රාජපක්ෂ සමයේ කුණු කොමිස් කතාවක් ඕස්ට්‍රේලියාවෙන් එළියට පනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල වැඩිම අවධානයක් යොමු කළේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම ගැන සොයා බැලීමටයි. සිද්ධිය වූ දහහතර වැනිදාම අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාටත් වජිර අබේවර්ධන ඇමැතිවරයාටත් කතා කළ ජනාධිපතිතුමා වහාම ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාට මෙහි ප්‍රධාන වගකීම පැවරෙනවා. කෙසේ වෙතත් කොළඹ දිසාපතිවරයා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් සිටින්නේ වජිර අබේවර්ධන ඇමැතිවරයාගේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේයි. ජනාධිපතිතුමා වජිර ඇමැතිතුමාට උපදෙස් දුන්නේ අවශ්‍ය සියලු නිලධාරින් කැඳවා ආපදා කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.

මීතොටමුල්ලේ ආපදා සහන කටයුතු සඳහා වහාම මැදිහත්වන ලෙස යුද හමුදාපතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් පොලිස්පතිවරයාටත් ජනාධිපතිතුමා විශේෂයෙන් දැන්වීමක් කළා. ඒ අනුව යුද හමුදාවේ 1500ක පමණ භට පිරිසක් ආපදා කළමනාකරණ කටයුතුවලට සහය ලබාදීමට මීතොටමුල්ල ප්‍රදේශයට යවනු ලැබුවා.

ආපදා කළමනාකරණ, කමිටුවේ විශේෂ රැස්වීමක් 16 දා උදේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එයට මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරින් පොලිස්පති හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද සහභාගී වුණා. එහි දී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ මුදල් ප්‍රශ්නයක් කර නොගෙන විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු සහන කටයුතු වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැවතත් ආපදා කළමනාකරණ කමිටුව රැස්වූයේ 19 දිනය. විදේශ සංචාරයකින් පසුව පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එයට සහභාගී වී සිටියා. එහි දී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ සම්පූර්ණයෙන් නිවාස නැති වූ පවුල් 98කට වහාම නිවාස ලබාදෙන ලෙසයි. එමෙන්ම මීතොටමුල්ල ජනතාවට සහන සැලසීම ගැන සියලු ප්‍රකාශ කිරීම ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා විසින් පමණක් කළ යුතු බව ද එහි දී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

මෙම කාලය තුළ මීතොටමුල්ල සිදුවීම හා සහන කටයුතු පිළිබඳ දිනපතා වාර්තා ලබා ගැනීමටද ජනාධිපතිතුමා කටයුතුකොට තිබුණා. ඉන් එක් වාර්තාවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ගෙන්වාගත් අතර ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාගෙන් තවත් වාර්තාවක් ගෙන්වා ගත්තා. එම වාර්තා අධ්‍යයනය කරමින් ජනාධිපතිතුමා සියලු අංශවලට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

නිල සංචාරයක් සඳහා පසුගිය 10 දා ජපානයට ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දිනය යෙදී තිබුණු 14 දින ජපානයෙන් පිටත් වී එදින හවස සිංගප්පූරුවට ළඟා වු‍ණා. සාර්ථක ජපාන නිල සංචාරය නිම කර සිංගප්පුරුවට එන අතරවාරයේදි මීතොටමුල්ල කුණු කන්ද නාය යාම පිළිබඳව අගමැතිවරයාට දැන ගැනීමට ලැබුණා. රටට ඉතාම වැදගත් වාසි රැසක් ගෙන ඒමට හේතු වන වියට්නාම සංචාරය අවලංගු කළහොත් ඉන් සිදු වන අවාසිය කල්පනා කළ අගමැති වික්‍රමසිංහ මහතා වියට්නාම සංචාරය ඉක්මනින් නිම කර මවු රටට ඒමට අදහස් කළා. ඇමැති සාගල රත්නායක මහතා ඇමතූ අගමැතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනුවත් වී අදාළ අංශවලට දුරකථනයෙන් සහ ඊ මේල් මගින් උපදෙස් ලබා දුන්නා.

අගමැති වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස වියට්නාමයට ළඟා වුයේ 16 දායි.

රට තුළ සිදු වී ඇති ව්‍යසනය නිසා ඉක්මනින් ආපසු යාමේ කල්පනාවෙන් සිටි අගමැතිවරයා නිල සංචාරයේ න්‍යාය පත්‍රය සංශෝධනය කරනා ලෙස වියට්නාමයේ තානාපතිනි හසන්ති දිසානායක මහත්මියට උපදෙස් දුන්නා.

