හොඳම කණ්ඩායම තේරීම් කමිටුව මට දීලා තියෙනවා | දිනමිණ

හොඳම කණ්ඩායම තේරීම් කමිටුව මට දීලා තියෙනවා

වර්නන් ගුණසේකර

ඇන්ජලෝ මැතිව්ස්

එංගලන්තයේදී එළැඹෙන ජූනි මාසයේ පැවැත්වෙන ‘අයි.සී.සී.චැම්පියන්ස් කුසලානය’ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තමන්ට ලබා දී තිබෙන්නේ, “මට ලබා ගන්න පුළුවන් හොඳම කණ්ඩායම” බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

එංගලන්ත තණතීරුවල පා දඟ පන්දු යවන්නන් වැඩියෙන් කඩුලු ලබා ගැනීමේ ප්‍රවණතාවක් මේ දිනවල තිබෙන බැවින් ශ්‍රී ලංකා සංචිතයට පිට දඟ පන්දු යවන්නෙකු ඇතුළත් නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය කියයි.

චැම්පියන්ස් කුසලාන තරගාවලියට හොඳින් සූදානම් වීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ වියදමින් වැඩිපුර පුහුණු තරග දෙකක් කණ්ඩායමට ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

මේ අදහස් පළවූයේ ‘චැම්පියන්ස් කුසලාන’ තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ලසිත් මාලිංග ද ඇතුළත්ව සිටී.

ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා නායකත්වයට පිවිස සිටින අතර උපුල් තරංග උපනායකයා ලෙස නම් කර තිබේ.

විශාරද පිට දඟ පන්දු යවන්නෙකු නැති සංචිතයට පා දඟ පන්දු යවන සීකුගේ ප්‍රසන්න හා ‘චයිනමන්’ පන්දු යවන ලක්ෂාන් සඳකැන් ඇතුළත්ව සිටිති.

මාලිංග ජාත්‍යන්තර එක්දින (ඕවර 50) ක්‍රිකට් තරග බිමට පිවිසෙන්නේ 2015 වසරේ නොවැම්බරයෙන් පසුවය. දණිසේ ආබාධයකට ලක්වූ මාලිංගගේ ‘චැම්පියන්ස් කුසලාන’ තරගාවලියේ සහභාගිත්වය මෙතෙක් අවිනිශ්චිත තත්ත්වයක පැවතිනි. 2016 ජනවාරියේ සිට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නැති චාමර කපුගෙදර ද ‘චැම්පියන්ස් කුසලාන’ පහළොස් දෙනාගේ සංචිතයට නම් කර තිබේ.

ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින මැතිව්ස්, ‘චැම්පියන්ස් කුසලාන’ ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග විශේෂයෙන් සාකච්ඡා කිරීම සඳහා ම පෙරේදා දිවයිනට පැමිණියේය.

පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට අමතරව තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු එංගලන්ත සංචාරයට එක්වනු ඇත. මීට අමතරව, අවශ්‍යතාවක් මතුවුවහොත් කණ්ඩායමට ආදේශ කර ගැනීමේ අරමුණින් තවත් ක්‍රීඩකයන් පස් දෙනෙකු කොළඹදී නිරන්තර පුහුණුවකට යොමු කර තිබේ.

“සංචාරයට එක්වන්න පුළුවන් ක්‍රීඩකයන් 15 දෙනෙකුට විතරයි. නමුත් වැඩිපුර ක්‍රීඩකයන් දෙදෙනෙකු ගෙනි යන්නේ ඔවුන්ටද එංගලන්ත දේශගුණයට හුරුවෙන්න අවස්ථාවක් ලබා දෙන්නයි. තරගාවලිය අතුරතුරදී ක්‍රීඩක ආබාධ ප්‍රශ්න මතුවුවහොත් මේ ක්‍රීඩකයන් යොදවා ගන්නත් එමගින් හැකියාවක් ලැබෙනවා” යැයි මැතිව්ස් කීවේය.

“මට ලැබී තිබෙන කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසක් තියෙනවා. චැම්පියන්ස් කුසලානය දිනා ගෙන රටට කීර්තියක් ලබා දීමට මමත්, මේ කණ්ඩායමත් උපරිම උත්සාහය දරණවා” මැතිව්ස් කියා සිටියේය.

