මීතොටමුල්ලේ වසංගත රෝග අවදානමක් | දිනමිණ

මීතොටමුල්ලේ වසංගත රෝග අවදානමක්

සන්ධ්‍යා කරුණාරත්න

මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමඟ ප්‍රදේශයේ දරුවන්ට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන ලබාදීමෙන් පාචනය හා බඩේ අමාරුව වැනි රෝග ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

එය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද පොදු ගැටලුවක් බව ඒ මහතා පැවැසුවේය.

ප්‍රදේශයේ මැස්සන් බෝ වීමේ අවදානමක් පවතින බවත් ආහාරපානාදිය වසා තැබීමකින් තොරව මිනිස් පරිභෝජනයට නොගන්නා ලෙසට අවවාද කරන බවත් ඔහු පැවැසීය.

ආහාරපානාදිය මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර, පිරිසිදු පානීය ජලය බීමට ගැනීමෙන් ඇති විය හැකි රෝග වළක්වා ගත හැකි යැයි ද වෛද්‍යවරයා අවධාරණය කළේය.

වමනය, උණ, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් එය පාචනයේ රෝග ලක්ෂණ විය හැකි බවත් කිසියම් දරුවකුට එවැනි රෝග ලක්ෂණ පවතියි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

අවුරුදු කාලය නිමාවීමත් සමඟ පාචනය සහ බඩේ අමාරුව සෑදුණු දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් රෝහල්ගත වන බව ද වෛද්‍යවරයා පැවැසුවේය.

නෑදෑ ගෙවල්, විනෝද ගමන් යාම නිසා අතරමඟ දී නොයෙක් ආපනශාලාවලින් ආහාර ගැනීම, අපිරිසිදු ජලය පානය කිරීම යනාදිය නිසා මෙවැනි රෝගයන් ඇති වීමේ ඉඩක් පවතින බවත් දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන්ගේ යුතුකමක් බවත් ඒ මහතා කීය.

ඉහත රෝග ලක්ෂණ කිසියම් දරුවකුට පවතින්නේ නම් පලතුරු යුෂ, දෙහි, දොඩම්, බැඳි හාල් කැඳ, තැඹිලි වතුර, ජීවනී, පිරිසිදු ජලය පානය කිරීම සඳහා වැඩිපුර ලබාදිය යුතු බව ද වෛද්‍ය දීපාල් මහතා පැවැසුවේය. 

නව අදහස දක්වන්න