බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා | දිනමිණ

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා

උපාලි කරුණාරත්න
බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය සඳහා අනුග්‍රාහකයින් තම චෙක්පත් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ට ලබාදුන්න අයුරු. රංජිත් මද්දුම බණ්ඩාර සහ ෆයිසර් මුස්තාෆා ඇමැතිවරුන්ද සිටී. ඡායාරූපය- දුෂ්මන්ත මායාදුන්න

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීම සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන බව ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රකාශ කළහ.

ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් එසේ ප්‍රකාශ කළේ ඊයේ(20) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති හමුවකට සහභාගි වෙමිනි. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය සඳහා අනුග්‍රාහකත්වය සපයන රජයේ සහ පෞද්ගලික ආයතන මෙහිදී අදාළ චෙක්පත් කිරින්දේ අස්සජි හිමියන්ට මෙහිදී ලබාදෙන ලදී.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය රංජිත් මද්දුම බණ්ඩාර, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂක( ක්‍රම සම්පාදන)එස්. ඒ. සී.එන් ජයතිලක මහතා සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය කිරින්දේ අස්සජි හිමි-

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය ආරම්භ කළේ ඉතා කුඩාවට. වර්තමානයේ මෙම වෙසක් මංගල්‍ය නැරඹීම සඳහා විශාල ජනතාවක් සහභාගි වෙනවා. මෙය ඉතාමත්ම විචිත්‍රත්වයෙන් යුත් උත්සවයක් බවට වර්තමානයේ පත්වෙලා. ගංගාරාම විහාරස්ථානයත්, අග්‍රාමාත්‍ය කාර්යාලයත් ඒකාබද්ධවයි මෙය පවත්වන්නෙ.

අග්‍රාමත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අප මෙම වෙසක් මංගල්‍ය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ අවස්ථාව සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය, විහාරස්ථාන දායක සභාවේ සාමාජිකයින්ද සහභාගි වුණා. එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සමගාමිව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ වැදගත්කම පිළිබඳව මෙහිදි අග්‍රාමාත්‍යවරයා අපට පැහැදිලි කළා. විදේශීය නියෝජතයින් විශාල පිරිසක් මෙය දැකබලා ගැනීමට පැමිණෙන බව පෙන්වා දුන්නා. වෙනදාටත් වඩා බුද්ධ රශ්මි ජාතික වෙසක් මංලගල්‍ය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් තිබෙනවා.

බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය දහවන වරටයි මෙවර පවත්වන්නෙ.මැයි මාසෙ වෙසක් පුන් පොහෝ දිනෙන් ආරම්භ වී 14 දිනෙන් මෙය අවසන් වෙනවා. ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ, දෙස් විදෙස් ආරාධිතයින්ගේ සහභාගිත්වයෙනුයි මෙය ආරම්භ වන්නෙ. මෙම උත්සවය සඳහා සිංහල බෞද්ධ ජනතාවට අමතරව විශාල ලෙස අන්‍ය ජාතිකයින්ද උදව් උපකාර කරනවා, දායකත්වය ලබාදෙනවා. පාසැල් දරුවන්ගෙ නිර්මාණත් සමඟ නිර්මාණ දෙසියකට ආසන්න ප්‍රමාණයක් මෙම වෙසක් කලාපය තුළ දැක ගන්න පුලුවන්. මේවාට වටිනා ත්‍යාග ප්‍රධානය කරනවා. දුර බැහැර වලින් පැමිණි අහිංසක නිර්මාණ කරුවන්ගේ නිර්මාණ වලට වටිනාකමක් අප මෙහිදී ලබා දෙනවා. වෙනත් රටවල වෙසක් අසිරියද මෙහිදි දැක බලා ගත හැකියි. ජාතීන් අතර සමගිය මෙවැනි වැඩ සටහන් වලින් ඇතිවෙනවා.

නව අදහස දක්වන්න