දේශපාලකයන් නිසා කසළ ප්‍රශ්නය විසඳන්න බෑ

දුමින්ද සම්පත්
ආපදා කළමනාකරණ අමාත්‍ය - අනුර ප්‍රියදර්ශන යාපා

* හූ කියන අය ළඟ විසඳුම් ඇත්තෙ නැහැ
* වැඩ නැති සංවිධායකයෝ ඉවත් කිරීම නිවැරැදියි
* ලංකාවේ ජනමාධ්‍ය අවිශ්වාසය වපුරනවා

මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සිදුවන්නෙ කොහොමද?

අවශ්‍ය සියලුම සහන ලබාදෙන්න අදාළ අංශවලට උපදෙස් දීලා තියෙන්නෙ. ඊට කිසිදු මුදල්මය බාධාවක් නැහැ. දැනට ටෙරන්ස් විද්‍යාලයේ, කඳවුරට ආහාරපාන පමණක් නොවෙයි වෙනත් අවශ්‍ය සියලු පහසුකම් දෙනවා. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියපු තැන්වලින් තව පිරිසක් අයින් කරන්න වෙනවා නම්, ඒ අයට මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා දෙකක පහසුකම් සලසනවා. ඕනෑම කෙනෙකුට අවශ්‍ය සියලු පහසුකම් රජය සපයල තියෙනවා.

නිවාස හානිවුණු ජනතාවට නැවත නිවාස ලබාදීම කොයි විදියටද වෙන්නේ?

දැනට නාගරික සංවර්ධන අධිකාරිය සතුව තියෙන නිවාසවලින් ප්‍රශ්නය විසඳන්න පාඨලී ඇමැතිතුමා එකඟ වුණා. ඒ ගෙවල්වල මිල ගෙවන්න මහ නගර සභාව රුපියල් මිලියන 300ක් දෙන්නම් කිව්වා. ඉතුරු කොටස රජයෙන් දරනවා. නිවාස ගැන සංගණනයක් කරන්න දිසාපතිවරයාට බාරදුන්නා. පේන්න තියෙන නිවාසවල තක්සේරු වාර්තා ගැනීමත් දිසාපති හරහා කෙරෙනවා. අවදානම් නිවාස හඳුනා ගන්න ජනතාව මුලින් ඉඩ දුන්නේ නැහැ. ඔවුන් කලබල කළා. හමුදාවත් පොලිසියත් සහයෙන් ඒ කටයුත්ත කළා. වැස්සට පෙර අවදානම් සහිත පිරිස ඉවත් කළ යුතුයි.

සමහර නිවාසවල පවුල් දෙකක් විතර ජීවත්වුණා. නිවාස ලබාදීමේදී ඒ ගැන සැලකිලිමත් වෙනවද?

ඒ ගැන අපි තාම සාකච්ඡා කරලා නැහැ. එහෙම හදාගත්තොත් ඕක නොනවතින අරගලයක් වෙනවා. ඕක නාගරික පන්තියේ හැටියක්. තක්සේරු නිලධාරින් හා දිසාපති නිර්දේශය මත කටයුතු කරන්නෙ. නිවසක ගෘහමූලිකයෙක් ඉන්නවනෙ.

තවදුරටත් ආපදාවට ලක්විය හැකි ප්‍රදේශවල ඉන්න ජනතාවටත් නිවාස ලැබෙනවද?

මම එහෙම කිව්වේ නැහැ. ඒ අයගේ නිවාස තියෙනවනේ. නිවාස කැඩුණු අයට පමණයි මේ නිවාස දෙන්නේ.

එතකොට මේ ආපදාවට ලක්විය හැකි අයට මොකද කරන්නේ?

ඒ අයව අපි කඳවුරේ තියෙනවා. ඒ අතරතුර ආපදා ප්‍රදේශය සම්පූර්ණයෙන් පුනරුත්ථාපනය කරන්න කටයුතු කරනවා.

පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ කොහොමද වෙන්නේ?

ඒක මම දන්නෙ නැහැ. ඒක කරන්නෙ දේශපාලකයෝ නොවෙයි විශේෂඥවරු.

ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ ලබාදෙන රක්ෂණ වන්දි කොහොමද ලබාදෙන්නේ?

ඒ මුදල් ලබාදීමේ ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. ඒකත් රජයේ ක්‍රමවේදයට වෙනවා.

2016 මැයි මාසෙ ගංවතුරින් විපතට පත්වූවන්ට ලැබිය යුතු මුදල් සහන ලැබීමත් ප්‍රමාදයි. එවැනි පසුබිමක මීතොටමුල්ල ජනතාවට කඩිනමින් සහන දෙන බවට සහතිකයක් දෙන්න පුළුවන්ද?

ඒ වෙලාවෙ රක්ෂණ ක්‍රමය පටන් ගත්තා විතරයි. එතන ගණනය කිරීමේ තාක්ෂණික නිලධාරි හිඟයක් ඇතිවුණා. නමුත් ඒ ප්‍රශ්නයට අපි විසඳුම් දුන්නා. අපි ගැන අවිශ්වාසයක් තියාගෙන මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ප්‍රමාදය අවම කරන්න අපි කටයුතු කරනවා. තාක්ෂණික නිලධාරින් තක්සේරු නිලධාරින් දැනටමත් මීතොටමුල්ලට ගිහින් ඉන්නෙ. ජනාධිපතිතුමාට වාර්තාව දුන්නට පස්සෙ එතුමා අවශ්‍ය නියෝගය දෙයි. මේ ලංකාවෙ තියෙන්නෙ ජනමාධ්‍ය විසින් ඇතිකරන අවිශ්වාසය.

අපි ගෙනාවෙ ජනතාවගේ අදහස?

ඔබතුමන්ලා ජනමාධ්‍යවල ලියනවද හොඳ දේවල්. ඔබතුමන්ලා ලියන්නෙ මොකක් හරි නරක දෙයක්. අපි මීරියබැද්ද ගැන අවුරුදු දෙකක් කතා කළා. මීරියබැද්දෙ අයට අපි හොඳම ගෙවල් දුන්නා.

ඔබතුමා එහෙම කිව්වත් තවමත් මීරියබැද්දෙ ප්‍රශ්න‍‍....?

නැහැ..... එතන දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්න විසඳලා ඉවරයි. අපි විසඳපුව ජනමාධ්‍ය වාර්තා කෙරුවේ නැහැනෙ. සාලාවෙදි අපි රුපියල් මිලියන 1300 කට වැඩිය වන්දි දුන්නා. තව කොටසක් දෙන්න තියෙනවා. එහෙම වුණේ ඒ අයගෙ ගණනය කිරීම්වල ඇතිවෙච්ච ප්‍රශ්න නිසා. එතෙන්දිත් මාධ්‍ය අපි කරපුව කිව්වේ නැහැ. ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා හිටිනවා ස්වභාවික ආපදා වාර්තාකරණයේදී සමබර වෙන්න කියලා.

දේශපාලකයින්ට කියන්න බැරි දේ ජනතාව මාධ්‍යයට කියනවා. ඒකයි ඇත්ත?

ආපදා අවස්ථාවලදී රට කලම්බවන හෙඩ්ලයින් දාන එක නෙවෙයි කරන්න ඕන. සනසන වැඩක් කළ යුතුයි. රජය මුදල් වියදම් කරනවා. ඇමැතිවරයෙක් කිව්වට පස්සෙ රජය මෙතරම් මුදලක් වියදම් කරනවා කියලා ඒක තමයි ඇත්ත.

මේ සිද්ධියට මුහුණදෙන්න නිසි ක්‍රමවේදයක් රජයට තිබුණෙ නැහැ කියන චෝදනාව ජනතාව එල්ල කරනවා?

