මොකද කරන්නේ | දිනමිණ

මොකද කරන්නේ

අනුර ප්‍රේමලාල්
මහින්ද අලුත්ගෙදර

කුණු කසළ මාෆියාව මෙල්ල කරන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට බැරිවුණත් ජවිපෙ තිස්සමහාර‍ාමෙන් ආදර්ශයක් දී තිබෙනවා
- ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලීමේන්තු මන්ත්‍රී විජිත හේරත්

මේ රටේ කුණු අදින ටෙන්ඩරය විශාල මුදල් හම්බකරන ව්‍යාපාරයක් හා මාෆියාවක් විතරයි. කුණු අදින ටෙන්ඩරය හා කුණු දමන ඉඩම ඒ සඳහා යොදා ගන්නා රථවාහන මේ සියල්ල මුදල් හම්බකරන ආකර. කුණු අදින ක්‍රියාවලිය පාලනය කරන්නේ ඇතැම් දේශපාලඥයන් හා ඔවුන් සමඟ එක්වු නිලධාරීන් පිරිසක්.මේ ඒකාධිකාරිය බිඳ දමා ජනශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන කුණු කසළ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමෙන් පසු එම ස්ථානයට කුණු කසළ රැගෙන යෑම සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලීමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද සිද්ධිය සම්බන්ධයෙන් ‘දිනමිණ‘ වෙත අදහස් දක්වමින්ය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීය අවුරුදු හැට නවයක් තිස්සේ රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම කුණු කසළ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැරිවුණා. හැමදාම හැම තැනම කුණු කඳු ගොඩ ගැසෙනවා ගැටලු මතුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ එදා තිස්සමහරාමයේ ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගත් අවස්ථාවේදී කුණු කසළ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය සිදුකළා. එහිදි පොහොර නිපදවලා යම් සහනදායි මුදලකට ගොවීන්ට අලෙවිකොට යම් මුදලක්ද උපයා ගත්තා. ඒ පුංචි ප්‍රාදේශීය සභාවෙන් රටට ඒ ආදර්ශය ලබාදුන්නා. අද ජාතික ගැටලුවක් වී තිබෙන කුණු කසළ ප්‍රශ්නය විසඳන්න පැවැති ආණ්ඩු මැදිහත්වූයේ නැහැ. ඉකුත් මැතිවරණ සමයේ සිටි වගකිව යුතු පරිසර ඇමතිවරයෙක් පැවසුවා බ්ලුමැන්ඩල් කුණු කන්ද වසර දෙකකින් සමතලා කරනවා කියලා ඒ කතා පුස්සක් පමණයි.

පසුව මේ කුණු කසළ මීතොටමුල්ල ජනාකීර්ණ ප්‍රදේශයකට ගෙනත් දාන්න හො එ.ජා.ප. මන්ත්‍රීවරු මීතොටමුල්ලට කුණු දැමීමට එකඟවුණා. කුණු කසළ කියන්නේ මුදල් හම්බකරන ව්‍යාපරයක් ඒ මුදල් යටවෙලා තමයි ඒ අය එදා එකඟවුණේ. 2009දි ගෝඨාභය රාජපක්ෂලා බලය පාවිච්චි කරලා බලහත් කාරයෙන් තමයි මේ ස්ථානයට කුණු කසළ ගෙනත් දැම්මේ. ඒ අවස්ථාවේදි ජනතාව ඊට විරුද්ධවුණා. යම් ප්‍රදේශයකට කුණු කසළ ගෙන ගොස් දමා කුණු කඳු ගැසීමට මේ ප්‍රශ්නයට විසඳුමක් නොවේ. වත්මන් ආණ්ඩුව පැමිණ මේ කුණුකසළ ජා ඇල ඔතේ කැලේ කියන ප්‍ර දේශයට ගිහින් දමන්න තීන්දු ගත්තා. එම ප්‍රදේශයත් අත්තනගලු ඔය ආශ්‍රීතව තිබෙන ජනාකීර්ණ ප්‍රදේශයක්. ඒ ස්ථානයේත් නිකම්ම කුණු ගොඩක් ගහන්නයි ගියේ ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙලක් නැහැ. කුණු කසළ ගිහින් දමන ස්ථානවලට යෝජනා තියෙනවා නමුත් ඒවා ක්‍රියාත්මක වෙන දේවල් නොවේ ප්‍රතිචක්‍රීය කරණය සිදුවෙනවා නම් ඒ ස්ථානයේ යන්ත්‍රසූත්‍ර සවි විය යුතුයි එවැනි දේවල් අපි දකින්නේ නැහැ. මේ ස්ථානයේ නෙදර්ලන්ත ආධාර යටතේ සමීක්ෂණයක් පැවැත්වුණු අතර කිසිදු ව්‍යාපෘතියක් ආරම්භවෙන වැඩපිළිවෙලක් නැහැ. ඒ පිළිබඳ දැක්වෙන අදහස්වල සත්‍යතාවයක් නැහැ. මෙහිදි පරිසර අධිකාරිය ලබාදී ඇති වාර්තාව අනුව ඒ අසල වගුරුබිමේ පස් පුරවලා ඊට පසු කුණු කසළ දැමීම සිදුවිය යුතුයි. නැතිව කුණු දැම්මොත් ඒවා අත්තනගලු ඔයට ගලා ඇවිත් නිතරම ගංවතුර ඇතිවන මාකේවිට ඇතුළු ඒ ප්‍රදේශවලට විශාල ගැටලු මතුවෙනවා. ගිය වසරේත් අඩි දහයක් පහළොවක් උසට මෙම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවුණා. එහෙම ස්ථානයකට නිකම්ම කුණු ගිහින් දැම්මම ඇතිවන පරිසර තත්ත්වය කුමක්ද? එම කාර්ය තමයි සිදු කරන්න ගියේ. ඊට එම ප්‍රදේශයේ ජනතාව විරුද්ධවුණා.

ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙලක් ආරම්භ කොට කුණු කසළ ගිහින් දමනවාට ජනතාව විරුද්ධ නැහැ. ඇත්ත කතාව නම් මේ කාර්යට එක සමාගමකටවත් එන්න දෙන්නේ නැහැ. බ්‍රිතාන්‍ය, ජපන්, චීන හා කොරියන් සමාගම් ඇවිල්ලා කිව්වා මීට ඔවුන් විසඳුම් දෙන්න සූදානම් බව නමුත් එහි බොරු කරුණු දක්වමින් ඒවා ප්‍රතික්ෂේප කළා. මේ රටේ තිබෙන විශාල මුදල් හම්බකරන ව්‍යාපාරයක් මාෆියාවක් කුණු අදින ටෙන්ඩරය , කුණුදමන ඉඩම. ඒ සඳහා යොදා ගන්නා රථවාහන එම ක්‍රියාවලියේ සිටින්නේ ඇතැම් දේශපාලඥයින් හා ඔවුන් සමග එක්වු නිලධාරි පිරිසක්. ඒ නිසා තමයි මීට තවම පිළිතුරක් සොයා ගත නොහැකි. කොලොන්නාවේ නගර සභාවේත්, කොළඹ මහා නගර සභාවේත් මන්ත්‍රීවරුන්ව මුදල් දීලා ගත්තා ඇතැම් අවස්ථාවල රුපියල් ලක්ෂ දහය දීලත් තියෙනවා. ඒ නිසා මේ ගැටලු විසඳන්න නම් කුණුත් සමග සම්බන්ධවු දේශපාලන මාෆියාව පරාජය කළ යුතුයි. රුපියල් මිලියන දහසේ ටෙන්ඩරය රුපියල් මිලියන අටසීයට දෙනවා මිලියන දෙසීයක් අතඋඩ ලාභයි. එය පරාජය නොකර අපි පටු දේශපාලන වාසි ගන්න හදනවා කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ ප්‍රකාශය සාවද්‍යයි වැරදියි මිනිසුන් උද්ඝෝෂණ කරන්නේ නැහැ ඇම්මට උණට කිසිවකුගේ උසි ගැන්වීමකට මීතොටමුල්ලේ ජනතාව තමන්ට අත්විඳින්න සිදුවන ඉරණම දැකලා විරෝධතා පෑවා ඊට පහර දුන්නා මිස ඇහුම් කන් දුන්නේ නැහැ. ප්‍රතිචක්‍රීය කරණය ක්‍රියවලිය ආරම්භ කොට කටයුතු කරනවාට මිනිසුන් විරුද්ධ වෙන්නේ නැහැ.