මෙම සංචාරයෙන් දෙරටේ මිතුදම ශක්තිමත් කර ගැනිම පමණක් නොව ශ්‍රී ලංකාවේ අනාගත ඉලක්කයන් සාර්ථක කර ගැනීම සඳහා වියට්නාමයේ පූර්ණ සහයෝගය ලබා ගැනීම අරමුණ වුණා.

වියට්නාම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සමඟ අගමැති වික්‍රමසිංහ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ජා ඉතා සාර්ථක වූණා. වියට්නාම් ප්‍රධාන පෞද්ගලික අංශ ව්‍යවසායකයින් සමගද වික්‍රමසිංහ මහතා සාකච්ජා පැවැත්වුවා.

වියට්නාමයේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන සමාගමේ සභාපතිවරයා සමඟ වික්‍රමසිංහ මහතා පැවැත්වූ සාකච්ජාවලින් පසු අප රටේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එකඟ වුණා. විනාටෙක්ස් සමාගමේ සභාපතිවරයා මෙරට නූල් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද එකඟතාවය පළ කළා. වියට්නාමයේ ප්‍රමුඛස්ථානයේ සිටින සමාගම් පහක නියෝජිතයන් අගමැති වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කළ අතර ආයෝජන අවස්ථා සොයා බැලිම සඳහා මෙරටට පැමිණෙන ලෙසත් අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දීමටත් අගමැති වික්‍රමසිංහ මහතා පොරොන්දු වුණා.

දෙරට අතර වෙළෙඳ, ආර්ථික සබඳතා සහ ආයෝජන ගැන ඉදිරියට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අගමැතිවරයා වියට්නාමය පැත්තෙන් කටයුතු කිරීම සඳහාද කමිටුවක් පත් කරන ලෙස වියට්නාම් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියා. දෙරටේ තානාපතිවරුන්ටද මේ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව වියට්නාම් අගමැතිවරයා පෙන්වා දුන්නා.

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය සංචාරය සාර්ථක කර ගැනිම සඳහා කැපවීමෙන් සිදු කර තිබු කාර්ය භාරය අගමැතිවරයාගේ පැසසුමට ලක් වුණා.

වියට්නාම් සංචාරය නිම කර 19 දා අලුයම යළි දිවයිනට පැමිණි අගමැතිවරයා පැය කිහිපයක් යාමට මත්තෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති, මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් වූ විපත සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවකට සහභාගි වූ අතර එය නිම වූ වහාම මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ ‍තොරතුරු මධ්‍යස්ථානයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවතැන් වූ ජනතාවද හමු වුණා.

අලුත් අවුරුදු උණුසුමේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිටියේ 24 වැනි උදා ගම්මානය වන හම්බන්තොට, ගල්වැව “සත්මිතුගම” ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිරික්සමිනි. ඊට එක් විශේෂ හේතුවක් වූයේ මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්ඉචි සුගනුමා මහතා වෙත ඇරයුම් කර තිබීමයි. තානාපතිවරයා කලින් දා රාත්‍රිය ලැගුම් ගත්තේ හම්බන්තොට ෂැංග්‍රිලා සංචාරක හෝටලයේයි. උත්සවය පැවැත්වෙන ස්ථානයට තානාපතිවරයා කැටුව යාම සඳහා හෝටලය වෙත ගිය සජිත්ද සිය සුඛෝපභෝගී නිල රථයේ නංවාගත් ජපන් තානාපතිවරයා ප්‍රදේශයේ ජන ජීවිතය පිළිබඳ කතා බහ කළේය. සජිත් කීවේ “මේ වගේ දියුණු මහා මාර්ග පද්ධතියක සැප පහසු මෝටර් රථයක ගමන් කරන‍කොට අපට දැනෙන සුවය අභ්‍යන්තර ගම්මානවල ජීවත්වන දුප්පත් අහිංසක මිනිස්සුන්ට තවමත් උරුම වෙලා නෑ” කියායි. “සත්මිතුගම” ගම්මානය පිළිබඳ ඉමහත් සතුටට පත්ව සිටි තානාපතිවරයා කීවේ රටටම ආදර්ශයක් වන ‘උදා ගම්මාන’ වැඩපිළිවෙළ පිළිබඳව ජපාන ව්‍යාපාරිකයන්, ස්වේච්ඡා හා සුබසාධන ආයතන දැනුම්වත් කර ඊට උපරිම මට්ටමින් ආධාර උපකාර ලබා දීමට තමන් කටයුතු කරන බවයි.