රුපියල් 15000 බැගින් මාස 5කට දෙන්න සියලුම ස්ථාන ගණනය කිරීම කොළඹ නගර සභාවෙන් කළා. දැනටමත් සමහර අය මේ මුදල් ලබාගෙන තියෙනවා. සමහර අය එම මුදල ප්‍රතික්ෂේප කර තියෙනවා. සමහරු මේ වනවිටත් රුපියල් 90000ක් අරගෙන තියෙනවා.

මීතොටමුල්ලෙ ජනතාවගෙන් දේශපාලනඥයින්ට විරෝධතා එල්ල වුණා. එහෙම වෙන්නෙ ඇයි?

කණ්ඩායම් දෙකක් ඕක කරන්නෙ. ඔය කණ්ඩායම් දෙක අපි දන්නවා. සාමාන්‍ය මිනිස්සු හූ කිව්වෙ නැහැ. දේශපාලනඥයින්ගෙන් වැරැද්දක් වුණා කියලා අපි හිතමුකො. මේකට විසඳුම් හොයන්න වෙන්නෙත් ඒ අයටමනෙ. එතෙන්ට යන අයට හූ කියලා එළවලා ප්‍රශ්න විසඳන්න බැහැනෙ. එහෙම නම් ඔය හූ කියන අයට පුළුවන් වෙන්න ඕන මේකට විසඳුම් හොයන්න. ඒගොල්ලො හූ කියලා ගේ ඇතුළට යයි. ඕක මිනිස්සු කරපු වැඩක් නෙවෙයි. සංවිධානාත්මකව වෙච්ච දෙයක්.

ජනතාව කියන්නෙ මේ කුණු කන්දෙ ඛේදවාචකයට යහපාලන ආණ්ඩුව වගකිව යුතුයි කියලා?

යහපාලන ආණ්ඩුව නෙවෙයි මේ රටේ තිබුණු හැම ආණ්ඩුවක්ම කුණු ප්‍රශ්නෙට වගකියන්න ඕන. මේ ප්‍රශ්නෙ දශක ගණනාවක ප්‍රශ්නයක්. මේවාට උත්තර හොයන්න හැම ආණ්ඩුවක්ම උත්සාහ කළා.

ඔබ පරිසර ඇමැතිවරයා ලෙසත් හිටිය මේ කුණු ප්‍රශ්නයට ඔබ හි‍තන විසඳුම මොකක්ද?

කුණු බැහැර කිරීමට ලෝකයම පිළිගත් ක්‍රම කිහිපයයි තියෙන්නේ. කුණු කොම්පෝස්ට් කිරීම, කසල දහනය, කුණු කන්දක් කිරීම, ඒක ඉතාම ප්‍රාථමික ක්‍රියාවක්. තව ක්‍රමයක් තියෙනවා. සනීපාරක්ෂිත කසල කළමනාකරණය, වළක් කපලා ආස්තරණ කරලා, ආස්තරණ උඩ කුණු දාලා ඊට උඩින් පස් තට්ටුවක් දාලා ඒකෙන් ගලන නරක ජලය අරගෙන ගිහින් පිරිසුදු කරලා මුදාහැරීම. මේක තමයි සනීපාරක්ෂක කසල රඳවන කියන්නේ.

මේ කසල රඳවනයට විරෝධතා එල්ල වුණා?

කසල රදවනයක් ඇහැකින්වත් දැකපු නැති දේශපාලනඥයෝ මේකට විරුද්ධ වුණා. පාඨලී චම්පික ඇමැතිතුමා ආරම්භ කරපු මේ වැඩපිළිවෙළ මම පරිසර ඇමැති හැටියට දොම්පෙ පටන් ගත්තා. කසල ටොන් 90ක් අවුරුදු 20 කදී මේකෙ දාන්න පුළුවන්. ඒකටත් දැන් දොම්පෙ කුණු විතරයි කියලා කෑගහනවා. දොම්පෙ කුණු, ඕකෙ අවුරුදු 200ක් විතර දාන්න පුළුවන්. කසළ රඳවනයක් හදපුවම ඒක අයිති රටට. තව කසල රඳවන 5ක් ‍ෙකාරියානු ආධාර යටතේ හදන්න ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ.

