මීතොටමුල්ලේ අවදානම් කලාප 4ක් | දිනමිණ

මීතොටමුල්ලේ අවදානම් කලාප 4ක්

විජයානි එදිරිසිංහ

* කැණීම් අවසන් කිරීමට මාසයක කාලයක් 
* පසුගිය වසර පහේදී කුණු කන්ද ඉවත් කරන්න ඉල්ලීම් 200ක්

මීතොටමුල්ලේ තවදුරටත් නායයෑමට හැකි බවට ප්‍රදේශ හතරක් අවදානම් කලාප ලෙස නම් කර එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර ආරක්ෂිත ප්‍රදේශවල රැඳවීමට පියවර ගෙන ඇත.

ඊෙය් සවස් වන විට තවත් මළ සිරුරක් ෙසායා ගැනීමට අාරක්ෂක හමුදාවට හැකිවූ අතර ඒ් අනුව මෙතෙක් හමුවූ මළ සිරුරු සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ. 

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් බලපෑමට හසු වූ ප්‍රදේශ හතරේ මීටර් තුන්සියයක පමණ ප්‍රදේශයක් අඩි විස්සකට වඩා උස පස් සහ කුණු තට්ටුවකින් වැසී ඇති අතර, එම සම්පූර්ණ ප්‍රදේශයම කැණීම් කර අවසන් කිරීමට මාසයකටත් වැඩි කාලයක් ගතවිය හැකි බව මෙහෙයුම් සිදුකරන ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත් විශේෂකාර්ය බළකායත් කියා සිටියි.

නීල්ගේවත්ත, විසිතුනේවත්ත, නාගහපාර සහ දහම්පුර යන ප්‍රදේශ හතරම මේ කුණු කන්ද නායයාමේ බලපෑමට හසුව යටවී තිබේ. එම ප්‍රදේශවල නිවාස පිහිටි ස්ථානවලට සමාන්තරව අඩි විස්සක් පමණ උසට එම පස් සහ කුණු යටවී ඇති අතර, එම ප්‍රදේශය තුළ මේ වන විට නිවාස පිහිටියේ යැයි සැක කෙරෙන ස්ථාන රැසක් කැණීම් කර තිබේ.

ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බළකායේත් පොලිසියේත් එක්දහස් පන්සියයක පමණ පිරිසක් නොනවත්වාම මේ මෙහෙයුම් සිදු කරගෙන යයි.

මේ වන විට කුණු කන්දට යටවී මියගිය පුද්ගලයන් තිස්දෙනකුගේ මළ සිරුරු සහ තවත් එක් පුද්ගලයකුගේ පාදයක් ද හමුවී තිබුණි.

ත්‍රිරෝද රථ, ඩීමෝ බට්ටා, ටිපර් රථයක්, යතුරුපැදි සහ තවත් වාහන කිහිපයක කොටස් ද, නිවෙස්වල බඩු බාහිරාදිය ද කැණීම්වල දී සොයා ගැනීමට හැකිවී තිබේ.

තවත් පුද්ගලයන් විසිදෙනකු පමණ අතුරුදන්වී ඇති බව එම ප්‍රදේශවාසීහු පවසති. එහෙත් ඔවුන් පැමිණිලි වශයෙන් එවැනි ප්‍රමාණයක් ගැන පැමිණිලි කර නොමැත.

මනමාලියක් බැලීම සඳහා පැමිණි දසදෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් මේ කුණු කන්දට යටවී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතත් පිටස්තර ප්‍රදේශයකින් පැමිණි එම පිරිස ගැන මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බැවින් තවමත් අතුරුදන්වී සිටින පුද්ගලයන් පිළිබඳව හැකි අයු‍රින් එම ස්ථානයේ ස්ථාපිත කර ඇති පොලිස් මුරපොළට හෝ දැනුම් දෙන ලෙස එම ප්‍රදේශවාසීන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියි.

කැණීම් කරන පිරිස පවසා සිටින්නේ කුණු කන්දේ ඉහළ කොටස පහතට ගිලා බසින විට යට කොටස තෙරපී පිටතට විශාල පස් කඳු වශයෙන් ගලාගොස් ඉන් එම ප්‍රදේශ මෙසේ යටවී ඇති බවයි.

කෙසේ වෙතත් මෙහෙයුම් නොනවත්වාම සිදුකර අතුරුදන් වූ සියලුම පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට මෙහෙයුම් අංශවලට උපදෙස් ලැබී තිබේ. ඒ අනුව මෙතරම් විශාල ආරක්ෂක භට පිරිසක් පැය විසිහතර පුරාම මෙහෙයුම් සිදුකරති.

මේ මෙහෙයුම් අංශ ප්‍රකාශ කර සිටින්නේ මේ පස් කඳුවලට යටවී විශාල ප්‍රදේශයක් මේ වන විට කැණීම් කර ඇතත් ඊට යට වූ කිසිදු සත්ත්වයකුගේ සිරුරු හමුවී නොමැති බවයි. බොහෝවිට ඔවුන් මේ අනතුරු දැන කල්තියා එම ප්‍රදේශයෙන් ඉවත්වී ඇතැයි සැක කෙරේ. නාය යාමෙන් විපතට පත් ජනතාවගේ දේපොළවලට සිදුවී ඇති හානිය පිළිබඳව තක්සේරු කිරීම් මේ වන විටත් ආරම්භ කර තිබේ. එම හානියට අනුව ඔවුන්ට රුපියල් ලක්ෂ විසිපහක උපරිමයකට යටත්ව ආධාර ලබා දීමට ද රජය පියවර ගෙන ඇත.

කුණු කන්ද නායයාමට හසු වූ පිරිසෙන් තුවාල ලැබූ හත්දෙනකු රෝහල්ගත කර තිබිණි. ඉන් එක් අයකු මියගිය අතර සෙසු පිරිස තවමත් රෝහල්ගතව සිටිති. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොලිසිය සඳහන් කරයි.

මේ කුණු කන්ද ඉවත් කරන ලෙසට ඉල්ලා පසුගිය වසර පහක පමණ කාලයක් තුළ නාගරික සංවර්ධන අධිකාරියට ඉල්ලීම් දෙසීයකට වඩා ඉදිරිපත් වී තිබූ බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. එහෙත් ඒවා ඉවත් කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි. මේ අතර ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය තවදුරටත් මේ නායයාම සම්බන්ධව පරීක්ෂණ සිදුකරගෙන යයි. ඔවුන්ගේ පරීක්ෂණවලට අනුව ඉදිරියේ දී තවදුරටත් අවදානම් තත්ත්වයක් ඇති කලාප නම් කර තිබේ. එම ප්‍රදේශවලට ප්‍රදේශවාසීන්ට ඇතුළුවීම වළක්වා ඇති බවයි. 

නව අදහස දක්වන්න