ලාබ ලබන ආයතන විකුණා දැමීමට කිසිම අවශ්‍යතාවක් නෑ | දිනමිණ

ලාබ ලබන ආයතන විකුණා දැමීමට කිසිම අවශ්‍යතාවක් නෑ

චන්ද්‍රිකා පෙරේරා

ශ්‍රී ලංකාවේ ලාබ ලබන ආයතන ආරක්ෂා නොකළහොත් අනාගතයට බාරදීමට සිදුවන්නේ හිස් රටක් බවත් එවැනි ආයතන විකුණා දැමීමට හෝ පෞද්ගලිකකරණය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයා කන්ටේනර් ටර්මිනල්ස් සමාගමේ (ජේසීටී ඔයිල් බෑන්ක් සමාගමේ) වර්ධන වේගය 2015 වසරට සාපේක්ෂව 2016 දී සියයට 113කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ලාබ ලබන ආයතනක් ලෙස මිලියන 77ක ශුද්ධ ලාබයක් එම ආයතනය අත්කරගෙන ඇති බවත් සඳහන් කළේය.

තායිලන්තය පටු බිම් හරහා නිර්මාණය කෙරෙන ඇල මාර්ග ගංගාව සහිත “ක්‍රා“ ව්‍යාපෘතිය නිසා හම්බන්තොට වරාය වඩාත් වැදගත් වන අතර චීනය සමඟ ගිවිසුම්ගත වීමේදී රටට වාසිදායක තීරණ ගැනීම අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි.

නැව් සඳහා අවශ්‍ය ඉන්ධන ගබඩාකර අදාල සමාගම් වෙත බෙදාහැරීම සිදුකරන ජේසීටී ඔයිල් බෑන්ක් සමාගමේ සේවක පිරිස නව වසරේ පිළිගැනීම හා එම සමාගම ලබා ඇති ලාබ හා අලාබ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට ඊයේ (20) එම සමාගම් පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා එම අදහස් පළකළේය.

පිහිටුවීමට බලාපොරොත්තුවන නැව් තෙල් රසායනාගාරයේ ව්‍යාපෘති සැලසුම් වාර්තාව ජේසීටී ඔයිල් බෑන්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සිසිර පෙරේරා මහතා ඇමති අර්ජුන රණතුංග මහතා වෙත ලබා දෙන ලදී.

හමුවට එක්වූ ඇමතිවරයා තවදුටත් මෙසේද සඳහන් කළේය.‍

2015ට සාපේක්ෂව වරාය අධිකාරිය 2016දි ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 11ක ලාබයක් ලබා තිබෙනවා. එයින් රුපියල් බිලියන දෙකක්ම අනවශ්‍ය වියදම් කපා හැරීමෙන් ඉතිරිකර ගත් මුදල්.

ලාබ ලබන ආයතන ආරක්ෂාකර නොගත්තොත් අනාගතයට බාර දෙන්න වෙන්නෙ හිස් රටක්.

මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අමාත්‍යංශය සතු ආයතන ලාබ ලබන තත්ත්වටය ගෙන ඒමට හැකි වීම සතුටක්. රජයට ආදායම් ලබා දෙන අතරම වැඩි ලබා ලබන විට සේවක සුබ සාධනය වැඩකිරීමත් සිදුකළ හැකියි. ලාබ ලබන ආයතන නිසයි රජයක් ආරක්ෂා වෙන්නෙත්. වරාය අධිකාරියේ වෘත්තීය සමිති සිය ක්‍රියාකාරීත්වයෙන් ඔබ්බට ගොස් ආයතනය ආරක්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් ක්‍රියාකිරීමට පැසසිය යුතුයි.

රජයටත් පෞද්ගලිකකරණය කිරීමට සූදාම්වන අයටත් අප පෙන්වා දී අවසන් මේ ආයතන ලැබීමට හැකි ආයතන බව. මේ ආයතන ආරක්ෂා කිරීම තනිව කළ නොහැකියි. එය කළ හැක්කේ සේවකයින්ගේද සහාය ඇතිවයි. සේවක කැපවීම නිසයි මෙවැනි විශාල ලාබයක් ලබා ගැනීමට හැකි වුනේ. ඉදිරි වසර සඳහාත් මේ ලෙසම කැපවී කටයුතු කිරීමෙන් මේ ආයතන විකුණන්න අවශ්‍ය නැතිබව අපට කීමේ හැකියාව තිබෙනවා.

