සවුදියේ සිටි අනවසර ශ්‍රී ලාංකිකයන් 2000ක් පොදු සමා කාලයේ බාරවෙලා | දිනමිණ

සවුදියේ සිටි අනවසර ශ්‍රී ලාංකිකයන් 2000ක් පොදු සමා කාලයේ බාරවෙලා

මහින්ද අලුත්ගෙදර

නීතිවිරෝධී ආකාරයට සෞදි අරාබියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 2,000 කට වැඩි පිරිසක් පොදු සමාකාලය තුළ භාරවී ඇති බව සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

සෞදි අරාබියා‍වේ නීති විරෝධීව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් පසුගිය මාර්තු මස 29 දා සිට ක්‍රියාත්මක වන පරිදි දින 90 ක පොදු සමා කාලයක් ලබාදීමට සෞදි අරාබියානු රජය තීරණය කළ අතර එම කාලය තුළ මේ දක්වා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් භාරවී තිබෙන බව සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පවසයි.

මෙලෙස භාරවන ශ්‍රී ලාංකිකයන් කිසිඳු දඩ මුදලකට යටත්වීමකින් තොරව නැවත ශ්‍රී ලංකාවට එවීමට පියවර ගන්නා අතර මේ දක්වා කාලය තුළ භාර වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 60 ට වැඩි පිරිසක් කාන්තාවන් බවද තානාපතිවරයා පෙන්වා දෙයි.

නීති විරෝධී ආකාරයෙන් සෞදි අරාබියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ජංගම සේවා පැවැත්වීමට ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙන අතර මේ වනවිට දමාම් නුවර දී ජංගම සේවා පවත්වා තිබෙන බවද තවදුරටත් එය ක්‍රියාත්මක බවද හෙතෙම සඳහන් කරයි. මේ අතර ඒ මහතා පෙන්වා දෙන්නේ අනවසර සංක්‍රමණිකයන් විශාල වශයෙන් මේ දිනවල තානාපති කාර්යාලය වෙත පැමිණෙමින් සිටින බවයි.

සෞදි අරාබි රාජ්‍යය තුළ නේවාසික වීසා (Iqama) නොමැතිව හා දේශසීමා නීති උල්ලංඝනය කරමින් පැමිණ සෞදි අරාබියාවේ නීති විරෝධීව රැඳී සිටින්නන්ට හා නීති විරෝධීව රැඳී සිටිමින් එරට සේවය කරන පුද්ගලයන් සඳහා මෙම පොදුසමා කාලය ලබාදී තිබෙන අතර ඒ අනුව මේ පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් සෞදි අරාබියා‍වේ ආගමන විගමන නීති කම්කරු නීති සහ දේශසීමා නීති අනුව එරටින් පිටවන විදෙස් පුරවැසියන් හට නීත්‍යානුකූලව නැවත පැමිණීමට බාධාවක් නොමැති බවද සෞදි අරාබියානු රජය දන්වා ති‍බේ. 

නව අදහස දක්වන්න