හිතේ කුණු ඉවත් කිරීමේ අමාරු අභ්‍යා­සය | දිනමිණ

හිතේ කුණු ඉවත් කිරීමේ අමාරු අභ්‍යා­සය

තිඹි­රි­යා­ගම බණ්ඩාර

‘තොපේ කුණු අපට එපා!’

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පසු ව අසන්නට ලැබුණු සටන් පාඨයකි ඒ. කුණු බැහැර කිරීම සඳහා විකල්ප ස්ථාන යොදා ගැනීමේදී මෙසේ විරෝධතා පැන නඟින බව පෙනේ. මේ සටන් පාඨය ඔස්සේ කුණු වර්ග දෙකක් පිළිබඳ කියැවේ. එනම් ‘තොපේ කුණු’ හා ‘අපේ කුණු’ ය. මේ දෙවර්ගය ම නිවෙස්වලින් මහමඟට හෙවත් නගර සභා ලොරියට නිකුත් කරන කුණු ය. කුණු ප්‍රශ්නය පසුබිමෙහි කාටත් නොපෙනෙන කුණු වර්ගයක් තිබේ. එනම් ‘හිතේ කුණු’ ය. ඒ, හිතේ කුණු නැති මිනිසුන්ගේ අත්වලින් මහමඟට කුණු නිකුත් නොකෙරේ. හිතේ කුණු නැති ගෙවල කසළ කළමනාකරණය සිදුවන නිසා ය.

මීතොටමුල්ල කුණු කන්දෙන් සිදු වූ ජීවිත හානි යනු හිතේ කුණු ඇති මිනිසුන් හට ඒවා ඉවත් කර ගැනීම සඳහා අගනා නිමිත්තකි. ගමෙන් කොළඹට පැමිණ වසර 30 කට ආසන්න කාලයක් ජීවත්වන්නකු හැටියට මා ජීවත් වූ නිවාසවලින් කුණු පාරට දැමීමක් සිදු නොවී ය.

 වත්මනෙහි මගේ ස්ථිර පදිංචි ස්ථානය වන නෙරලු පෙදෙසෙහි නිවස කසළ කළමනාකරණය ‍පිළිබඳ ආදර්ශ ඒකකයක් බවට පත් ව ඇත්තේ මගේ බිරියගේ දායකත්වයෙනි; කැපවීමෙනි.

 මීතොටමුල්ල ඛේදවාචකයෙන් සසල වූ හදැති ඈ මෙතෙක් කාර්යාලයට රැගෙන ඒම සඳහා මට දුන් බත් පාර්සලය වෙනුවට බඳුනකට ආහාර බහා බෑගයට දැමීමට තීන්දු කළා ය. මීට මාස කිහිපයකට පෙර දිනක් මගේ නිවසෙහි යකඩ ගේට්ටුව දෙසින් කුණු ගඳක් හමන්නට විය. මම එහි ගොස් බැලුවෙමි.

කුස්සියෙන් බැහැර කරන අපද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ කුණු වීමෙන් පණුවන් ගැසූ ලොකු පොලිතින් මලු දෙකක් ගේට්ටුව අසල තබා ඇත. පණුවෝ ගේට්ටුව දිගේ බඩගාති. නගර සභා ලොරිය මගේ නිවස අසල නවත්වන හෙයින් එහි කුණු මලු තැබීම මගේ අසල්වැසියන්ගේ සිරිතකි.

“කරුණාකරලා මේ කුණු මලු අරං යන්න. අපි ගෙදර ඉන්නෙ කොහොමද?” මම තාප්පයෙන් එබී බලා කීවෙමි.

“නගර සභාවෙන් ලොරිය ආවෙ නැති එකට අපි මොනව කරන්න ද? මාර වැඩක් නෙ” නිවැසියෝ රණ්ඩුවකට සැරසුණහ. ගෘහනිය රජයේ ආයතනයක සංඛ්‍යා දත්ත නිලධාරිනියකි; පශ්චාත් උපාධිධාරිනියකි. සැමියා හමුදා සෙබළෙකි. “කුණු වළක් හදාගත්ත නම් ඉවරයිනෙ. ඕන්නම් මම කපලා දෙන්නම්” මම කීවෙමි.