තායිලන්තය පටු බිම් හරහා නිර්මාණය කෙරෙන ඇල මාර්ග ගංගාව සහිත “ක්‍රා“ ව්‍යාපෘතිය නිසයි හම්බන්තොට වරාය වඩාත් වැදගත් වන්නෙ. මේ නිසා රටට වාසිදායක තීරණ ගැනීම මට ජනාධිපතිතුමා හා අගමැතිතුමා මූලිකත්වයෙන් කටයුතු කරනවා. චීන සමාගම සමඟ ගිවිසුම්ගත වීමේදී ශ්‍රී ලංකාවට වාසිවන ලෙසයි කටයුතු කරන්නෙ. වාසි ලබන ආයතන රැකගෙන පාඩු ලබන ආයතනයි විකිණීම හෝ පෞද්ගලිකකරණයට ලක්කළ යුතු වන්නේ.

මහින්ද රජපක්ෂ මහතා කළ පවු ගෙනා ගිවිසුම්වල ප්‍රතිපල අපි දැන් ගෙවන්නෙ.එදාට වඩා හොඳ රටට වාසි දායක ගිවිසුමකට අපි යන්නෙ. එදා මහින්ද මහතා කරපු වැරදි ගැන කිසිවෙක් කතා නොකර නිහඬව සිටියා.

මගේ තාත්තා පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් වුවත් මහින්ද මහතාත ඔහුට සැලකුවේ නැහැ. මගේ සහෝදර ප්‍රසන්නත් මමත් කරන දේශපාලනය වෙනස්. මම රටට හිතකර හොඳ දේ කරන්නෙ. කලින් මමත් මේක කරන්න බැහැ කියා අයින් වුනා. වරාය ඇමතිකමෙනුත් එසේ අයින් වුනා නම් මේ වන විටත් ගැටලු ඇති වෙලා. ඒ නිසයි මා නිහඬව නිවැරදි දේ කරන්න තීරණය කළේ.

මේ ඇමති මණ්ඩලය වරදක් කළොත් ජනාධිපති දඬුවම් දෙනවා. නමුත් එදා සේ වුනේ නැහැ. එදා හොරු අද අපේ සමහර ඇමතිවරු අල්ලාගෙන ඉන්නවා. කෙසේ වුවත් කියන විදියට ආණ්ඩු පෙරළන්න හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා

ඉකුත් වසර දෙකේදී වරාය අධිකාරිය හා ඒ සමඟ බැඳුණු ආයතන ලැබූ ජයග්‍රහණවලට මූලික වූ කරුණු අතර කළමනාකරීත්වය ක්‍රමයවත් කිරීම, ක්‍රමවත් ලෙස අය වැය සැකසීම, වියදම් හඳුනගෙන අවශ්‍යතා මත කටයුතු කිරීම, ආදායම් ලැබෙන මාර්ග හඳුනා ගැනීම හා ඒ සඳහා සුදුසු නව ක්‍රම එක්කර ගැනීම, අවශ්‍ය භාණ්ඩ ලබා ගනිමින් රජයේ ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියාත්මක වීම ආදී සැළසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කිරීමෙන් අප ජයග්‍රහණ ලැබූ ලෙස වෙනත් ඕනෑම ආයතනයක් දියුණු කළ හැකියි. මේ දියුණුවට අනිවාර්යයෙන්ම සේවක සහාය වැදගත්ම සාධයක්. මේ අයුරින්ම ඉදිරියටත් මේ ආයතනයේ දියුණුව සඳහා සේවක සහායෝගය අත්‍යවශ්‍යයි.

