ඔස්ට්‍රේලියානුවෝ 19න් පහළ එක්දින තරගාවලිය දිනති | දිනමිණ

ඔස්ට්‍රේලියානුවෝ 19න් පහළ එක්දින තරගාවලිය දිනති

 සංචාරක ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල සමග හෝබාර්ට්හිදී ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල සමත් විය. මේ සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ඔ‍ස්ට්‍රේලියාව ජය ගත්තේ 3-1ක් ලෙසිනි.

තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 160ක හා තෙවැනි තරගයෙන් ලකුණු 102ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු යොවුන් පිල සමත්වූ අතර දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 8ක ජයක් අත්විය.

ඊයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලබාදුන් ලකුනු 164ක ඉලක්කය කඩුලු 6ක් බිඳ වැටී තිබියදී ඔස්ට්‍රේලියානුවන් සපුරා ගත්තේ පන්දු 26ක් ඉතිරි කරගනිමිනි.

ඔස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේදී ලකුණු 41කට කඩුලු 4ක් බිඳ දැමීමට නිපුන් රන්සික ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වුවද ඕස්ටින් වෝ සමග එක්වූ මැතිව් ස්පෝස් මුළු ලකුණු සංඛ්‍යාව 99 දක්වා ඉදිරියට ගෙන ගියේය. එම සබඳතාවට තිත තබමින් ස්පෝස්ගේ ඉනිම නිමා කිරීමට හරීන් බුද්දිලට හැකි විය. අනතුරුව වෝට එක්වූ ජොනතන් මර්ලෝ ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඒ අතරතුර වෝ ලකුණු 60ක දවා ගැනීමට යළි ක්‍රියාත්මක වූ බුද්දිල සමත් විය. පන්දු 125කට මුහුණදුන් ඔහු හතරේ පහර 4ක් ඉනිමට එක් කර ගත්තේය. මර්ලෝ නොදැවී ලකුණු 43ක් රැස්කළේ පන්දු 49කදී හතරේ පහර 5ක් හා හයේ පහරක් සමගිනි. පන්දු යැවීමේදී නිපුන් රන්සික හා හරීන් බුද්දිල කඩුලු 2 බැගින් දවා ගත්හ.

ජෙහාන් ඩැනියෙල් හතරේ පහර 3ක් සමගින් පන්දු 70කින් ලකුණු 36ක් රැස්කරමින් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ක්‍රිෂාන් ආරච්චිගේ ලකුණු 29, රශ්මික ඩිල්ෂාන් නොදැවී ලකුණු 25ක් ඉනිමට එක්කළ අතර නිපුන් රංසික පන්දු 29කින් ලකුණු 28ක් වාර්තා කළේය. පන්දු යැවීමේදී ලකුණු 30කට කඩුලු 4ක් දවාගත් සැක් එවන්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

දෙපිල අතර අවසන් එක්දින තරගය හෙට (23) හොබාර්ට්හිදීම පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව - 163/8යි. (ඕවර 50) ජෙහාන් ඩැනියෙල් 36, ක්‍රිෂාන් ආරච්චිගේ 29, නිපුන් රන්සික 28, රශ්මික ඩිල්ෂාන් නොදැවී 25 (සැක් එවන්ස් 30/4, ඉයන් කාර්ලිස්ලේ 18/2)

ඔස්ට්‍රේලියාව - 164/6 (ඕවර 45.4) ඕස්ටින් වෝ 60, ජොනතන් මර්ලෝ 43, මැතිව් ස්පෝස් 32 (නිපුන් රන්සික 22/2, හරීන් බුද්දිල 22/2) 

නව අදහස දක්වන්න