මුදල් සොරකමේ සැකකරු නිල සුනඛ අයිසාගේ සහායෙන් අත්අඩංගුවට | දිනමිණ

මුදල් සොරකමේ සැකකරු නිල සුනඛ අයිසාගේ සහායෙන් අත්අඩංගුවට

දකුණු පළාත් සංචාරක එස්.දියගහගේ
සැකකරු අත්අඩංගුවට ගැනිමට තොරතුරු ලබා දුන් අයිසා පොලිස් නිල සුනඛයා සහ එම සුනඛයා භාර පොලිස් කොස්තාපල් කසුන් (72644) මහතා

හික්කඩුව සීනිගම ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් තුන් ලක්ෂ හය දහසක් වටිනා දේපොළ සොරකම් කරන ලද පුද්ගලයකු අම්බලන්ගොඩ පොලිස් කාර්යාලයේ පොලිස් නිල සුනඛ අංශයේ අයිසා නැමැති පොලිස් නිල සුනඛයාගේ ආධාරයෙන් අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි.

මෙම නිවසට ඇතුලුවු පුද්ගලයකු එහි තිබූ මුදල් රුපියල් එක් ලක්ෂ තිස් දහසක් සහ රුපියල් එක් ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා රන් අබරණ සොරකම් කර ගෙන ගොස් ඇති බවට නිවසේ අයිතිකරු පොලිසියට පැමිණිලිකර තිබුණි. ඒ අනුව මුලික පරික්ෂණ පැවැත්වීමේදී සොරාගේ බවට සැක කළ හැකි කැප් තොප්පියක් නිවසේ තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබීය. ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් නිල සුනඛ අංශයේ අයිසා නැමැති පොලිස් නිල සුනඛයා එම නිවසට කැඳවා පරික්ෂණ පැවැත්වීය. එහිදි පොලිසිය විසින් සොයා ගෙන තිබු කැප් තොප්පිය ඔස්සේ ඉව අල්ලමින් ගිය අයිසා එම නිවසේ සිට මීටර් 600 ක් පමණ දුරින් පිහිටි නිවසකට ඇතුලු විය. ඒ අනුව නිවසේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී සොරකමේ සියලු තොරතුරු සැකකරු විසින් අනාවරණය කර තිබුණි. සැකකරු හෙළිකළ තොරතුරු මත සොරකම් කරන ලද මුදල් සහ රන් අබරණද සොයා ගැනීමට පොලිසියට හැකිවි ඇත.

හික්කඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරුෂවිතාන මහතා ඇතුලු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නව අදහස දක්වන්න