“සත්මිතුගම” උත්සවයෙන් පසුව කෙන්ඉචි සුගනුමා ජපාන තානාපතිවරයා ගියේ හම්බන්තොට පිහිටි ලංකා සෝල්ට් ලිමිටඩ් සතු ලේවාය හා ලුණු ඇසුරුම් සංකීර්ණය නැරඹීමටයි. රජයට අයත් මෙම සමාගම වත්මන් පාලනය යටතේ රුපියල් ලක්ෂ 8, 800 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවේ දී තානාපතිවරයා දැනුම්වත් කරන ලද්දේ ‘පවර් පොයින්ට්’ ප්‍රක්ෂේපණ වැඩසටහනක්ද උපයෝගී කරගනිමින්. තානාපතිවරයා මෙහි දී කීවේ බොහෝවිට රාජ්‍ය ආයතන යනු ප්‍රමාණවත් ලාභ නොලබන හෝ පාඩු ලබන ආයතන ලෙස වටහා ගෙන සිටි තමන් මෙම ආයතනය ලබා ඇති සාර්ථකත්වයෙන් විශ්මයට පත් වූ බවයි. ජපානයේ මූල්‍ය ආයතන සහ ව්‍යාපාරික ආයතන සම්බන්ධ කරමින් මෙම ආයතනය තව තවත් ලාභ උපයන වෙළඳ ව්‍යාපාරයක් බවට පත් කරලීම සඳහා තමන් උපරිම උපකාර කරන බවටද තානාපතිවරයා පොරොන්දු වුණා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිංහල සිරිතට මුල් තැන දෙමින් ගාල්ල, උළුවිටිකේ සිය නිවසේ දී අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට සහභාගී වුයේ අලුත් අවුරුදු දින උදෑසනමයි. ඔහු සැලසුම් කර තිබුණේ නිවාඩු දින කිහිපය තම ඡන්ද දායකයන් සමඟ ගත කරන්නටය.එසේ වුවත් අවුරුදු දින සවස් වන විට ඇමැති වජිරට ලැබුණු දුරකථන ඇමතුමකින් දැන ගන්නට ලැබුණේ මීතොටමුල්ල කුණු කන්ද නාය යන බවයි. එම ඇමතුම ලද සැණින් ඇමැති වජිර ක්‍රියාත්මක වුණා. තමන් යටතේ සිටින කොළඹ දිසාපති සුනිල් කන්නන්ගරට හා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිරට දුරකථන ඇමතුම් ලබා දෙමින් අවශ්‍ය කටයුතු සොයා බලා වහාම තමන් දැනුවත් කරන ලෙස දැනුම් දුන්නා. ඒ සමඟම ජනපති මෛත්‍රී ද ඇමැති වජිරට උපදෙස් දුන්නේ, ඔහු යටතේ සිටින රාජ්‍ය නිලධාරීන් නිවාඩු දින නොතකමින් මෙම ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යොමු කරන ලෙසයි. තමන් ඒ සඳහා අදාළ සියලු නිලධාරීන්ට ඒ වන විටත් උපදෙස් ලබා දී ඇති බව වජිර, ජනපති මෛත්‍රීට පැවසුවා.

අගමැති රනිල් ද ජපානයේ සිට වජිරට දුරකථනයෙන් කථා කර විපතට පත් වුවන්ගේ සහන කටයුතු පිළිබඳව සොයා බලන ලෙස උපදෙස් දුන්නා.

ඒ අනුව 16 උදෑසන ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති සහන සැලසීමේ සාකච්ජාව සඳහා ඇමැති වජිර ද එක් වුණා. මේ සඳහා අනුර ප්‍රියදර්ශන, විජයදාස රාජපක්ෂ, චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරු ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ද එක්ව සිටියා. . සාකච්ජාව අවසන් වී අමාත්‍යාංශයේ පඩිපෙළ බසින විට “වජිර යමු මාත් එක්ක. නායක හාමුදුරුවන්ට අවුරුද්දට සුබ පතන්න“ යැයි ජනපති මෛත්‍රී කීවා.