පුත්තලමට කුණු ගෙන ගොස් දමන්න හැදුවා පසුව එය ඒකලට පැමිණියා දැන් මුතුරාජවෙලට කුණු ගෙන ගොස් දමන්න යනවා. මේ ව්‍යාපෘතිය කරන්න යන්නේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයෙක්.ඉන් පැහැදිලිවෙනවා මේක ව්‍යාපරයක් බව කෙසේ වෙතත් ආණ්ඩුව මේක ජාතික ප්‍රශ්නයක් ලෙස සළකා ජනතාවට ලෙඩ රෝග ඇති කරමින් ඉතා අහිතකර පරිසරයක් නිර්මාණය වන මේ තත්ත්ව හඳුනාගෙන අධිවේගිමාර්ග , විශාල හෝටල් ඉදිකරන්න හා වෙනත් විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට ණය ආධාර අරගෙන කටයුතු කරනවා වගේ කුණු කසළ ප්‍රශ්නය විසඳන්න එවැනි ක්‍රියා මාර්ගයක් හෝ ගන්නවානම් යහපත් වෙනවා.

මාස තුනකින් විසඳුමක් දෙන්න ශ්‍රීලනිප තරුණ පෙරමුණ සූදානම්
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර

මීතොටමුල්ල කුණු කන්ද හා සම්බන්ධ ගැටලුව සඳහා පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරීමට කිසිවෙකු අපොහොසත් වන්නේ නම් මාස තුනක් ඇතුළත ස්ථිරසාර විසඳුමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

එම කුණු කන්ද නාය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු ආණ්ඩු වගකීම බාරගත යුතු බව පෙන්වාදෙන ඒ මහතා එයින් කිසිවෙකුටත් ඉවත්විය නොහැකි බවද තවදුරටත් එම ප්‍රදේශයේ ජන ජීවිතය අඩාල නොකොට අදාළ ගැටලුව සඳහා පැහැදිලි විසඳුමක් ලබාදිය යුතු බවද සඳහන් කරයි.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ ඒ මහතා,

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විපතට පත් සහ ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනා වෙනුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ කණගාටුව, සංවේගය ප්‍රකාශ කරනවා. කිසිවෙකු අපේක්ෂා නොකළ මේ සිදුවීමෙන් පවුල් විශාල ප්‍රමාණයක් අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.

මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය සහ මෙහෙයවීම යටතේ විශේෂ කමිටුවක් පත්කොට සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් රාජ්‍ය අංශයේ ආයතන සහාය ලබාදෙනවා. විශේෂයෙන්ම විරෝධාර රණවිරුවන් කැපවීමෙන් මේ කාර්යය සඳහා නායකත්වය ලබාදෙනවා. විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන සහනයන් විනිවිදභාවයෙන් යුතුව සාධාරණ ලෙස බෙදාදිය යුතු වෙනවා.

විවිධාකාරයේ ව්‍යසන පසුගිය කාලයේ අපි දැක තිබෙනවා. එවැනි අවස්ථාවල සහන ලැබීම සම්බන්ධයෙන් ජනතාව තෘප්තිමත් වන්නේ නැහැ. ඒවා විනිවිදභාවයෙන් සිදුවූයේ නැහැ. නොයෙක් ගැටලු ඇති වුණා. මේ අවස්ථාවේ එවැනි ගැටලු ඇති නොකර සියලු දෙනාටම එක හා සමානව දෙන ලෙස ඉල්ලා සිටිනවා. මෙහි වගකීම සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙන්න පුළුවන්.

පසුගිය ආණ්ඩුව සමයේ මේ කටයුත්ත ආරම්භ වුණා. මේ සම්බන්ධයෙන් අදාළ වන ආයතන, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ සියල්ල මෙහි වගකීම බාරගත යුතුයි. ඒ වඟේම වැරැදි මත ප්‍රචාරය කරන්නට උත්සාහ කළ දේශපාල පක්ෂ සහ දේශපාලඥයන් ද වගකීම බාර ගතයුතු වෙනවා. එක් එක් පුද්ගලයින්ට ඇඟිල්ල දිඟුකරනවාට වඩා මේ ගැටලුවේ දී සියලු දෙනාම එක්ව කටයුතු කළයුතු වෙනවා.