“කුණු වළෙන් ගඳ ගහනවනෙ. අපට ඕවට වෙලාවකුත් නෑ” අවසානයේ දී පණුවන් සහිත කුණු මලු ඉවත් කිරීමට සිදු වූයේ මා හට ය. කුණු මලු අයිතිකරුවෝ දොර වසා ගත්හ.

මීට වසර කිහිපයකට පෙර ගායිකා දීපිකා ප්‍රියදර්ශනී සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටි මොහොතක ඇය කනගාටුදායක සිදුවීමක් සැළ කළාය.

“බලන්නකො තිඹිරි, අද උදේ පාන්දර තාප්පෙ උඩින් මගේ මිදුලට කුණු මල්ලක් දාලා ගිහිංනෙ. මම ඊයේ පරිසර ගීතයක් පටිගත කරලා ඇවිත් නිදාගත්තෙ. මෙහෙම රටකනෙ අපි ජීවත් වෙන්නෙ?” ඒ වනාහී උත්ප්‍රාසජනක අත්දැකීමකි; ඛේදනීය පුවතකි. කිරිගම්පමුණුව ගම්මානයේ සිට මත්තේගොඩ බස් නැවතුම දක්වා සැතපුම් කාලක් පමණ දුර පයින් යන ගමනේ දී ‘පීරිස් වත්ත’ පසුකිරීමට මා හට සිදුවෙයි. එය මහාචාර්ය ජී. එල්. පීරිස්ට අයත් විශාල පොල් ඉඩමකි. හිමිදිරියෙහි තම සුඛෝපභෝගී මෝටර් රථවලින් සේවා ස්ථානය කරා ටයි පටි පැලඳ ගමන් ගන්නා ප්‍රභූන් තම කුණු මලු පීරිස් වත්ත මායිමේ දමා යනු මම දැක ඇත්තෙමි.

‘කුණු යනු පිළිකුළෙන් බැහැර කළ නොයුතු අගනා සම්පතකි’ මෙය රුවන් වැකියකි. මේ අගනා වැකිය මගේ හදවතේ සටහන් කළේ ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නය සමඟ දශක කිහිපයක් පොර බැදූ, ඒ නිසා ම තම විශ්වවිද්‍යාල ආචාර්ය තනතුර පවා අහිමි කර ගත් ආචාර්ය අජන්තා පෙරේරා ය. කලක් මගේ ඇරියුමෙන් ඇය කසළ කළමනාකරණය හා පරිසරය පිළිබඳ අගනා ලිපි පෙළක් රාවයට සම්පාදනය කළා ය. කුණු ප්‍රශ්නයෙන් පෙනෙන්නේ මිනිසුන්ගේ හදවත පිරිසිදු නොවීම පිළිබඳ ප්‍රශ්නයක් බව ඇගේ අදහස ය. ඒ ඇත්ත ය. අවුරුදු උත්සවයෙන් පසු ව සිරිත් පරිදි ලේක්හවුස් ආයතනයෙහි සේවයට පැමිණෙමින් සිටියදී කොට්ටාව මංසන්ධිය ආසන්නයේ ‘අවුරුදු කුණු කන්ද’ දැක ගත හැකි විය.

 ‘කුණු දැමීම තහනම්’ පුවරුව ද ඒ අසල ය. ඊට මීටර් දෙතුන් සීයක දුරින් කොට්ටාව නගරයෙහි පිහිටි වීරසිරි හෝටලය මගේ සිත්ගත් අවන්හලකි. එහි ආහාරපාන පිසීම සඳහා භාවිත කරනුයේ ජීව වායු පද්ධතියකි. මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය ඒ සඳහා භාවිත කෙරේ.

මීට කලකට පෙර ආචාර්ය අජන්තා පෙරේරා ගේ උපදේශකත්වයෙන් මහරගම නගර සභාව කසළ කළමනාකරණ වැඩසටහනක් දියත් කළේ ය.

“කොම්පෝස්ට් හදන බඳුන් පැත්තකට කරලා මිනිස්සු පුරුදු විදියට කුණු පාරට දානවා. අපි කොච්චර මහන්සි උනත් මිනිස්සු ට්‍රැක් එකට දාගන්න අමාරුයි” ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය. කසළ කළමනාකරණය නිසි අයුරින් භාවිතයට ගත් කොට්ටාවේ වීරසිරි හෝටලය මහරගම බල ප්‍රදේශයට ආදර්ශ ව්‍යාපෘතියක් වැන්න.

