දිවුලපිටිය කුඩගම්මන මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලයි | දිනමිණ

දිවුලපිටිය කුඩගම්මන මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලයි

සිංහල අලුත් අවුරුදු සමයේ ජාඇළ හා කොළඹ නගරයට තදාසන්න ප්‍රදේශවලට බෙදාහැරීමට සූදානම් කර තිබූ කසිප්පු ස්ප්‍රිතු බෝතල් 350ක් පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් තිහක් හා පෙරීමේ උපකරණ තොගයක් සමඟ සැකකරුවකු අවුරුදුදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කසිප්පු ව්‍යාපාරිකයකු කුඩගම්මන ඇත්ගාල ආරාම පාරේ නිවෙසක් කුලියට ගෙන කුලීකරුවන් යොදා මෙම මහා පරිමාණ කසිප්පු පෙරුම්පොළ පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත. තරමක් පැරැණි මෙම නිවෙසේ කාමරවල ගෝඩා සහිත බැරල් තිබූ අතර එහි කුස්සියට භාවිත කළ කොටසේ කසිප්පු පෙරුම්පොළ පවත්වාගෙන ගොස් තිබී ඇත.

එම වත්තේ හා යාබද ඉඩමක පිහිටි ළිංවලින් මෝටර් යොදා ගන්නා ජලය ටැංකිවලට ගබඩා කර ඒවා නළ මගින් සිසිලන පද්ධතියට සම්බන්ධකර මෙහි කසිප්පු පෙරීීම කර ඇති අතර අප ජලය භූගත වළකට ගමන් කරන ආකාරයට සම්බන්ධ කර ඇති බව ද හෙළිවිය.

ගෝඩා අඩංගු බැරල් තිහක් ගෑස් ලිපක් ගෑස් සිලින්ඩර් හතරක්, විශාල ප්‍රමාණයේ ජල ටැංකි දෙකක් හා ජලනළ කොටස්. වතුර මෝටර් දෙකක් ඇතුළු පෙරීමේ උපකරණ තොගයක්ද මෙහි තිබී පොලිස් භාරයට ගනු ලැබීය. මෙය මෑත කාලයේ මේ ප්‍රදේශයෙන් අල්ලා ගනු ලැබූ මහාපරිමාණයේ පෙරුම්පළක් බව ද හෙළිවී ඇත.

මීගමුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතාද මෙම ස්ථානය පරීක්ෂාකර අවශ්‍ය උපදෙස් දෙනු ලැබීය. දිවුලපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරුන් වන වසන්ත කුමාර, ජනිත, පොලිස් සැරයන්වරුන් වන 27558 උපාලි, 51694 කමලසිරි, 49173 සුසිල්, පොලිස් කොස්තාපල්වරුන් වන 69591 ජානක, 89512 තරංග, 33311 දුලංජය, 37927 දිසානායක, 34079 සඳරුවන්, 49872 ජයවීර, 37945 රත්නායක සහ ආරක්ෂක සහායක 811 සෝමරත්න පිරිස මෙම වැටලීමට එක්ව සිටියහ.

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර 

 

නව අදහස දක්වන්න