ඒ තරම් හොඳ වැඩපිළිවෙළක්නම් මෙච්චර ප්‍රමාද ඇයි?

කසල රඳවනයක් හදන්න ගිය හැමවෙලාවෙම දේශපාලනඥයෝ ඉස්සරහට පැනලා කෑගහනවා. මේ දේශපාලනඥයෝ හුඟදෙනෙක් මොකුත් දන්නෙ නැති අයනෙ. තාක්ෂණික වශයෙන් මේක කරන්නෙ විශේෂඥයෝ. ඒ අය මෝඩයෝ නෙවෙයිනේ.

ලෝක බැංකුව වගේ ආයතන එන්නෙ රටක ජලය අපවිත්‍ර කරන්න නෙවෙයි. මේක ජලය අපවිත්‍රකරණ වැඩක් කියන්නේ නොදන්නකමට. එක පැත්තකින් මේවට දේශපාලකයින්ට චෝදනා කරන එක හරි. දේශපාලකයෝම තමයි මේ ප්‍රශ්න උග්‍රකරගෙන තියෙන්නේ.

කසළ කළමනාකරණයේදී මිනිස්සුන්ගෙ දායකත්වය කොයි වගේ විය යුතුද?

ගෙදර කුණුගොඩ වෙන්කරලා 30% ගෙදරදීම කළමනාකරණය කරගන්න පුළුවන්. පොලිතීන්, පත්තර, කාඩ්බෝඩ්ටික එකතු කරලා විකුණන්න පුළුවන්. ඉතිරි කොටස කොම්පෝස්ට් කරන්න පුළුවන්. කුණු ප්‍රශ්නෙ වේදිකාවල කෑගහල වැඩක් නැහැ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙ මේ කුණු ඉවත්කරන්න රුපියල් මිලියන 14ක් වෙන්කළා කියනවා. ඒ කැබිනට් රැස්වීමෙ ඔබත් හිටිබවයි කියන්නේ.

යෝජනා ගෙනාවා, කියන්නෙ පුත්තලමට කසළ දාන එකනේ. බේල්කරලා වෙනම කෝච්චියක ගිනිහින් සිමෙන්ති ජිප්සන් කොරිවලට කුණු අතාරින්න ගියා. ඒ වෙලාවෙ පුත්තලමේ විශාල පිරිසක් විරුද්ධ වුණා. ඒකට කෝච්චි පාරක් හදන්න ඕන. වෙනම කෝච්චියක් ඕන. ඕව සාකච්ඡා වෙමින් තිබුණ ඒවා. පාරිසරික වාර්තා තිබුණේ නැහැ. ඒකත් ඉතාම ප්‍රාථමික ක්‍රමයක්.

යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මේ කුණු ප්‍රශ්නය විසඳන්න ප්‍රමුඛතාව දුන්නෙ නැහැ කියනවා?

අපිට ගංවතුර, නායයෑම්, කඳවුරේ පිපිරීම, ආර්ථික ප්‍රශ්න, ජීවන වියදම් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න මේ ඔක්කොම ආණ්ඩුව හැටියට ආපු ප්‍රශ්න. මේකට ප්‍රමුඛතාව නොදුන්න නෙවෙයි. මේ කුණු ඉවත්කරන්න ටෙන්ඩර් කැඳවලා සමාගමකට බාරදෙන්න කැබිනට් පත්‍රිකාවකින් තීන්දු කළා. ඒ සමාගම කුණු ප්‍රතිචක්‍රීයකරණයට එකඟවෙලා තිබුණේ. ඒ අතරතුර තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වුණේ.

