මකුණෝ දුම්රියක් නවත්වති | දිනමිණ

මකුණෝ දුම්රියක් නවත්වති

 විජයානි එදිරිසිංහ සහ ශීලා උඩුවර

දුම්රිය නියාමකවරුන්ගේ විවේකාගාරයේ මකුණන් නිසා තමන්ට පෙරේදා (23) රාත්‍රියේ නින්ද නොගිය බව පවසමින් දුම්රිය නියාමකවරුන් දෙදෙනකු සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඊයේ (24) අලුයම 5.30ට පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ අංක 535 දරන කාර්යාල දුම්රිය ධාවනය අවලංගු කර තිබේ.

ඊයේ සඳුදා දින විශේෂයෙන් වැඩි මඟීන් පිරිසක් ගමන් ගන්නා මෙම දුම්රියේ දිනපතා මඟීන් දෙදහසක පමණ පිරිසක් ගමන් ගන්නා බව පොල්ගහවෙල දුම්රිය ස්ථානය පවසයි.

පෙරේදා රාත්‍රියේ කොළඹ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ මෙම දුම්රිය ඊයේ උදේ ධාවනය කරන තෙක් දූම්රිය නියාමක වරුන් දෙදෙනා පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ විවේකාගාරයේ විවේක ගෙන ඇත. පසුව ඊයේ උදේ මොවුන් දෙදෙනා පැමිණ එදින රාත්‍රියේ විවේකාගාරයේ ඇඳේ මකුණන් සිටි නිසා ඔවුන්ට නිදා ගැනීමට නොහැකි වූ බවත් එම නිසා තව දුරටත් නිදා ගැනීමට අවශ්‍ය බැවින් දුම්රිය ධාවනය කිරීමට නොහැකි බවත් පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ලියනගේ මහතාට පවසා තිබේ.

ඒ අවස්ථාවේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන ස්ථානාධිපතිවරයා මෙම දුම්රිය අවලංගු කිරීම නිසා දිනපතා පොල්ගහවෙල සිට රත්මලාන දක්වා රැකියාවට යන දහස් ගණනකට සහ වෙනත් මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත් වෙන බව පෙන්වා දුන්නත් මෙම දුම්රිය නියාමකවරුන් දුම්රිය ධාවනය කිරීමට කිසිසේත් නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ලියනගේ මහතාගෙන් විමසු විට ඒමහතා දුම්රිය අවලංගු කිරීමට හේතු වූ ඉහත කරුණු අනාවරණය කළේය.

ඔහු තව දුරටත් කියා සිටියේ මෙම නියාමකවරුන් දුම්රිය ධාවනය නොකරන්නේ නම් ඊට හේතු ලිඛිතව ඉදිරිපත් කරන ලෙසද දැනූම් දුන් බවයි.

ඊයේ මෙම දුම්රිය අවලංගුවීම නිසා මෙහි දිනපතා ගමන් කිරීමට එන අතිවශාල මගින් පිරිසක් දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටි අතර ඊ‍ට පසු ධාවනය වූ දුම්රියවල ද වෙනදාට නොවූ තදබදයක් වූ බව වාර්තා වෙයි.

මේ අතර දුම්රිය විවේකාගාරවල සිටින මකුණන් විනාශ කිරීම සඳහා බෙහෙත් ගසනු ලබන්නේ පුද්ගලික අංශයකිනි. පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ විවෙකාගාරයේ මකුණන්ට බෙහෙත් ගැසීම ඊයේ සිදු කිරිමට පියවර ගෙන තිබුණි. 

නව අදහස දක්වන්න