කුණු කන්දේ අවදානම කලින් දැනුම් දුන්නා | දිනමිණ

කුණු කන්දේ අවදානම කලින් දැනුම් දුන්නා

සී.ජේ.අමරතුංග

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට පෙර මෙම අනතුර පිළිබඳ රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබුණද එම දැනුම්දීම නොසලකා හැරීම නිසා මේ ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් මේ පිළිබඳ සිදුකළ විමර්ශනයකින් හෙළිවී ඇත.

මෙම විමර්ශනය ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතාගේ උපදෙස් මත සිදුකර ඇත.

මේ කුණු කන්ද නාය යෑමේ අවදානමට ලක්ව ඇති බැවින් ඔවුන් වහා ඉවත්කළ යුතුව ඇතැයි දහම්පුර ග්‍රාම නිලධාරී එච්.එම්.කුමාර මහතා විසින් 2017-04-05 දින කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් වෙත අවදානමට ලක්විය හැකි නිවාස හිමියන්ගේ ලේඛනයක් සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

එම වාර්තාවට අනුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ලැයිස්තුවේ සඳහන් පවුල් දහය වහා ඉවත්කරන ලෙස ග්‍රාම නිලධාරිවරයාට නියෝග කර එම ගෘහ මූලිකයන්ගේ නමට සකස් කරන ලද ලිපි ඔවුන් වෙත භාරදී තිබුණි.

එම නිවාස වලින් ඉවත් කිරීමේ ලිපි පදිංචිකරුවන් විසින් පිටපතකට අත්සන් යොදා භාරගෙන ඇත.

මීතොටමුල්ල කුණු කන්ද අවට භූමිය අනතුරුදායක බැවින් එම ප්‍රදේශයෙන් වහා ඉවත්වන ලෙස දහම්පුර ග්‍රාම නිලධාරී එච්.එම්.කුමාර මහතා මගින් මේ අනතුරට ගොදුරුවු නිවෙස් හිමියන් වෙත 2017-04-07වන දින ලිඛිතව දැනුම් දී ඇත.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් හා කොළොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වරුන් වෙතද නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති,ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කොළොන්නාව නගර සභාවේ ලේකම්, වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු වගකිව යුත්තන්ද අනතුර වීමට පෙර දැනුවත් කර ඇත.

එසේ වුවද රජයේ පණිවිඩය පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම නිසා මෙම අවාසනාවන්ත ඛේදවාචකයෙන් ජීවිත තිහකට අධික සංඛ්‍යාවක් අහිමිවී ගිය අතර මින් ඉදිරියට හෝ එවන් හදිසි අවස්ථාවලදී ප්‍රශ්න කරමින් නොසිට ආරක්ෂාව පිළිබඳ කටයුතු කළයුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

නව අදහස දක්වන්න