හයිද්‍රාබාද් ලකුණු 15කින් ජය ගනී | දිනමිණ

හයිද්‍රාබාද් ලකුණු 15කින් ජය ගනී

කේන් විලියම්සන් හා ශිකර් ධවාන්ගේ විශිෂ්ට පිතිහරඹයන් හේතුවෙන් අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ 21වැනි තරගයෙන් දිල්ලි ඩෙයර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 15ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

හයිද්‍රාබාද්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල රැස්කළ ලකුණු 191කට පිළිතුරු ලෙස හයිද්‍රාබාද් පිලට කඩුලු 5ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 176ක් පමණි.

ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 50ක් රැස්කරමින් දිල්ලි ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු 31කට මුහුණදුන් ඔහු හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් ඉනිමට එක්කර ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් සමගින් 5වැනි කඩුල්ලට එක්වූ අයියර් පන්දු 40කින් ලකුණු 70ක සබඳතාවක් ගොඩනැගීය. මැතිව්ස් පන්දු 23කදී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමගින් ලකුණු 31ක් රැස් කළේය.

සංජු සැම්සන් ලකුණු 42ක් හා කරුන් නායර් ලකුණු 23ක් ඉනිමට එක් කළහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් පිල කඩුලු 4ක් දැවී ලකුණු 191ක් වාර්තා කළේය.

පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් ඉනිමේදී නායක ඩේවිඩි වෝනර් පළමු කඩුල්ල ලෙස ලකුණු 4කට දැවී ගියද ශිකර් ධවාන් සමග එක්වූ කේන් විලියම්සන් මුළු ලකුණු සංඛ්‍යාව 148 දක්වා ඉදිරිය‍ට ගෙන ගියේය.

ලකුණු 136කින් ගොඩනැගුණු සබඳතාව බිදී ගියේ ලකුණු 89ක් ලබාසිටි විලියම්සන් දැවී යෑමෙනි. පන්දු 51කට මුහුණදුන් ඔහු හතරේ පහර 6ක් හා හයේ පහර 5ක් සමගින් ලකුණු 89ක් රැස් කළේය. හතරේ පහර 7ක් හා හයේ පහරක් සමගින් පන්දු 50කින් ලකුණු 70ක් ලබාසිටි ශිකර් ධවාන් හා යුවරාජ් සිං (3) පිට පිට පන්දු 2කදී දවාගත් ක්‍රිස් මොරිස් හයිද්‍රාබාද් පිලේ කඩුලු 4ම දවා ගැනීමට ලබාදුන්නේ ලකුණු 26ක් පමණි. ඕවර 3ක් යැවූ මැතිව්ස් ලකුණු 41ක් ලබාදුන්නද කඩුලු දවා ගැනීමට නොහැකි විය.

හයිද්‍රාබාද් - 191/4 (ඕවර 20) කේන් විලියම්සන් 89, ශිකර් ධවාන් 70 (ක්‍රිස් මොරිස් 26/4)

දිල්ලි - 176/5 (ඕවර 20) ශ්‍රෙයාස් අයියර් නොදැවී 50, සංජු සැම්සන් 42, කරුන් නායර් 33, ඇන්ජලෝ මැතිව්ස් 31 (මොහොමඩ් සිරාජ් 39/2) 

නව අදහස දක්වන්න