ඇමැති වජිර ද සිය රථයේ නංවා ගත් ජනපති කෙළින්ම ගියේ කෝට්ටේ රජමහා විහාරයටයි. ඒ ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේට අවුරුද්දට සුබ පැතුම් එක් කිරීමට හා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමටයි.

අනතුරුව ඇමැති වජිර කෙලින්ම සිය අමාත්‍යාංශයට ආවේ, නිවාඩු දින ද නොතකමින් විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සොයා බැලීමේ වැඩ කටයුතුවල නිරතවීමටය. සන්ධ්‍යායාමය ද වනතුරු එදින අමාත්‍යාංශයේ රැඳී සිටිමින් ඇමැති වජිර ඒ සඳහා වෙහෙස වුණා.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මිනිස් ජීවිත ගණනාවක් අහිමි වීමෙන් පසුව කුණු කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව රට තුළ විශාල සංවාදයක් මතුවී තිබෙනවා. මේ අතර ජවිපෙ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාලනය කළ කාලය තුළ සිදුකළ කසළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පිළිබඳවද සමාජජාලවල සංවාද සිදුවෙනවා. පසුගිය අෙප්‍ර්ල් මුල් සතිය දක්වා දේශපාලන කටයුතු කිහිපයක් සඳහා කැනඩාවට ගොස් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිටද මේ කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා සමාගමක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයකු හමුවීමට අස්ථාව උදා වුණා. මන්ත්‍රීවරයා කැනඩාවට ගොස් සිටියේ එතෙර අපි සංවිධානයේ ආරාධනාවකට අනුවයි. කසළ ප්‍රතිචක්‍රීකරණ සමාගම පවත්වාගෙන යන තරුණයා සුදේෂ් නම් වන අතර ටොරොන්ටෝ නගරයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කොට සාදනු ලබන නිෂ්පාදනයක් ටෙක්සාස් නගරයට අපනයනය කරනවා. ඔහු සමඟ කතාබහ කිරීමට මන්ත්‍රීවරයාට අවස්ථාව උදා වුණා. එහිදි ලංකාවේ මීතොටමුල්ල කුණු කන්දට ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීමට ගොස් ඔහුට අත්විඳීමට සිදුවූ අමිහිරි අත්දැකීමක් මන්ත්‍රීවරයාට දැනගන්නට ලැබුණා. ”මම කැනඩාවට ආවේ ජොබ් එකක් හොයාගෙන. ඒත් දැන් මම කැනඩාවේ ව්‍යාපාරයක් කරනවා.

ටොරොන්ටෝ නගරයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරලා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. ඒකෙන් හොඳ ආදායමක් ලබනවා. මගේ යාළුවන්ගේ ඉල්ලීමකට අනුව මීතොටමුල්ල කුණු කන්දටත් මම ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළා. මම ඒක කළේ ශ්‍රී ලංකාවට ආදරේ නිසා. නැත්නම් මට ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මැෂින් හයි කරලා නිෂ්පාදනයක් කරලා ටෙක්සාස්වලට යවන එක පාඩුයි.

ඒත් මම පාඩුව ගැන හිතුවේ නෑ රට ගැන හිතුවා. ඒ වෙලාවේ ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් මගේ ව්‍යාපෘතියෙන් 50%ක අයිතිය ඉල්ලූවා. ඇත්තටම මට ලොකු කලකිරීමක් ඇතිවුණා. බී ඕ අයි අනුමැතිය තිබිලත් අන්තිමට මම ව්‍යාපෘතිය අත්හැරියා.” තරුණයා කියා සිටියා.

හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මේ බව රූපවාහිනී වැඩසටහනක දී ලාංකිකයින්ට දැනගැනීම පිණිස විස්තර කළා. එහි දී මාධ්‍යවේදියෙක් කියා සිටියේ,

