එජනිස මැයි රැලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් | දිනමිණ

එජනිස මැයි රැලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

ස්වර්ණා විජේකෝන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය අති විශාල ජන සහභාගීත්වයකින් යුතුව මහනුවරදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධිවර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

දළඳා වහන්සේ වැඩවසන මහනුවර නගරයේදී පැවැත්වෙන මැයි රැලියේදී දළඳා වහන්සේට හා මහනුවර පුරවරයට කිසිඳු අගෞරවයක් නොවන අයුරින් මත්පැනින් හා පොලිතින් හා ප්ලාස්ටික්වලින් තොරව සැමරීමට තීරණය කර ඇති බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම මැයි දින සැමරුම අවසන් වීමෙන් පසුව අපවිත්‍ර වන නගරය යළි පිරිසිදු කිරීම සිදුකරන බවත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව පවත්වන තුන්වන මැයි රැලිය පසුගිය දෙවසර තුළ පැවැති අනෙකුත් මැයි රැළි දෙකටම වඩා අති විශාල ජන සහභාගීත්වයකින් යුතුව පැවැත්වෙන බවත් ඇමැතිවරයා පැවසීය.

මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරන දැවැන්තම මැයි දින සැමරුම මෙවර පවත්වන බවයි. පෙර වසර දෙකටම වඩා වැඩි ජන සහභාගීත්වයක් මෙවර මැයි දින රැලියට සහභාගී වීමට නියමිත අතර මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා විශාල ජන පිරිසක් ගම් මට්ටමින් ඒකරාශි වෙමින් සිටින බවයි. කෙසේ වුවද වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව පැවැති ප්‍රථම මැයි දින රැලියට ජන සහභාගීත්වයේ අඩුවක් දක්නට ලැබුණද එය මේ වනවිට වර්ධනය වී ඇති බවයි. මෙවර මැයි දිනය සඳහා ආසන මට්ටමින් පන්සියයක පිරිසක් ගෙන්වන ලෙස ආසන සංවිධායකවරුන්ට දන්වා ඇති බවත් ඊට වඩා වැඩි පිරිසක් සෑම ආසනයක්ම නියෝජනය කරමින් පැමිණිමට අපේක්ෂාවෙන් සිටින බවත් ඇමැතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා:

අපගේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව පවත්වන තෙවන මැයි දිනයයි මෙවර පැවැත්වෙන්නෙ. පසුගිය වසරවලදී පැවැති මැයි දින සැමරුමට වඩා මෙවර අති ඉහළින් පැවැත්වීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මෙවර මැයි දිනය මත්පැනින් හා පොලිතින් හා ප්ලාස්ටික්වලින් තොරව පවත්වන්නටත් තීරණය කර තිබෙනවා. මැයි දිනය කියන්නෙ වැඩකරන ජනතාවගේ දිනයයි. නමුත් මැයි දිනය දේශපාලන පක්ෂවල ශක්තිය පෙන්වන දිනයක් බවට පත්වෙලා. මෙම තත්ත්වයෙන් අපි මිදිය යුතුයි. ඒ වගේම මෙවර මැයි දින සැමරුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂ සහභාගී වීමට නියමිතයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂද තම තමන්ගේ පක්ෂ යටතේ මැයි දින සැමරුම් පවත්වනවා. ජී එල් පීරිස් මහතාගේ පක්ෂයත් වෙනම මැයි දින සැමරුමක් පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වෙනත් පක්ෂවල මැයි දින සැමරුම් සඳහා සහභාගී වුණොත් ඒ අය වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගනීයි. ඒ සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැහැ. අපි පක්ෂයක් ලෙස ගනු ලබන තීන්දූ තීරණ ගන්නෙ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා, බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු ඇමැති අතාවුද සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් එක්වූහ. 

නව අදහස දක්වන්න