ක්‍රිකට් වීරයෝ මීතොටමුල්ලේ කඳුළ... සුසුම බෙදා ගනිති | දිනමිණ

ක්‍රිකට් වීරයෝ මීතොටමුල්ලේ කඳුළ... සුසුම බෙදා ගනිති

ෆවුස් මොහොමඩ්

මේ විපතේදි අපිත් ඔයාලා එක්ක ඉන්නවා

පිට්ටනියේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් 11 දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා ටීම් එක රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී එයාලට ශක්තියක් වුණු අපේ රටේම තවත් පිරිසක් සිංහල අවුරුද්දේ අසිරිය විඳගනිමින් සිටියදී මුහුණපෑ මේ විපත අද වෙද්දී මුලු රටටම දැනෙන ඛේදවාචකයක් වෙලා

අපිට ඕන කළේ මේ විපතින් ඔයාලගේ කඩා වැටුණු හිත්වලට පොඩි වෙනසක් ඇතිකරන්නයි. ඒ වේදනාව මිනිත්තු කිහිපයකට හරි අමතක කරවන්නයි. දරුවන්ට.. එයාලගේ හිත්වලට පුංචි සතුටක් ගෙනදෙන්නයි. මේ මදි කියලා අපි දන්නවා...ඕන කරන දේවල් තව ගොඩාක් තියෙනවා කියලත් අපි දන්නවා. අපිට තේරෙනවා

අ පි සෙල්ලම් කරපු හැම මැච් එකකදීම ඔයාලා අපිත් එක්ක හිටියා. අපිව දිරිමත් කළා. මෙතැන ඉන්න වැඩිහිටියෝ, දරුවෝ මේ හැමෝම අපේ ජයග්‍රහණවලදී අපිත් එක්ක ඒ සතුට විඳගත්තා. පරාජය වුණු වෙලාවේදී අපිත් එක්ක එකතුවෙලා ඒ දුක බෙදා ගත්තා. ඔයාලා ඉහළට ඔසවලා ඔල්වරසන් දෙන හැම ජාතික කොඩියක්ම... ඔයාලා මැච් බලන්න පිට්ටනියට එද්දී අඳින හැම ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් එකක්ම අපිට අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න උපරිම ශක්තිය ධෛර්යය ලබා දුන්නා. ආදරණීය ඔයාලා තමයි අපි කවුද කියලා මුලු ලෝකයටම කියාපාන්න අවස්ථාව ලබාදුන්නේ...ඒ වගේම මේ විපතේදී අපිත් ඔයාලා එක්ක ඉන්නවා කියලා කියන්නයි අද අපි මෙතැනට ආවේ. අපේ ටීම් එක පරාජය වෙද්දී අපේ කඳුළට, වේදනාවට ඔයාලාත් සම්මාදම් වුණා වගේම මේ විපතේ දී ඔයාලගේ වේදනාවටත්, කඳුළටත් අපිටත් සම්මාදම් වෙන්න ඕනා. ඔයාලගේ දුක් කඳුළ අපි හැමෝගෙම දුක් කඳුළක්. අපේ මැච්වලට ඔයාලා සහයෝගය දෙනවා වගේ ඔයාලගේ වේදනාව බෙදා ගන්නත් අපිට ඉඩ දෙන්න...’

මේ කතාව කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ සුපිරි දඟපන්දු යවන්නා රංගන හේරත්.

එයා මේ සංවේදි කතාව කිව්වේ මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයේ උණුසුම මැද...ඒ විපතට මුහුණපාලා ජීවිතය එහෙම පිටින්ම උඩුයටිකුරු කරගත්තු අසරණ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න...අත්වැලක් වෙන්න...මේ විපතින් අවතැන්වෙලා... සමීපතමයන්ගේ වියෝවෙන් කම්පාවෙලා...හැඳිවත විතරක් ඉතිරිකරගෙන සන්තකේ තිබුණු අනිත් හැමදේම අහිමිකරගෙන හිස් අහස දිහා බලාගෙන සුසුම්ලන ජීවිත මුණගැහෙන්න ටීම් එකේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් එක්ක පෙරේදා රාත්‍රීයේ මීතොටමුල්ලට ගිය වෙලාවෙදියි.