”ඔබතුමාලා මැදිහත්වෙලා ඒ ව්‍යාපෘති ලංකාවට ගේන්න. ඔබතුමාලා මැදිහත් වුණොත් කොමිස් ඉල්ලන්න කට්ටිය බයයි නේද?” කියාය.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් පසුදින ජවිපෙ පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල විජිත හේරත්ට දුරකතනයෙන් අමතා සිදුවීම පිළිබඳව කරුණු විස්තර කළා. ”මම අවුරුද්දට කලින් මීතොටමුල්ල කුණුකන්ද අවට නිවාසවලට ගියා. මොකද මේ කුණුකන්දට දීර්ඝකාලීන විරෝධයක් ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වෙලා තිබුණා. මේ සටනේ පෙරමුණේ හිටපු කීර්ති අයියගේ ගෙදරටත් මම ගියා. පැයක් විතර මේ ගැන කතා කළා. දැන් ඒ ගෙදරින් ඉතිරි වෙලා ඉන්නේ කීර්ති අයියයි එයාගේ මුණුපුරයි විතරයි. මේ මිනිස්සු කලින් කියපු දේවල් පාලකයෝ ඇහුවනම් මේ ජීවිත බේරගන්න තිබුණා.” වටගල මන්ත්‍රීවරයා විජිත හේරත් මන්ත්‍රීවරයාට කීවා. විජිත හේරත් සහ සුනිල් වටගල විපතට පත්වූ ප්‍රදේශවාසීන් මුණ ගැසී ඔවුන්ගේ ගැටලූ ගැන සොයා බැලුවා. ඇතමුන් හැඩූ කඳුලින් දුක කියන්නට වුණා. ”ගෝඨාභය අපිව බය කරලා තමයි මෙතනට කුණු දැම්මේ. දුමින්දත් එදා එයාට කඩේ ගියා. අද එයා කොහෙද ඉන්නේ. අන්තිමට අහිංසක මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙව්වා” එක් කාන්තාවක් ආවේගශීලීව කියා සිටියා.

ජවිපෙන් මෙවර මැයි රැලි දෙකක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙම මැයි රැලි දෙකෙහි සංවිධාන කටයුතු ගැන දේශපාලන මණ්ඩල රැස්වීමේ දී කතාබහට ලක්වුණා. ”යාපනයේ අපි කරන මැයි දිනයට දැනටමත් විශාල ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒ ප්‍රදේශවල ජනතාව ගොඩක් උනන්දුවෙන් මේ ගැන කතා කරනවා කියලා රාමලිංගම් සහෝදරයා කිව්වා.

ඒ ජනතාවටත් මේක හොඳ අත්දැකීමක් වෙයි.” විජිත හේරත් කියා සිටියා.

‘‘ඇත්තටම මැයි දිනය සමරන්න ඇත්ත අයිතිය තියෙන්නේ වැඩකරන ජනතාවට. මැයි රැලියේ පාට රතුපාට. එක එක්කෙනා නිල් පාටින් කොළපාටින් කහපාටින් මැයි දිනය සරසන්න හදනවා. ඒත් ඒකෙන් ඇත්ත මැයි දින සැමරුමක් සිදුවෙන්නේ නැහැ. මේ ගැනත් ජනතාව දැනුවත් කරන්න ඕනෑ. මැයි දිනයට කලින් අපි සම්මන්ත්‍රණයක් කරනවා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විදියට මැයි දිනයේ ඇත්ත උරුමය කාටද කියලා.” ලාල්කාන්ත කියා සිටියා.