කොළඹ පුහුණුවීම්වලින් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දින හයක නේවාසික විශේෂ පුහුණුවක් සඳහා මැයි මස 9 වැනිදා මහනුවරට යනු ඇත. කණ්ඩායම මැයි 18 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය. ඉන්පසුව ඔවුන් මැයි 21 හා 23 දිනවල ස්කොට්ලන්තය සමග කෙන්ට්හිදී පුහුණු තරග දෙකකට සහභාගි වීමෙන් අනතුරුව මැයි 26 වැනිදා ඕවල්හිදී ඔස්ට්‍රේලියාව සමග හා මැයි 30 වැනිදා එජ්බැස්ටන්හිදී නවසිලන්තය සමග පෙරහුරු තරග දෙකකට ක්‍රීඩා කරනු ඇත.

‘අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලිය ජූනි මස 1 වැනිදා ආරම්භ වෙයි. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය යෙදී තිබෙන්නේ ජූනි 3 වැනිදාටය. ඒ, දකුණු අප්‍රිකාව සමගය. ඉක්බිති, ජූනි 8 වැනිදා ඉන්දියාව සමගත්, ජූනි 12 වැනිදා පාකිස්තානය සමගත් ශ්‍රී ලංකාව තරගාවලියේ පළමු වටයේ තරගවලට සහභාගි වීමට නියමිතය.

“චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමේ අපේ වෑයම අපි ලංකාවේ ඉඳන්ම පටන් ගන්නවා. එංගලන්තයට කළින් යන්න ලැබීම අපට වාසියක්. එහි දේශගුණයට හුරුවෙන්න අපට දවස් 14ක් විත‍ර ලැබෙනවා. එය අපේ ක්‍රීඩකයන්ට ලොකු ශක්තියක් වේවි” ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා මේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ, තමන්ගේ වසර දෙකක තේරීම් කමිටු ඉතිහාසයේ තමන් මුහුණ දුන් වඩාත්ම අසීරු කාර්යය මෙය වූ බවයි.

“මේක තමයි තේරීම් කමිටුවේ සිටිමින් මා කළ ගොඩක්ම අමාරු තේරීම. සංචිතය තෝරා ගන්න අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊයේ තිබුනේ මගේ දීර්ඝම තේරීම් කමිටු සාකච්ඡාවයි” ජයසූරිය කීවේය.

“මිලියන විසිදෙකක ජනතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාව දෙස බලා සිටිනවා. මැතිව්ස් හා තරංගට පැවරී තියෙන්නේ ඉතාමත් ලොකු වගකීමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෑම කැපවීමක්ම කර තිබෙනවා. හොඳින් ක්‍රීඩා කර රටට කීර්තිය අත්කර දීම දැන් මැතිව්ස්-තරංග ප්‍රධාන කණ්ඩායමට බාරයි. එංගලන්ත දේශගුණයට හුරුවෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායම කළින්ම එහෙ යවනවා. රට වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ දක්ෂතාවන් සියයට සියයකින්ම ලබා දේවි කියා අපි බලාපොරොත්තු වෙනවා” සනත් ජයසූරිය සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී කතා කරමින්, සංචිතය තෝරා ගැනීමට පෙර සාකච්ඡා වට හතරක් පමණ පැවැත්වූ බව කියා පවසා සිටියේය.

“අපි කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කළා. අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි මැතිව්ස්ට ලංකාවට එන්න කියලා අපි ආරාධනා කළා. මැතිව්ස්, ජයසූරිය සමග සාකච්ඡා කරලා හොඳම කණ්ඩායම තෝරා ගත්තා. නෛතිකව අපට ගෙනි යන්න පුළුවන් ක්‍රීඩකයන් පහළොස් දෙනෙක් විතරයි. නමුත් තවත් දෙන්නෙකුට එංගලන්තයට යන්න අපි අවසර ලබා ගත්තා” යැයි සුමතිපාල මහතා ප්‍රකාශ කර සිටියේය.

“තරගාවලියට සූදානම් වීම සඳහා අයි.සී.සී.ය (ජගත් ක්‍රිකට් කවුන්සලය) අපට ලබා දී තිබෙන්නේ තරග දෙකයි. නමුත් අපි ස්කොට්ලන්තය සමග සාකච්ඡා කර වැඩිපුර තරග දෙකක් ලබා ගත්තා.