යම් යම් ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අපේ රට ඉතාම දුර්වල තැනක ඉන්නවා. ජනතාවට, රටට විසඳුම් අවශ්‍ය වෙනවා. යම්කිසි ගැටලු වක් ඇතිවූ පසුව විසඳුමක් අවශ්‍ය වෙනවා. තාවකාලික පැලැස්තර අවශ්‍ය නැහැ. අද ලෝකයේ තාක්ෂණය දියුණුයි. අපි අනවශ්‍ය දෑ සඳහා තාක්ෂණය ඉතා ඉහළින් භාවිතා කරනවා. නමුත් මෙවැනි සරල කරුණක් වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගන්නේ නැහැ. අපේ රටේ විද්වතුන්ගේ දැනුම ප්‍රමාණවත් නොවන්නේ නම් විදේශ තාක්ෂණික සහාය හෝ ලබාගෙන මෙවැනි ගැටළු සඳහා පැහැදිලි විසඳුම් ලබාදීමට හැකියාව තිබිය දී එය මඟහැරීම බරපතල වරදක්. ඒ නිසාම මේ දැඩි ඛේදවාචකය ඇතිවුණා.

මේ කුණු කන්ද විකුණා එම මුදලින් නිවාස පුරයක් ඉදිකොට සුන්දර ගම්මානයක් නිර්මාණය කරන්න හැකියාව තිබෙනවා. එවැන්නක් සිදුනොකර අපි කෙතරම් පහළ මට්ටමක ද ඉන්නේ යන්න පැහැදිලි වෙනවා. මේ කුණු විවිධ කාර්යයන් සඳහා අලෙවි කරන්න පුළුවන්. එසේ තිබිය දී කාගේ හෝ බලපෑමක් මත මෙවැන්නක් සිදුනොවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මේ වෙනුවෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන්න අවශ්‍ය ක්‍රමවේද නිර්මාණය කරන්න. ඒ සඳහා පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කරන්න කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ නම් මාස තුනක් ඇතුළත ස්ථිරසාර විසඳුමක් ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකා තරුණ පෙරමුණ සූදානම්. ඒ වගකීම අපිට බාර ගන්න පුළුවන්. මේ රටේ තරුණයක් වෙනුවෙන් අපි පැහැදිලි ස්ථිරසාර විසඳුමක් වරස දෙකක දී ඉදිරිපත් කළාක් මෙන් මාස තුනක් ඇතුළත මීතොටමුල්ල කුණු කන්ද වෙනුවෙන් ස්ථිරසාර විසඳුමක් ලබාදෙනවා.

විශ්ව විද්‍යාල තරුණ තරුණියන් විශාල පිරිසක් අපේ තරුණ පෙරමුණ සමඟ ඉන්නවා. ඒවඟේම විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සහාය මේ සඳහා ලබාගත හැකියි. ඒ වඟේම අවශ්‍ය නම් විදේශ ඥානය ද ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

අපි පැහැදිලි වැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කරන්න සූදානම්. විවිධ ඇමැතිවරු, ආයතන ප්‍රධානීන් විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් මේවා ජනතාව අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලන්නේ ඔබතුමා යටතේ විශේෂ කමිටුවක් ස්ථාපිත කොට මේ ගැටළුව ස්ථිර ලෙස හා කඩිනමින් විසඳීම සඳහා නිශ්චිත කාලරාමුවක් තුළ වැඩපිළිවෙලක් සූදානම් කරන්න කියා. එසේ නොවන්නේ නම් තවදුරටත් ගැටලු ඇතිවී මේ ජනජීවිත අවුල් සහගත වෙනවා. ප්‍රශ්න විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා.

මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධ ගැටලුව සඳහා දේශපාලඥයන්, රාජ්‍ය යාන්ත්‍රණය, සම්පූර්ණයෙන්ම වගකිව යුතු වෙනවා. පසුගිය දශක දෙකක කාලයේ දී කැලිකසල ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් අධ්‍යනය සඳහා විදේශ රටවලට ගිය පිරිස ගැන කතාකරන විට පුදුම හිතෙනවා.

පළාත් පාලන ආයතන ප්‍රධානීන්, මන්ත්‍රීවරු, පළාත් මහ ඇමැතිවරු විශාල පිරිසක් රටේ මුදලින් විදේශ ගතවී තිබෙනවා. නමුත් එහි ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු නොකරන්නේ නම් ගැටලු ඇති වෙනවා. හැම ගැටලුවකටම ජනාධිපතිවරයා විසින් විසඳුමක් ලබාදෙන තුරු බලා සිටීම ඉතාම ඛේදජනකයි. පවතින චක්‍රෙල්ඛ, අනපනත් භාවිතා කොට අමාත්‍යාංශ, ආයතනවලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පසුගිය කාලයේ මෙන්ම නොව මේ වනවිට හැම දෙයක්ම විමධ්‍යගත කර තිබෙනවා.

