ජාත්‍යන්තර වෙසක් දිනය ඉන්දීය අගමැතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී | දිනමිණ

ජාත්‍යන්තර වෙසක් දිනය ඉන්දීය අගමැතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී

උදුලා පීරිස්

මෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමුළුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 12,13, යන ‍දෙදින තුළ උදේ 9ට ‍අභිමානවත්ව කොළඹ

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හා සමාප්ති උත්සවය මැයි මස14 වන දින උදේ 9ට නේපාල ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පැවැත්වීමට රජය සියලු කටයුතු සුදානම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජේදාස රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා රටවල් 17ක රාජ්‍ය නායකයන් සහභාගීවෙන අතර මීට පෙර මේ උළෙල තායිලන්තයේ වසර 11ක්ද වියට්නාමයේ වසර දෙකක්ද පවත්වා තිබේ. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම තේමාව යටතේ ලෝකයේ බෞද්ධ මාධ්‍යක ඇති අවශ්‍යතාවය, බුදු දහමේ ප්‍රගමණය හා බෞද්ධ දර්ශනය ලෝකයට සමීප කිරීම සඳහා මාධ්‍යයේ දායකත්වය පිළිබඳව කතිකාවක් ඇති කිරීමටත් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ප්‍රබල බෞද්ධ මාධ්‍යයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීමත් කෙරෙහි ශාස්ත්‍රීය සාකච්ජාවට භාජනය කිරීමටත් මෙහිදී අරමුණ වේ.

එසේම එදින සවස විශේෂ දළදා ප්‍රදර්ශණයක්.සංස්කෘතික සංදර්ශනයක් සහ ප්‍රධාන අංග වලින් සමන්විත පෙරහරක්ද පැවැත්වේ.

මේ වන විට ත්‍රෙනිකායික මහා සංඝරත්නයේ අවවාද උපදෙස් මත ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මගින් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදු කෙරේ. 


නව අදහස දක්වන්න

Or log in with...