මුම්බායි පිල 6 වැනි ජය ලබයි | දිනමිණ

මුම්බායි පිල 6 වැනි ජය ලබයි

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පෙරේදා සිය 6 වැනි ජයග්‍රහණය වාර්තා කළේය.

තරගාවලියේ 25වැනි තරගයට ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සමග මුම්බායිහිදී පැවැති තරගයෙන් ලකුණු 14ක ජයක් අත්කර ගැනීමට මුම්බායි පිලට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල ලබාදුන් ලකුණු 142ක හඹාගිය දිල්ලි පිලට ඕවර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 128ක් පමණි.‍

දිල්ලි මුල් පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ මුම්බායි පන්දු යවන්නෝ ලකුණු 24ක් තුළ කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. කගීසෝ රබාඩා හා ක්‍රිස් මොරිස් 7වැනි කඩුල්ලට ලකුණු 115ක් එක් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. රබාඩා ලකුණු 44කට දැවී ගිය අතර ඉනිම නිමාවනවිට මොරිස් පන්දු 41කින් ලකුණු 52ක් රැස්කර තිබිණි. පන්දු යැවීමේදී කඩුලු 3ක් දවාගත් මිචෙල් මැක්ලෙනගන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2ක් බිඳ දැමීය.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල වෙනුවෙන් ජොස් බට්ලර් පන්දු 18කින් ලකුණු 28ක් රැස්කරමින් වැඩිම ලකුණුලාභියා විය.

මේ තරගය සඳහා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවා නොතිබිණි.

මුම්බායි - 142/8 (ඕවර 20) ජොස් බට්ලර් 28, කරන් පොලාඩ් 26, හර්දික් පාණ්ඩ්‍යා 24 (අමිත් මිෂ්රා 18/2, පැට් කමින්ස් 20/2)

දිල්ලි - 128/7 (ඕවර 20) ක්‍රිස් මොරිස් නොදැවී 52, කගීසෝ රබාඩා 44 (මිචෙල් මැක්ලෙනගන් 24/3, ජස්ප්‍රීට් බුම්රා 21/2)

පූනේ කඩුලු 6කින් දිනයි

තරගාවලියේ 24වැනි තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරදවා කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් පිල රැස්කළ ලකුණු 176 හඹාගිය පූනේ ක්‍රීඩකයෝ අවසන් පන්දුවෙන් ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.

පූනේ පිලට ජය ගෙන ආ මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 61ක් රැස් කළේ හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමගින් පන්දු 34කිනි. රාහුල් ත්‍රීපති පන්දු 41කින් ලකුණු 59ක් ඉනිමට එක් කළේය.

පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ මොයිසස් හෙන්රික්ස් පන්දු 28කින් නොදැවී ලකුණු 55ක් රැස් කළේ හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගිනි. නායක ඩේවිඩි වෝනර් ලකුණු 43ක් හා ශිකර් ධවාන් ලකුණු 30ක් ඉනිමට එක් කළහ.

හයිද්‍රාබාද් - 176/3 (ඕවර 20) මොයිසස් හෙන්රික්ස් නොදැවී 55, ඩේවිඩ් වෝනර් 43, ශිකර් ධවාන් 30

පූනේ - 179/4 (ඕවර 20) මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 61, රාහුල් ත්‍රීපති 59 

නව අදහස දක්වන්න