පිට්ටනියේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් 11 දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා ටීම් එක රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී එයාලට ශක්තියක් වුණු අපේ රටේම තවත් පිරිසක් සිංහල අවුරුද්දේ අසිරිය විඳගනිමින් සිටියදී මුහුණපෑ මේ විපත අද වෙද්දී මුලු රටටම දැනෙන ඛේදවාචකයක් වෙලා.

හිතාගන්න බැරි විදිහට සතුට කුණු කන්දට යටවුණාම..ජීවිතයට අත්වැල දුන්නු අම්මා තාත්තා...සහෝදර සහෝදරයෝ කුණු කන්දේ පස්යට වැලලිලා...දුක සැප බෙදාගෙන ළඟින් හිටපු අසල්වැසියෝ ජීවිතය අතැර ගිහින්..මේ කම්පනය හිතේ දරාගෙන කඳවුරක තනිවෙලා කාත් කවුරුවත් නැති අසරණ බවක් හිත්වල දෝර ගලද්දී මේ විදිහට එයාලාගේ ක්‍රිකට් වීරයෝ ඇවිත් හිත් සනසන්න..දිරිය දෙන්න....ජීවිතය ජීවත් කරවන්න...කතා බහ කරද්දී...හිතට දැනෙන්නේ මොනවගේ හැඟූම් සමුදායක්ද කියලා හිතාගන්න එතැන ඉන්නම ඕනා.

එදා රංගන හේරත් විපතට පත්වුණු වැඩිහිටියන්ගේ..දරුවන්ගේ හිත්වලට ඔය විදිහට කතා කරද්දී කාගෙත් ඇස් උණු කඳුළෙන් තෙත්වුණා. රට වෙනුවෙන් පන්දුව අතට ගෙන..පිත්ත අතට ගෙන ක්‍රිකට් ගහද්දී පිට්ටනිය පුරා එක්රොක්වෙලා තමන්ගේ හිතට දිරිය දුන්නු ක්‍රීඩාලෝලීන් පිරිසකගේ ජීවිත කුණු කන්දට යටවුණාම ඒ විපත බෙදා හදා ගන්න මේ විදිහට රංගනලා ඉදිරිපත්වීම අපේ රටේ තවමත් මනුස්සකම ඉතිරිවෙලා තියෙනවාය කියලා හිතන්න හොඳම සාධකයක් නෙවේද..?

එදා මීතොටමුල්ල විපතින් අසරණවෙලා කඳවුරු ගානේ ජීවිතය ගෙවන අසරණ මිනිස්සු පිරිස දිරිමත් කරන්න නිරෝෂන් දික්වැල්ල, සචිත් පතිරණ, තිසර පෙරේරා, ඩිල්ෂාන් මුණවිරත් ගියා. කොලොන්නාවේ ටෙරන්ස් ද සිල්වා විද්‍යාලයේ අවතැන් වෙලා ඉන්න අසරණ මිනිස්සුන්ට තමන්ගේ ක්‍රිකට් වීරයන්ගේ පැමිණීම කොයිතරම් හයියක් වුණාද කියලා හිතාගන්න එතැන ඉන්නම ඕනා.