 එය අධ්‍යයනය කිරීම සඳහා පරිසර බලධාරීන්ට ඇරියුම් කරමි. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ඇරියුමෙන් යාපනය ප්‍රදේශයෙහි තමා කළ පුහුණු වැඩසටහන්වල ප්‍රගතියක් ඒ දිනවල දුටු බව ආචාර්ය අජන්තා පැවසූ අයුරු ලියුම්කරුගේ මතකයෙහි පවතී.

“යාපනේ මිනිස්සු කුණුවලට ගිනි තියන්නෙ නෑ. බෝගවල මුලට එකතු කරනවා. පොලිතින් පාවිච්චි කරන්නෙ අඩුවෙන්. තලකොළ මල්ලට තමයි තවමත් කැමති” ආචාර්ය අජන්තා එසේ කීව ද යාපනයේ සිරි නැරඹීමට දකුණෙන් යන ජනයා එහි දමා විත් තිබෙන ප්ලාස්ටික් බෝතල් හා පොලිතීන් දකින විට සිංහලයකු හා රටවැසියකු හැටියට ම සිත ඇති වනුයේ සංවේගයකි. මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව ආරම්භ වූ ‘පිළිසරු’ වැඩසටහන මරා දමමින් කුණු ජාවාරම හා බල දේශපාලනය රජ වෙද්දී ආචාර්ය අජන්තාට සිදුවූයේ දුකින් නිහඬ වන්නට ය.

අපේ රටේ කුණු ප්‍රශ්නය විසැඳීමේ ප්‍රධානතම උපාය මාර්ගය වනුයේ දිරන කුණු නිවෙස්වලින් පිටතට දැමීම වැලැක්වීම ය. පර්චස් හතේ පදිංචිකරුවකු හට වුව ද කුඩා පොහොර වළක් තනාගත හැක. බෝගස් වටේ පැය ගණන් ළමයින් දක්කාගෙන යන වැඩිහිටියෝ “ඕවාට වෙලාවක් නෑ” කියති. එහෙත් මෙතැන ඇත්තේ කුණු පිළිකුල් කිරීම ය. මේවා තමන්ගේ ම මුළුතැන් ගෙයින් ඉවත් කරන ඒවා බව ඔවුන්ට අමතක ය. කඩවලින් බඩු‍ ගෙනෙන පොලිතින් නැවත භාවිතයට ගැනීම පොලිතීන් නිවසෙහි ඒකරාශී වීම වැළැක්වීමේ මඟයි. පර්චස් දොළහක ඉඩමක ජීවත්වන මටත්, බිරියටත්, දරුවන්ටත් ‘කුණු’ ප්‍රශ්නයක් බවට පත් නොවූයේ මිදුල කොණේ හාරාගත් පොහොර වළ නිසා ය.

සියලු දිරන කුණු වළට බැහැර කෙරේ. ඉන් දුගඳ නොහමයි. මිදුලෙහි වවා ඇති ගොටුකොළ, තිබ්බොටු, කිරිඅඟුණ, කිරි අල, නිවිතිය, කොච්චි, අවර, දඹල ආදී සියලු බෝග සරු වන්නේ එම පොහොරෙනි. කොළඹ කුණු කඳුවලට අපගේ සම්මාදමක් නැත. එළවළු කඩේට යන වියදම අඩු වේ. බෝගවල හරිත පැහැය, මල් ඵල දැකීම ප්‍රීතිය උපදවයි. වස විස නොදැමූ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේල කයට සුවදායක ය. මෙසේ හදවත්වල කුණු ඉවත් කර ගැනීමේ අමාරු කාරිය තම නිවෙස්වලින් ම ආරම්භ කිරීම කුණු ප්‍රශ්නය විසැඳීමේ මුල් පියවර යි. ‘තොපේ කුණු අපට එපා’ වැනි වංචනික සටන් පාඨවලට එවිට ඉඩක් නොලැබෙනු නිසැක ය.

නව අදහස දක්වන්න