ඔවුන් සමග ඒ තරග ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ වියදමින් කෙන්ට් ක්‍රීඩාංගණය වෙන් කරවා ගෙන තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට පෙර පුහුණු තරග හතරක් ලැබී තිබෙනවා. තරගාවලිය සඳහා අපේ පෙරහුරුව මේ ආකාරයටයි සැලසුම් කර තිබෙන්නේ...” සුමතිපාල මහතා කීවේය.

කුසලානය දිනා ගැනීමට අවස්ථාව තිබෙන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකාව බවත් , සංචිතයේ ක්‍රීඩකයන් 15, සංචාරයට එක්වන අමතර ක්‍රීඩකයන් 2 හා කොළඹදී නිරන්තර පුහුණුව ලබන පස් දෙනා ඇතුළුව ක්‍රීඩකයන් 22 දෙනාම ඔවුන්ගේ උපරිම දක්ෂතාවේ හා ලකුණු අතරේ සිටින බවද තිලංග සුමතිපාල මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

l ලසිත් මාලිංග අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කළේ 2015 වසරේදීයි. ඉන්පසුව ඔහු ක්‍රීඩා කළේ විස්සයි20 තරගයි. එක්දින තරගවල ඕවර 10ක් යැවීමේ තත්ත්වයක දැන් ඔහු සිටිනවාද?

ජයසූරිය: මාලිංග සියයට සියයක්ම ‘‍ෆිට්’ බව භෞත චිකිත්සකයන් දන්වා තියෙනවා. චැම්පියන්ස් කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න ඔහු ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා. මාලිංග කණ්ඩායමේ සිටීමෙන් ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට ලැබෙනවා. ඒක ලොකු හයියක්.

l බංග්ලාදේශය සමග පැවැති තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ දුර්වලතා හොඳින් ප්‍රදර්ශනය වුනා. දැන් තෝරා ගෙන තියෙන කණ්ඩායම දෙස බලන විට පෙර කණ්ඩායමේ වෙනසක් සිදුවෙලා නැහැ?

ජයසූරිය: තෝරා ගන්න පුළුවන් හොඳම කණ්ඩායම තමයි මෙය. කණ්ඩායමේ පන්දු රැකීම සියයට සීයක්ම හොඳයි කියලා කියන්න බැහැ. ජොන්ටි රෝඩ්ස්ටත් ‘කැච්’ මිස්වෙනවා. සියයට සියයක් සාර්ථක ක්‍රීඩකයන් ලෝකෙ කොහෙවත් නැහැ.

l දනුෂ්ක ගුණතිලක හා ඩිල්රුවන් පෙරේරා යන පිට දඟ පන්දු යවන්නන් දෙදෙනාම පහ‍ළොස් දෙනාගේ සංචිතයේ නැහැ?

ජයසූරිය: අසේල ගුණරත්න ඉන්නවා පිට දඟ පන්දු යවන්න. එංගලන්තයේදී පා දඟ පන්දු යවන්නන් වැඩියෙන් කඩුලු ලබා ගැනීමේ ප්‍රවණතාවක් මේ දිනවල දක්නට ලැබෙනවා. සඳකැන්ට බොහෝ විවිධත්වයකින් යුතුව පන්දු යවන්න පුළුවන්. සීකුගේත් හොඳින් පා දඟ පන්දු යවනවා. අපි‍ තෝරා ගෙන තිබෙන්නේ හොඳම කණ්ඩායමයි.

l ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දීර්ඝ කාලයක් තිස්සේ උපනායකයෙක් හිටියේ නැහැ. දැන් උපනායකයා ලෙස උපුල් තරංග පත්කර තියෙනවා?

සුමතිපාල මහතා: මැතිව්ස්ට තුවාළයක් වුනොත් කණ්ඩායමට නායකත්වය දෙන්න සුදුසුම කෙනා තරංග බව අපේ තීරණයයි. දිනේෂ් චන්දිමාල්ට එරෙහි කිසිම දෙයක් නැහැ. හොඳින් ක්‍රීඩා කර ඔහු පළමුව කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් හිමිකර ගත යුතුයි.

l මේ තරගාවලියේදී ඔබ පන්දු යවනවාද...එහෙම නැත්නම් පිතිකරුවෙකු ලෙසින් පමණක් ක්‍රීඩා කරනවාද?

