වසංගත රෝග වැළැක්වීමට පියවර | දිනමිණ

වසංගත රෝග වැළැක්වීමට පියවර

සන්ධ්‍යා කරුණාරත්න

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමඟ ව්‍යාප්ත විය හැකි සියලු වසංගත රෝග වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පියවර වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන නිසා රෝග ව්‍යාප්තියක් මේ වන තෙක් වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ‘දිනමිණ‘ට පැවැසුවේය.

මේ ප්‍රදේශයේ ජනතාව අතර සමේ රෝගයක් (පණුහොරි) ව්‍යාප්ත වන බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කිරීමක් සිදු වුවත් එවැනි තත්ත්වයක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවත් පසුගියදා පුද්ගලයන් තුන්දෙනකු අතර මේ රෝගය ඇති වී තිබූ අතර ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් රෝගය පැතිර යාම වළක්වා ඇති බවත් ඒ මහතා පැවැසීය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිනපතා ගොස් සිද්ධියට මුහුණ දුන් ප්‍රදේශයේ ජනතාවාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වාර්තාවන් ගන්නා බවත් එමඟින් බෝ වීමට අවදානමක් ඇති රෝගයක් ඇති වුවහොත් එය පාලනයට කිරීමට අවශ්‍ය පියවර ගත හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඍජු අධීක්ෂණය යටතේ රෝග බෝ වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත්තේ යැයි ද ඒ මහතා අවධාරණය කළේය.

මීතොටමුල්ල අවට ප්‍රදේශයේ මදුරුවන්ට බෝ නොවිය හැකි පරිදි ධූමායන කටයුතු දිනපතා සිදු කිරීම, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීම, සනීපාරක්ෂක කටයුතු සොයා බැලීම, පිරිසිදු පානීය ජලය සැපයීම, වැසිකිලි කැසිකිලි පහසුකම් ප්‍රමිතියානුකූලව ලබාදීම, පිරිසිදු ආහාර ලබාදීම යනාදි සියලු කටයුතු අඩුවක් නොමැතිව ලබාදෙන බව ද ඒ මහතා පැවැසුවේය. 

නව අදහස දක්වන්න