ඇත.

මුළුමනින්ම විනාශ වූ නිවාස වෙනුවෙන් එම නිවාස ලාභීන්ගේ කැමැත්ත අනුව කොළඹ නගරයේ ක්‍රියාත්මක මහල් නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීමට කටයුතු කළ හැකියැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී පවසන ලදී. 


නව අදහස දක්වන්න

Or log in with...