මැතිව්ස්: පැහැදිලිවම මම පන්දු යවනවා. අවශ්‍ය වුනොත් ඕවර දහයම ‘බෝල්’ කරනවා.

l කණ්ඩායමට පිට දඟ පන්දු යවන්නෙක් නැහැ. පහළොස් දෙනාගේ සංචිතයට පිට දඟ පන්දු යවන්නෙක් හිටියොත් හොඳයි නේද?

මැතිව්ස්: ක්‍රීඩකයන් 16 දෙනෙක් ගෙනි යන්න අවස්ථාවක් තිබුනා නම් පිට දඟ පන්දු යවන්නෙක් ඇතුළත් කර ගන්න තිබුණා. නමුත් එංගලන්ත තණතීරුවල ක්‍රීඩා කරද්දී පා දඟ පන්දු යවන්නන් අත්‍යාවශ්‍යයි. සීකුගේ ඇතුළත්ව සිටින්නේ ඒ නිසායි. ඉනිම මැදදී ඕවර 20 - 40 අතරවාරයේ කඩුලු ලබා ගැනීම අත්‍යවශ්‍යයි. එහිදී සඳකැන්ට විවිධ ආකාරයෙන් පන්දු යැවීමේ හැකියාව තියෙනවා. අවශ්‍යතාවක් වුනොත් අසේල ගුණරත්නගේ පිට දඟ පන්දු යොදා ගත හැකියි.

l කඩුලු රකින්නේ කවුද?

ජයසූරිය: බොහෝ විට කුසල් ජනිත් කඩුලු රකීවි.

l කණ්ඩායමේ කඩුලු රකින්නන් තුන් දෙනෙක් (දික්වැල්ල, කුසල් ජනිත්, චන්දිමාල්) ඉන්නවා?

ජයසූරිය: කඩුලු රකින්නන් තුන් දෙනෙක් ඉන්න එක කණ්ඩායමට හොඳ දෙයක්. කවුද කඩුලු රකින්නේ කියලා පුහුණුවීම්වලදී අපි බලනවා. කළින් එංගලන්තයට යන නිසා මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් හොයන්න පුළුවනි.

l ආරම්භක පිතිකරුවන් දෙදෙනා කවුද?

මැතිව්ස්: අපට ආරම්භක පිතිකරුවන් තුන් දෙනෙක් ඉන්නවා. තරගාවලියට පෙර පැවැත්වෙන පෙරහුරු තරග හතරෙන් හා පුහුණුවීම්වලින් පසුව ආරම්භක පිතිකරු යුගලය තෝරා ගන්නවා.

l මේ දිනවල අයි.පී.එල්. (ඕවර හතර) ක්‍රීඩා කරන මාලංගට චැම්පියන්ස් කුසලාන තරග බිමේදී ඕවර දහයක් යවන්න පුළුවන් වේවිද?

සුමතිපාල මහතා: මාලිංගට ඕවර දහයක් යවන්න පුළුවන් ශාරීරික යෝග්‍යතාව තියෙනවා. ඔහුට මේ අයි.පී.එල්. තරග ක්‍රීඩා කරන්න දෙමු. ඒක අපට හොඳ දෙයක්. මාලිංගගේ ශාරීරක යෝග්‍යතාව ඉතාමත් උසස් තත්ත්වයක තියෙනවා. අපට දැන් අවශ්‍යව තිබෙන්නේ ඔහුගේ තරග ක්‍රීඩා කිරීමේ යෝග්‍යතාවයි. මාලිංග කණ්ඩායමත් එක්ක එංගලන්තයට යනවා. අපි ඔහු ගැන විශේෂයෙන් අවධානය යොමු කර ඔහුව විශේෂ වශයෙන් කළමනාකරණය කරනවා.

ශ්‍රී ලංකා සංචිතය: ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උපනායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප්‍රසන්න.

සංචාරයට එක්වන අතිරේක ක්‍රීඩකයෝ: ඩිල්රුවන් පෙරේරා, දනුෂ්ක ගුණතිලක.

අවශ්‍යතාවක් ඇතිවුවහොත් කණ්ඩායමට ආදේශ කිරීම සඳහා කොළඹදී නිරතුරුවම පුහුණුවේ යෙදී සිටින ක්‍රීඩකයෝ: විකුම් සංජය, ලහිරු කුමාර, සචිත් පතිරණ, මිලින්ද සිරිවර්ධන, අකිල ධනංජය.

නව අදහස දක්වන්න