සුදුසු ස්ථිර තැනක පදිංචියට සූදානම් | දිනමිණ

සුදුසු ස්ථිර තැනක පදිංචියට සූදානම්

මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතවම ජීවත් විය යුතුයි කියා අවශ්‍යතාවයක් තමන් තුළ නැතැයි කියා සිටින එම ප්‍රදේශයේ අවතැන්වී සිටින ජනතාව තමන්ට වාසස්ථානයට සුදුසු ස්ථිර වැඩ පිළිවෙළක් සකස් කරන්නේ නම් එම ස්ථානයේ පදිංචියට යාමට ‍ඕනෑම මොහොතක සූදානම් බව ඊයේ (19) මීතොටමුල්ල අවතැන් ජනතාව නිලධාරීන්ට තම ස්ථාවරය දැනුම් දෙමින් ප්‍රකාශ කළහ.

තමන් මේ ප්‍රදේශයේ ඇති භයානක ජීවිත අවදානම පෙනි පෙනී ජීවත් වන්නට සිදුවුෙණ් විකල්පයක් නැති කම නිසා බව කියා සිටි එම ජනතාව මේ කුණු කන්ද ආරම්භ කළ දින පටන් පැවැති ආණ්ඩු තමන්ට මෙවැනි ස්ථිර විසදුමක් සලසා දී තිබුනේ නම් මෙවන් ව්‍යසනයකට මුහුණ දීමට තමන්ට

කිසිසේත්ම ඉඩ නොලැබෙනු ඇතැයිද පෙන්වා දුන්හ.

පැවැති ආණ්ඩු විශ්වාස කළ හැකි ආකාරයේ ස්ථිර විසඳුමක් ඉදිරිපත් නොකළ නිසාම තමන් මේ භූමිය අත්හැර යාමට කිසිදු එකඟතාවයක් පළ නොකළ බවද එම ජනතාව කියා සිටියහ.

තමන්ගේ පදිංචි නිවාස පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමේදී තම දරුවන්ගේ පාසල් අධ්‍යපනික කටයුතු වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් විසඳුම් ඉදිරිපත් කළ යුතු බවද ඔව්හු අවධාරණය කර සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) පෙරවරුවේ මීතොටමුල්ල ව්‍යසනය බැලීම සඳහා එහි ගිය අවස්ථාවේ එතුමන් සමග පැමිණි නිලධාරීන් හමුවේ මේ බව අවධාරණය කර සිටි එම ජනතාව අගමැතිවරයා තම ගැටලු වලට සාධාරණ හා පිළීගත හැකි කඩිනම් විසඳුමක් ලබාදෙනු ඇතැයි විශ්වාසය පළ කර සිටියහ.

අගමැතිවරයා සමඟ නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර, යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුද එක්වුහ. මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයට ගිය අගමැතිවරයා එහි කටයුතු පිළිබඳ නිරීක්ෂණය කළ අතර ත්‍රිවිධ හමුදාව ඇතුලු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකළහ. අනතුරුව පැමිණිලි අංශයට ගිය අගැමැතිවරයා පැමිණ සිටී ජනතාව සමග පිළිසදරක නිරත විය. ජීවිත හානි පිළිබඳ තමන් කණගාටුවන බවත් අවශ්‍ය නිවාස ලබාදීම සඳහා නිවාස හඳුනාගෙන තිබෙන බවත් කීය. අවශ්‍ය සියලුම පහසුකම් ජනතාවට ලබාදීමට නියෝග කර ඇති බව කී අගමැතිවරයා ඉදිරිකටයුතු පිළිබදව නිලධාරීන් දැනුවත් කළේය. අනතුරුව කසළ කන්ද නාය ගිය ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අගමැතිවරයා එහි කැණීම් කටයුතු පිළිබඳවද සොයා බැලීය. 

නව අදහස දක්වන්න