මේ නායයාමට සතියකට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් කුණු කන්ද නායයාමේ ඉඩකඩක් තිබෙන බවට අනතුරු ඇඟවුවා. ඔබේ අමාත්‍යාංශය මේ ගැන තැකීමක් කළේ නැහැ කියනවා?

මේක අපේ විෂයක් නොවෙයි. පත්තරේක තිබුණු පළියට අපිට වැඩකරන්න බැහැ. අදාළ තැන්වලට මේ අනතුරු ඇඟවීම හරියට කළාද කියන එක මම දන්නෙ නැහැ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත්, යහපාලන ආණ්ඩුවත් කුණු එපා කියපු ජනතාවට කඳුළු ගෑස් ගැහුවා. මේවා ගැන මොකද කියන්නේ?

ඕක වරදක් හැටියටම දකින්න එපා. කොළඹ කුණු කොහාටද දාන්නේ. සුමානයක් කොළඹ කුණු එකතු වුණොත් තමුන්නාන්සේලා ඒකට බනින්නෙත් ආණ්ඩුවටමයි.

ආණ්ඩුවෙ සමහරු ස්වාධීන වෙන්න කතා කරනවා. මේ කියන්නෙ යහපාලන ආණ්ඩුවෙ කාලෙ ඉවරයි කියන එකද?

රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ණය බරෙන් පෙළෙනවා. අපනයන ක්ෂේත්‍රය අපේ දුර්වලයි. මධ්‍යම ආදායම් උගුලකට අපි අහුවෙලා. මේ තත්ත්වය පාර්ලිමේන්තුවටත් බලපානවා. මන්ත්‍රීවරු ගමට ගියාම රස්සාවල් ඉල්ලනවා. මේ ජනතාවගේ ඉල්ලීම් ඉටුකරන්න බැරිවුණාම මන්ත්‍රීවරුන්ට පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය පුපුරායාමක් තමයි ඔය වගේ කතාවලින් කියන්නේ. පක්ෂ දෙකට බලය බෙදීයාමට පක්ෂවල සමහර අය කැමති නැහැ. මේ තියෙන්නෙ අස්ථාවර ආර්ථිකයක අස්ථාවර දේශපාලන තත්ත්වයක ප්‍රතිඵල නිසා බොහෝ අය අසන්තෝෂයි.

කුරුණෑගල ශ්‍රීලනිප ආසන සංවිධායකවරු මාරු කළා. පත්කිරීම් කළා. මේ ගැන මොකද කියන්නේ?

පක්ෂයක ඉන්නවානම් හැමෝම එක පෙළට හිටගන්න ඕන.

සමහර ආසන සංවිධායකවරුන්ව ඉවත් කළා. මේ තත්ත්වය පක්ෂයට කොහොම බලපාවිද?

පක්ෂයේ සමහරු පක්ෂයේ වැඩ කටයුතු කළේ නැහැනේ. එතකොට පක්ෂය කළයුත්තේ තව කාවහරි පත්කරන එක. වසර කීපයක් ඒ අය ගැන බලාගෙන හිටියනෙ. අනෙක් තැන්වලත් සංවිධායකවරු වැඩකරන්නෙ නැත්නම් වැඩකරන කෙනෙකුට ඒ තැන දෙන්න ඕන.

ඒ අයින් කළ අය වැඩක් කළ අය නෙවෙයිද?

පක්ෂය කැඳවන රැස්වීමට එන්නෙ නැත්නම්, පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කරනවානම්, මැයි දිනේට කට්ටිය ගේන්නේ නැත්නම්, ශාඛා හදන්නෙ නැත්නම් එයාට සංවිධායකකමක් දීලා බලා ඉන්න කියලද ඔබතුමා මට කියන්නේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...