ගොවීන් දෙදහසක් මනම්පිටිය මහ පාරේ | දිනමිණ

ගොවීන් දෙදහසක් මනම්පිටිය මහ පාරේ

මහවැලි බී කලාපයේ කුඹුරු  සදහා 75% ක් ජලය ලබාදෙන ලෙස මහවැලි අධිකාරියට බලකරමින් ගොවීන් දෙදහසක්පමණ මනම්පිටිය නගරයේ අද  උත්ඝෝෂණයක නිරත වූහ.
 
මනම්පිටිය මඩකලපුව හන්දියේ සිට  මනම්පිටිය දුම්රිය ස්ථානය දක්වා විරෝධතා සදහන් පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන්පාඨ කියමින් පැමිණි  ගොවීහු දුම්රියපොළ ඉදිරිපිටදී මඩකලපුව -පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර කළහ.
 
මෙවර යල් කන්නයට බී කලාපයේ  කුඹුරු ඉඩම්වලින් 75% වගා කිරීමට ජලය ලබා දෙන ලෙස ඔවුහු බලකර සිටිති.ඒ සදහා මාදුරුඔය ජලාශයේ අවශ්‍ය ප්‍රමාණයට ජලය තිබෙන බව මෙම උත්ඝෝෂණයට එකව සිටින ගොවි නායකයෝ පවසති.මේපිළිබදව අදහස් දැක්වූ දිඹුලාගල ප්‍රා දේශීය සභවේ හිටපු මන්ත්‍රී කීර්ති බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
 
"මාදුරු ඔය ජලාශයේ ජල මීටරය 91 ට සටහන්වෙලා තිබෙනවා.98 ට ආවම වාන් දමනවා.මහවැලි බී කලාපයේ හෙක්ටයාර් 12000 ටම වතුර දෙන්න පුවවන්.නමුත් මේ අය කියන්නේ 50% දෙනවා කියලා.අපිට සියයට 75 ක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මීටරය 47 ට තියෙද්දීත් වතුර දීලා තිබෙනවා. ඒ වගේම 55 සහ 85 ට අඩුව තියෙද්දිත් වතුර දුන්නා.පහුගිය මාස් කන්න වතුර නැහැ.මේ යල් කන්නෙත් වතුර නැහැ.91 මීටරේ තියෙද්දි කුඹුරු සයල්ලටම වතුර දෙන්න පුළුවන්. වී වගාව විනාශ කරන්න මේ කරන්නේ කුමන්ත්‍රණයක්. "
 
පුබුදුගම සමගි ගොවි සංවිධානයේ සභාපති එච්.එම්.අයි.ජී.පුංචිබණ්ඩා මහතා මෙසේ පැවසීය.
 
"අපට වතුර දෙන්න බැහැ කිව්වට මහවැලි නිළධාරීන් මහ පරිමාන ව්‍යාපාරිකයින්ගේ වගා බිම් වලට වතුර දෙනවා.පොල් වලට ,මාළු ටැංකිවලට වතුර දෙනවා.අපේ කුඹුරේ 75 % ක් වගා කරන්න වතුර දෙන්න බැහැ කියනවා.
බදනාගල 101 ඩී.01 බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති ඒ.ඒ.ජේ අධිකාරී මහතා මෙසේ පැවසීය.මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ.පහුගිය කන්නේ කුඹුරකින් ලැබුනේ වී ගෝනි දහයක් පහළොවක් පමණයි.දැන් අපි ණය ගෙවන්නේ කොහොමද අඩුම තරමින් අපේ ගොවිජනතාවට සහනාධාරයක්වත් අවශ්‍යයි.දැන් පොළොන්නරුවේ ගොවියාට දැන් සහනාධාරයක්වත් අවශ්‍යි.මේ ආණ්ඩුව පෙළොන්නරුවේ මිනිස්සු ගැන හිතන්නේ නැහැ."
 
පැය පහකට ආසන්න කාලයක් මාර්ගයඅවහිර කර තිබීම නිසා දිගු වාහන පෝලිමක් දක්නට ලැබුණි.
 
(දිඹුලාගල සමූහ)

නව අදහස දක්වන්න