ජාති භේදයකින් තොරව...ආගම් භේදයකින් තොරව...තමන්ගේම රටේ එකට ජීවත්වෙන එකම අහසක් යට..දුක සැප බෙදාගෙන හිටපු ජීවිත කන්දරාවක් මේ විඳින වේදනාව තමන්ගේත් වේදනාවක් කියලා රංගන හේරත් කියද්දී හඬා වැලපුණු...හිත් එතැන කොයිතරම් ද..? තමන්ගේ ආදරය දිනාගත්තු ක්‍රිකට් විරයන් ළඟට ඇවිත් මේ විදිහට දිරිය දෙන්න උත්සාහ කරද්දී එයාලා බොඳවුණු ඇස්වලින් යාන්තමට හිනාවෙන්න ඇති...පොඩි එවුන් තමන්ගේ ක්‍රිකට් විරයන්ගේ අත් අල්ලන්න...එකට ඉඳලා පින්තූරයක් ගන්න පොරකන්න ඇති...ජීවිතය අතැරලා හිටපු...බලාපොරොත්තු අතැරලා හිටපු ජීවිත කන්දරාව ආපහු ජීවිතය ගැන හිතන්න පටන් ගන්න ඇති.. බලාපොරොත්තුවලින් හිත් පුරෝගන්න ඇති...ඒක වචනවලට ලඝු කරන්න පුළුවන් හැඟීම් සමුදායක් නෙවෙයි..ඒක දැනෙන්න එතැන ඉන්නම ඕනා.

හේරත්ලා එදා මෙගා රූපවාහිනි යන්ත්‍ර ඒ කඳවුරුවල සවිකරලා දුන්නේ හිස් අහසට දෑස් යොමුකරගෙන බලාපොරොත්තු ගැටගසා ගන්න උත්සාහ කරපු ජිවිත කන්දරාවට හිතේ ඇතිවුණු මානසික ව්‍යාකූලතාව ටිකක් හරි තුනී කරගන්න කියලා හිතාගෙනයි. මේ සිද්ධවුණු විපතින් හිතාගන්න බැරි විදිහට බිඳවැටුණු ජීවිතවල මානසික ආතතිය තරමක් හරි අඩු කරගන්න ඒක ලොකු දෙයක් වෙන්න ඇති. එයාලා ගැන රට හැමතැන කතාවෙන..දුක්වෙන..කම්පාවෙන..තවත් මිනිස්සු ලක්ෂ සංඛ්‍යාවක් ඉන්නවා නේද කියලා රූපවාහිනියෙන් දැකබලා ගෙන හිත තරමක් ශක්තිමත් කරගන්න එයාලාට පුලුවන් වේවි.

වැඩිහිටියෝ....දරුවෝ...හේරත්ලා වටකරගෙන තමන් මුහුණදුන්නු මේ විපත්තිය ගැන හඬ හඬා කියද්දී.. මේ ක්‍රිකට් වීරයන්ගේ හිත් කම්පාවෙන් පිරුණා...ඒක මැච් එකක් පරදිනකොට හිතට දැනෙන වේදනාවට වඩා වැඩි බවට කිසිම සැකයක් නෑ..

‘අපිට ඕන කළේ මේ විපතින් ඔයාලගේ කඩා වැටුණු හිත්වලට පොඩි වෙනසක් ඇතිකරන්නයි. ඒ වේදනාව මිනිත්තු කිහිපයකට හරි අමතක කරවන්නයි. දරුවන්ට.. එයාලගේ හිත්වලට පුංචි සතුටක් ගෙනදෙන්නයි. මේ මදි කියලා අපි දන්නවා...ඕන කරන දේවල් තව ගොඩාක් තියෙනවා කියලත් අපි දන්නවා. අපිට තේරෙනවා.’

‘අනිත් අඩුපාඩුත් අපිට කියන්න...’

රංගන හේරත් ආපහු යන්න කළින් එතැන හිටපු පිරිසට දුන්නේ ‘මේ මුල්ම හෝ අන්තිම වතාව නෙවෙයි..අපි ආපහු එනවා. ඒ එන්නේ මීට වඩා ලොකු හයියක් ඔයාලට අරගෙනයි..’ කියන පණිවුඩයයි.

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

නව අදහස දක්වන්න