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වන ලෙස ආරක්ෂක අංශ ඉල්ලීමක් කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ඒ සඳහා සූදානම් බව කියන්න කැමැතියි. අපි රටේ විශාලතම තරුණ පෙරමුණයි.

විද්‍යානුකූල විසඳුමක් කඩිනමින් ඕනෑ
- පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

කුණු කසළ බැහැර කිරීමේ ගැටලුවට විසඳුම් සෙවීම කිසිවෙකුට භාර නොදි රටේ ඉහළම තැනින් ඒ සඳහා විද්‍යානුකූල විසඳුමක් කඩිනමින් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි.

මීතොටමුල්ල කුණු කන්ද සිද්ධිය සම්බන්ධයෙන් ‘දිනමිණ‘ සිදුකළ විමසුමකදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීය....මේක කොළඹ කුණු ප්‍රශ්නය කිව්වට මෙය රටම වෙලාගත් ගැටලුවක්. මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු දැමීම මගේ මතකය අනුව ආරම්භවි තිබෙන්නේ 1989 දී. මුලින්ම මේ ස්ථානයට කුණු කසළ දමා තිබෙන්නේ කොලොන්නාව, මුල්ලේරියාව කොටිකාවත්ත නගර සභා ප්‍රාදේශීය සභාවල කුණු කසළයි. කුණු කසළ මේ තරමටම කඳු ගසලා ඒවා කඩාවැටි මිනිසුන් මැරන තත්ත්වයට පත්වීම ගැන පැවැති හා සිටින ආණ්ඩුව වගකිව යුතුයි. මින් කිසිදු දේශපාලන නායකයකුට සිය වගකීමෙන් බැහැර වෙන්න බැහැ. ඒ නිසා කිසිවකුට ඇඟිල්ල දිගු කර කාටවත් නිදොස් වෙන්නත් බැහැ. මීට හේතුව කුණු කසළ බැහැර කිරීම ගැන නිසි විද්‍යානු කූල විසඳුමක් තිබුණේ නැහැ. මේ ගැන ඉතා කණගාටු වෙන අතර අපි මේවා අප කවුරුත් ලැජ්ජා විය යුතුයි.

බොහෝ අය කොළඹ කුණු කියලා චෝදනා කරනවා එයත් පටුපරමාර්ථයක් ඇතිව සිදුකරන දෙයක්. සමාන්‍යයෙන් කොළඹට ලක්ෂ අටක ජනතාව දිනකට පිට පළාත්වලින් පැමිණෙනවා. ඒ ලක්ෂ අටත් ඇවිත් එක්කරන කුණුත් සමග තමයි එක් දිනකට කොළඹ කුණු කසළ ටොන් හත්සිය පනහක් එක්වෙන්නේ. කොළඹ පමණක් ජීවත්වෙන ජනතාවගේ දිනකට එකතුවන කුණු කසළ ප්‍රමාණය කුණු කසළ ටොන් දෙසීය පනහක් පමණ වෙනවා. ඒක සෑම පළාතකින්ම කොළඹට පැමිණෙන ජනතාවගේ කුණු . ඒ නිසා මේ අර්බුදයට ජාතික විසඳුමක් අවශ්‍ය වෙලා තියෙනවා. මිට පෙර කුණු කසළ ප්‍රශ්නය හඳුනාගෙන විසඳුමක් දුන්නා නම් මේ ඛේදවාචකය අද සිදුවන්නේ නැහැ. නමුත් සිදුවුණේ එකිනෙකා චෝදනා කර ගනිමින් තවත් සමහර පිරිසක් මේ ප්‍රශ්නය තියාගෙන මුදල් හම්බ කරන්න බලනවා. කුණු සඳහා එක එක ව්‍යාපෘති කරලා මුදල් හම්බ කරන්න පුළුවන්ද බලනවා. ඒ දේවල් නිසා තමයි මේ ඛේදවාචකය සිදුවුණේ.