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතවූ විමල් වීරවංශ මහතා සිරගෙය තුළ දී උපවාසයක් කිරීමත්, පසුව රෝහල්ගත වී උපවාසය අත්හැරීමත් නිසා ජාතික නිදහස් පෙරමුණ තුළ බරපතළ අර්බුදයක් මතුව තිබෙනවා. එයට හේතුව නම් විමල් තම උපවාස තීන්දුව ගැන පක්ෂයට දැනුවත් කර අනුමැතිය නොගැනීමයි. එම ක්‍රියාවලියේ දී විමල් වීරවංශ මහතා හිතුවක්කාර තීරණ ගත් බව පක්ෂයේ පිරිසක් කියනවා. එම තීරණ නිසා විමල්ගේත්, පක්ෂයේත් ජනප්‍රියතාව හීන වූ බව මෙම පිරිස කියන කතාවයි. විමල්ගේ උපවාසයත් පසුව එය අත්හැරීමත් විහිළුවක් බවට පත්වූ බව එම පිරිස කියන කතාවයි. බෑං කී මුන්ට එරෙහිව විමල් තුංමුල්ල හන්දියේ කළ උපවාසය මහින්ද රාජපක්ෂ මහතාගේ තැඹිලි වතුර බී අවසන් කළ ආකාරය මතුකරමින් පුවත්පත් විමල්ගේ මෙම උපවාසය උපහාසයට ලක්කළ ආකාරය ද ඔවුන් පෙන්වා දෙනවා. මෙලෙස හිතුවක්කාර තීරණ ගෙන පක්ෂයට හානි කිරීම ගැන විමල්ට එල්ල වී ඇත්තේ බරපතළ දෝෂාරෝපණයක්. එයින් පක්ෂය දෙකඩවීමකට ද ඉඩ තිබෙනවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය දැන් විශාල අභියෝගයකට මුහුණ දී සිටිනවා. එනම් මැයි දිනය සඳහා ගාලු මෝදර පිටියට සෙනග රැස්කිරීමයි. තම මැයි රැලිය සඳහා ගාලු මුවදොර පිටිය අවශ්‍ය බව කියා එය ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් මහතායි. සාමාන්‍යයෙන් ‍මැයි දින සඳහා මෙම පිටිය නොදෙන නිසා එය නොලැබෙනු ඇතැයි ඔවුන් කල්පනා කළා. තමන්ගේ සෙනඟට ආණ්ඩුව බය වී ඇතැයි කීමට එවිට ඔවුනට ඉඩ ලැබෙනවා. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළේ ගාලු මුවදොර පිටිය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට උපදෙස් ලබාදීමයි. දැන් එම පිටිය පුරවන්න සෙනඟ ගෙන ඒමට පක්ෂ නායකයින් රට පුරා යනවා. ඒ සඳහා බස් ලබාගැනීමට ද විශාල මුදලක් වැය වෙනවා. කෙසේ වෙතත් ප්‍රමාණවත් සෙනඟක් ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එය ඔවුනට විශාල ප්‍රශ්නයක් වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් රැසකට ශ්‍රීලනිප ආසන සංවිධායකකම් අහිමි වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ආසනවලට තමන්ට හිතවත් සංවිධායකයින් පත්කරගෙන යනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිදෙනකුට වැඩි පිරිසකට මේ වන විටත් සංවිධායක තනතුරු අහිමිවෙලා. තවත් පිරිසකට ඉදිරි දිනවල ආසන සංවිධායක තනතුරු අහිමිවන බව දැනගන්න තිබෙනවා.

පසුගිය අඟහරුවාදා පක්ෂ මුලස්ථානයේ දි ජාතික හෙළ උරුමයේ වෘත්තිය කටයුතු සහ මහජන සම්බන්ධතා අනුමණ්ඩලය පක්ෂයේ සම සභාපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ මුලිකත්වයෙන් රැස්වුණා. ඒ අවස්ථාවට අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කලබලයෙන් සහභාගි වුයේ ඒ වෙන විට කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් විශේෂ රැස්විම් කිහිපයක් අවසන් කිරිමෙන් පසුවයි.

ඇමැතිතුමා මොකද්ද මේ මීතොටමුල්ල කුණුකන්ද සම්බන්ධයෙන් මහඇමති ඉසුර දේවප්‍රිය මහතා නගන චෝදනාව?

පස්සරමුල්ලේ දයාවංස හිමියන් විමසා සිටියා.

චම්පික රණවක අමාත්‍යවරයා එම ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය දුර්වලතා පිළිබඳ දිගු විස්තරයක් කළා.

ජාතික හෙළ උරුමය විසින් ප්‍රථමවරට සංවිධානය කරන කම්කරු දිනය නිමිති කරගෙන කොටුව ඊ.ඒ ගුණසිංහපුර සම්ප්‍රදායික කම්කරු රැස්විමකින් තොරව කම්කරුවන් දිරිමත් කරන වැඩසටහක් සඳහා වැඩ පිළිවෙළක් යෝජනා කර එය සුදානම් කරමින් තිබෙනවා. ඒ පිළිබඳ වෘත්තිය සංගම් සභාපති සුනිමල් ජනරංන මහතා විස්තර කරමින් කියා සිටියේ කොටුව හා අවට සිටින මුට්ට කරගහන කම්කරුවන් 500ක් තෝරාගෙන ඒ අය සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දිමට කටයුතු කරන බවයි.

ඒ අනුව කම්කරුවෙක් මියගියහොත් ඒ පවුලකට ලක්ෂ 5ක් ද අතක් පයක් අහිමි වු අයකුට එක්ලක්ෂ විසිපන් දහසදක් ද රෝගි වු විට රෝහල් ගත වන දිනකට 500ක් ද මරණයක් සිදු වු අවස්ථාවේ කටයුතු කර ගැනිමට පනස් දහසක් ද ලබා දිමේ වැඩ පිළිවෙළක් සහිත රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙමින් ජාතික හෙළ උරුමය මෙවර කම්කරු දිනය සැමරිමට කටයුතු සුදානම් කරමින් ඇති බව කියා සිටියා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...