ආයතන පාලනයේ දී අප පොරොන්දු වූ විනිවිද භාවය ඒ අයුරින්ම පෙන්වා තිබෙනවා. ආයතන සේවකයිට සිය පවුලේ, දරුවන් පෝෂණය, අධ්‍යාපනය මේ සියලු දේ කළ හැකි වන්නේ ආයතනය නඟාසිටුවා ලාබ ලැබීමෙන් බව තේරුම් ගත යුතුයි. මේ අනුව මෙහි සේවකයන්ට සිය කාර්යයන් ගැන සතුටුවිය හැකියි.

ඉඩ ලැබෙන අවස්ථාවල රටේ අනෙකුත් වැසියන්ට වන ව්‍යසන අවස්ථාවල උදව් කිරීමටද අප ක්‍රියාකළ යුතුයි. මේ අනුව ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ද ඉදිරියේ දී සකසනවා.

තායිලන්තය පටු බිම් හරහා නිර්මාණය කෙරෙන ඇල මාර්ග ගංගාව සහිත “ක්‍රා“ ව්‍යාපෘතිය නිසා හම්බන්තොට වරාය වඩාත් වැදගත් වන අතර ඒ හරහා ගමන්කරන නැව් හම්බන්තොට වරාය හරහායි ගමන් මේ අනුව රටට වාසිදායක තීරණ ගැනීම අත්‍යවශය

ජයා කන්ටේනර් ටර්මිනල්ස් සමාගමේ (ජේසීටී ඔයිල් බෑන්ක් ලිමිටඩ් හි) කළමනාකාර අධ්‍යක්ෂ සිසිර පෙරේරා මහතා

ජයා ටර්මිනර් ආයතනයේ ආදායම් තත්ත්වය මේ වසරේ වැඩිවීම නිසා සේවක සුබ සාධන වැඩපිළිවෙලක වැඩිදියුණු කිරීමට අපට හැකිවුනා.

සේවක වැටුප තවත් රුපියල් 3000කින් වැඩි කිරීමට හැකිවූ අතර වෛද්‍ය ආධාර වශයෙන් එක් සේවකයෙක් සඳහා ලබා දුන් රුපියල් 23700ක මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමටත් පවුලේ සිව් දෙනෙකු සඳහා මේ මුදල ගෙවීමටත් ඒ අනුව එක් සේවක පවුලක් සඳහා රුපියල් ලක්ෂ හතරක වෛද්‍ය ආධාර ලබා දීමේ වැඩපිළිවෙලට යාමට හැකි වුනා. රජයේ රෝහලකින් නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නේ නම් දිනකට රුපියල් දහස බැගින් ගෙවීමක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ගිය වසරේ ලබාදුන් රුපියල් 29000ක් වූ ප්‍රසාද දීමනාව මේ වසරේ 84675ක් දක්වා වැඩි කර ලබා දීමට ද හැකිව තිබෙනවා.

අනවශ්‍ය වියදම් කපා හැරීමෙන් ද මේ ආයතනයට මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී තිබෙනවා.

මේ අනුව 2015 සමගාමීව 2016 දි සියයට 113ක වර්ධන වේගයක් පෙන්වීමට අපට ආයතනයක් ලෙස හැකියාව ලැබුණා. විෂය භාර ඇමති අර්ජුන රණතුංග මහතා මෙන්ම වරාය සභාපති ධම්මික රණතුංග මහතා ද මඟපෙන්වීම නිසයි මෙවැනි සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට අපට හැකි වුනේ. සේවක විවේකාගාර ආදී සුබසාධන කටයුතු ද ඉකුත් වසරේ සිදු කෙරුණා.

නාවික ඉන්ධන රසායනාගාරය ස්ථාපිත කිරීමේ ව්‍යපෘති සැළසුමක් ද අප මේවන විට සකසා අවසන්. නැව් සඳහා අවශ්‍ය ගේ ගබඩාකිරීම හා ඒවා නැව්වලට සැපයීම සඳහා මෙට්‍රික් ටොන් 10000ක් ගබඩාකළ හැකි ටැංකියක් අවශ්‍යයි. ඒ සඳහා දැනට මෙට්‍රික් ටොන් 3200ක් ගබඩාකළ හැකි ටැංකියක් ස්ථාපිත කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

ඡායාරූපය - විමල් කරුණාතිලක 

 

නව අදහස දක්වන්න