යුරෝපය තවදුරටත් නිදහස් වෙළඳපොලක් නොවේ | දිනමිණ

යුරෝපය තවදුරටත් නිදහස් වෙළඳපොලක් නොවේ

යුරෝපයේ වෙළඳපොල අපට තවදුරටත් නිදහස් වෙළඳපොලක් නොවන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘‘මේ 2017 වසර යුරෝපයට තීරණාත්මක වසරක්. මොකද ප‍්‍රධාන රටවල් ගණනාවක, ප‍්‍රධාන මැතිවරණ මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන නිසා. ලබන 23 වන ඉරිදා ප‍්‍රංශයේ ජනාධිපතිවරණයේ පළමු වටය පැවැත්වෙනවා. දැනටමත් ප‍්‍රංශයේ ජාතිකවාදී ප‍්‍රවණාතාවයේ නායිකාව වන මරිල් උපේන් හා මධ්‍යස්ථ දක්ෂිණාංශිකයෙකු වන මාකෝන් එම තරඟයෙන් ඉදිරියෙන් සිටින බව වාර්තා වෙනවා. මෙහි ඇති ප‍්‍රධානතම කාරණය තමයි ප‍්‍රංශයේ සම්ප‍්‍රදායික පක්ෂ දෙක වූ රිපබ්ලිකන් පක්ෂය සහ සමාජවාදී පක්ෂයට මෙවර ජනාධිපතිවරණයේදී අවසාන තරඟයට තමන්ගේ අපේක්‍ෂකයින් ගෙනයාමට නොහැකිවීම. මේ සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ දෙකේ ඇදවැටීම නව ලෝක තත්වයක් නිර්මාණය කරන බවයි විචාරකයින් පවසන්නේ.

ඒ වගේම එංගලන්තයේ අගමැති තෙරේසාමේ මැතිණිය ජුනි 08  වෙනිදා මහා මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළා. එමෙන්ම ඇයගේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් 2/3 බලයක් බලාපොරොත්තුවෙන් ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කළත් ඇයට සාතිශය බහුතරයගේ සහයෝගය, විශේෂයෙන්ම ලේබර් පක්ෂයේ සහයෝගයත් ලැබුණා. ඒ අනුව ජුනි 08 වෙනිදා පැවැත්වෙන මහාමැතිවරණයේදී කොන්සවේටිව් පක්ෂයට, තෙරේසාමේ අගමැතිණියට නව ජයක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ වගේම සම්ප‍්‍රදායික  ලේබර් පක්ෂයට තමන්ගේ බලපදනම රැක ගැනීම සඳහා විශේෂ සටනක් කිරීමට සිදුවනු ඇති බවටත් විශේෂයෙන්ම අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී එක්සත් රාජධානියේ ස්වාධින පක්ෂය එහෙම නැත්නම් යූ.කේ.අයි.පී පක්ෂයට සැලකිය යුතු පිරිසක් ඡන්දය ලබාදෙනු  ඇති බවටත් ප‍්‍රකාශ වී තිබෙනවා.

එමෙන්ම ජර්මානු ජනාධිපතිවරයා, එහෙම නැත්නම් චාන්සලර්වරයා තෝරා ගැනීමේ තරඟයත් මේ වසරේ සැප්තැම්බර් මාසයට යොමු වී තිබෙනවා. එහිදී නම් තියුණු තරඟයක් ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ඇතිවෙමින් තිබෙන බව පෙනී යනවා. පසුගිය කාලය තුළ සිදු වූ දෙයක් නම් ජර්මනියේ අන්ත දක්ෂිණාංශික AFD පක්ෂය එහෙම නැත්නම්  ඕල්ටර් නේටිව් ෆෝ ඩොයිස්ලන්ඞ් පක්ෂය ක‍්‍රමයෙන් එය තමන්ගේ ජනපදනම දියකර හරිමින් එය ඇන්ජලා මර්කල්ගේ කි‍්‍රස්තියානි ඩිමොක්‍රොටිස් පක්ෂය දෙසට ඇදෙන ස්වරූපයක් එහි පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඇන්ජලා මර්කල් විදේශික අනාථයන් දශලක්ෂයකට සිය රට විවෘත කිරීමත් සමග ඇතිවුණු මේ මුස්ලිම් විරෝධි ජාතිකවාදී රළවේගය ක‍්‍රමයෙන් ඇය විසින් ග‍්‍රහණය කර ගනිමින් තිබෙන බව ප‍්‍රකාශ වෙනවා. කලක් දේශපාලනයේ පසු පසට විසිවී සිටි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය නව නායකයෙකු වන ෂූල්ස් යටතේ ප‍්‍රතිසංවිධානය වී ඇන්ජලා මර්කල්ට තියුණු තරඟයක් ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. එමෙන්ම ජර්මනියෙත් හරිත පක්ෂය ඒ වගේම වාමාංශික පක්ෂවල සැලකිය යුතු නැගිටීමක් සිදුවුණු බවයි පෙනී යන්නේ. යුරෝපයෙත්, ඉතාලියේත් මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම නෙදර්ලන්තය, ඒ වගේම  ඕස්ටි‍්‍රයාව වැනි රටවල පැවැත්වූ මැතිවරණවලදී පෙනීගිය කාරණය නම් ඉතාමත් දක්ෂිණාංශික අන්ත ජාතිකවාදී ප‍්‍රවණතාවයන් හා සමගාමීව ඊට වඩා අඩුවෙන් නමුත් අන්ත වාමාංශික බලවේගවලත් නැගී සිටීමක් පෙන්නුම් කරන බවයි. විශේෂයෙන්ම ඩොනල් ට‍්‍රම්ප්ට එරෙහිව බානි සෑන්ඩර්ස්ගේ වාමාංශික ව්‍යාපාරය නැගී සිටි ආකාරයටම යුරෝපයේ මේ ප‍්‍රවණතාවය මතුවෙමින් තිබෙන බව පෙනී යනවා.