මේ කුණු ප්‍රශ්නය විසඳුමට පැවැති රජයන් හා අපේ රජයත් ද අපොහොසත් වෙලා තියෙනවා ඒක පැහැදිලියි. මේ සඳහා අගමැතිතුමා විසඳුමක් මෑතකදී දුන්නා ඒකළ ප්‍රදේශවට මේ කුණු රැගෙන ගොස් දමන්නත් එහි ප්‍රතිචක්‍රීය කරණය කරන යන්ත්‍ර සූත්‍ර සවිකොට ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්නත් නමුත් ඊට සහයෝගය නොදි විරෝධය පෑවා. ඒ ප්‍රදේශයට නිකම්ම කුණු රැගෙන ගොස් දමන්න ගියේ නැහැ ප්‍රතිචක්‍රීය කරණය කරන වැඩපිළිවෙලකුත් එක්කයි ගියේ ඊට ඇතැමුන් ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මේ ගැටලු තියාගෙන තවදුරටත් සෙල්ලම් කරන්න බැහැ. රටේ ඉහළ තැනින්ම විසඳුමක් දිය යුතුයි. මේක කොළඹ කුණු ප්‍රශ්නයක් නොවේ රටේ කුණු ප්‍රශ්නයක්.

මරණයට පත්වු ජනතාව කුණු දැම්මේත් මේ ස්ථානයටමයි . ඒ අය වෙන තැනකට දැම්මේ නැහැනේ. අද රටේ සෑම ප්‍රදේශයකින්ම නැගෙන ප්‍රශ්නයක් තමයි මේ කුණු කසළ බැහැර කිරීම ඊට නිසි විද්‍යානු කූල විසඳුමක් හැකි ඉක්මනට ලබාදිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ.

මේ සාපරාධි නොසැළකිල්ල ගැන වගකිව යුතු අය ඉන්නවා
- පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර

මීතොටමුල්ල කුණු කන්ද ගොඩ ගසා මිනිස් ජීවිත රැසක් අහිමි කිරීමෙන් සිදුවී ඇත්තේ මානුෂීය අපරාධයක් බව ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(18) කොළඹ 08, බොරැල්ලේ ඇන්.ඇම්. පෙරේරා අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවැති සමාජවාදි ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීය.

මේ ක්‍රීයාව සම්බන්ධයෙන් එකුතුවු අය සිටියි නම් ඔහු හෝ ඇය මීට වගකිව යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙවිය යුත්තේ මේවා ගැනයි. මේ සාපරාධි නොසැළකිල්ල ගැන වගකිව යුතු අය ඉන්නවා. ඔවුන් නීතියක් ඉදිරියට ගෙන එන්නේ නැත්නම් ඉදිරියටත් මෙවැනි අපරාධ සිදුකිරීම සඳහා කවුරුත් කටයුතු කරාවි. මේ සඳහා කොයි ආණ්ඩුවේ වුවද අය වගකිව යුතු වෙනවා. මේක අනියම් මිනිමැරීමක්. මම කොළඹ නගර සභවේ විපක්ෂ නායක ලෙස ටික කාලයක් සිටියා එහිදි අපි මීට විසඳුමක් ලබාදෙන්න උත්සහ කළා ඇයි එය සාර්ථක නොවුයේ කුණු ජාවාරම්කාරයින් නිසයි. එදා මම විගණකාධිපතිට තොරතුරු දුන්නා ඒ වාර්තාවල් නිකුත්වි තිබෙනවා කුණු ජාවාරම්කාරයින්ගේ බලයට පාලකයෝ යටවීම නිසා සිදුවු අපරාධයක් ලෙස මෙය හැඳීන්විය හැකියි.

එදා මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා මේ ගැටලුව බේරගන්න එහිදි කෙටිකාලීන යෝජනාවක් සමග දිගුකාලීන නිර්දේශ කිහිපයක් ලැබුණා. ඒ අනුව ටෙන්ඩර් කැඳවීම් කළා ඒ සියල්ල කඩාකප්පල් කෙරුවා. ඒ සියල්ල කළේ මේ කුණු ජාවාරම් කාරයින්. පාලකයින්ට බැරිවුණා කුණු ජාවාරම් කාරයින් යට කරන්න. එදා කුණු ජාවාරම් කාරයින් ලබාදුන් මුදල් කොළඹ නගර සභාව තුල මන්ත්‍රීවරු බෙදාගත්තා. එසේ මුදල් ගත් මන්ත්‍රීවරු මේ ගැටලු සැබෑවට විසඳන්න ගෙනා යෝජනා පරාජය කළා. එදා එංගලන්තයේ සමාගමක් පැමිණ මේ කුණු ඉල්ලුවා ඒ අයට බල ශක්තිය නිපදවන්න ඕනේ කියලා නමුත් ඒ සියල්ල කුණු ජාවාරම්කාරයින් හා ඔවුන්ගෙන් සන්තෝසම් ලැබු මන්ත්‍රීවරු කඩාකප්පල් කෙරුවා. 

නව අදහස දක්වන්න