ඒ වගේම නව ජාතිකවාදී පාලනයක් සඳහා තුර්කියේ ජනාධිපතිවරයා ඉල්ලා සිටි බලය ඔහුට ලැබුණා. තුර්කිය කාලයක් මුස්ලිම්වරුන්ගේ ප‍්‍රධාන අලිපාතය, ඒ ඔටෝමාන් අධිරාජ්‍යය පලවන ලෝක යුද්ධයේදී විසිරි ගියා. ඒ අවස්ථාවේදී ඔටෝමාන් අලිපාතය පක්ෂපාතී උනේ බි‍්‍රතාන්‍යයට එරෙහිව සටන් වැදුණු ජර්මානු පක්ෂයටයි. ඉන්පසු එහි බලයට පැමිණි කැමල් අටාටුක් තුර්කිය ලෞකික රාජ්‍යයක් බවට පත් කර ඉස්ලාමයට තිබූ ස්ථානය අහිමි කළා. නමුත් නව තුර්කි අග‍්‍රාමාත්‍යවරයා ඔහු ඊළඟට එහි ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිතයි එම ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පසු ඩොගෝන් මහතා. ඔහු තුර්කිය නැවත වතාවක් ඒ ඉස්ලාමීය මූලධර්ම මත ගොඩනැගුණු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්ථනය කිරීමට කටයුතු යොදන බව ප‍්‍රකාශ කොට තිබෙනවා. එසේ වුවහොත් තුර්කිය ඉස්ලාමීය රාජ්‍යයන් හි ප‍්‍රධාන රාජ්‍ය බවට නැවත නැගී ඒම වැලැක්විය නොහැකිවනවා විතරක් නොවෙයි තුර්කිය හා යුරෝපය අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වැලැක්විය නොහැකියි. තුර්කියේ සහයකයා ලෙස ඔවුන්ගේ ඓතිහාසික ඉස්ලාවෝ වංශිකයන් වන රුසියානු රාජ්‍ය ඉදිරිපත් වී තිබීමත් මෙහිදී විශේෂ කරුණක් වනවා.

කෙසේ වෙතත් මේ 2017 වසර  ලෝක ඉතිහාසය වෙනස් කරන නව වසරක් බවට යුරෝපා ඉතිහාසයේ තත්වයන් මාරු කරනා වූ වසරක් බවට පරිවර්ථනය කිරීම නියමිතයි. ප‍්‍රංශ ජනාධිපතිවරණයෙන් මැරිල් උපේන් ජයගතහොත් ප‍්‍රංශය යුරෝපා සංසදයෙන් වෙන්වීමට නියමිත බවත් ප‍්‍රකාශ වෙනවා. නමුත් ඇයට ජයගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි පැවසෙන්නේ. කෙසෙත් වෙතත් පළමු වටයේ ජයග‍්‍රහණය ඇයට හෝ දක්ෂිණාංශික මධ්‍යස්ථ මතධාරී යුරෝපා සංගමයට පක්ෂ මාකෝන්ට ලැබෙනු ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මේ සියළු තත්වයන්ගෙන් අප උගතයුතු පාඩම නම් යුරෝපය තව දුරටත් අපට නිදහස් වෙළඳපොලක් නොවන බවයි. අපට ජී.එස්.පී. ප්ලස් සහනය ලැබුණත් යුරෝපය තුළ නැග එන ජාතිකවාදී හා වාමාංශිකවාදී මේ රළවේගයන් දෙක නිසා ඉදිරිකාලයේදී අපට යුරෝපයෙන් පිටත වෙළඳපොළවල් සොයාගැනීමට බලකෙරෙනු ඇති. එමෙන්ම යුරෝපා සංගමය, සංගමයක් ලෙස දුර්වල වන්නට, වන්නට ඔවුන්ගේ දේශපාලන බලහීනත්වය ඇතිවීමත් සිදුවනවා පමණක් නෙමෙයි එක්සත් ජනපදයේ හා රුසියාවේ  බලඅරගලයට එය කිසියම් දුරකට හසුව යාමටත් ඉඩ පවතිනවා.

මේ තත්වය අනාගතයේ අපට බලපාන බව පැහැදිලි නිසා අපගේ දේශපාලන ප‍්‍රතිපත්ති ඒවාට අනුකූලව වෙනස්කරගත යුතු වෙනවා.

නව අදහස දක්වන්න