මං මෙතනට ආවේ STUDY කරලා | දිනමිණ

මං මෙතනට ආවේ STUDY කරලා

දිල්ශාන් අබේගුණවර්ධන

දිල්ශාන් අබේගුණවර්ධන පසුගිය දවස්වල කතා බහට ලක් වුණේ දුෂ්‍යන්ත් වීරමන් එක්ක කරපු නැට්ටුකාරි ගීතයක් එක්ක. නැට්ටුකාරි ගීතය සිංහල ඉංග්‍රීසි සහ හින්දි භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණය කෙරුණු ගීතයක්. සංගීත ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙන දිල්ශාන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙක් ලෙස අධ්‍යාපනය ලබනවා. දිල්ශාන් සංගීත ක්ෂේත්‍රය තුළ දක්වන දක්ෂතා නිසාවෙන්ම ඔහුව අපි රසමංජරියට එකතු කර ගත්තා.

l දිල්ශාන් කොහොමද මේ දිනවල වැඩ කටයුතු ?

මියුසික් පැත්තෙන් ගත්තොත් හර්ෂණ දිසානයක එක්ක වෙසක් පෝයට බොදු බැති කිහිපයක් නිර්මාණය කරන කටයුතු මේ දවස් වල සිදු කරනවා. ඊට අමතරව බිනරි ජයරත්න එක්ක කවුරුන්දෝ නුඹ මාගේ ගීතයේ රූපරචනය සිදු කරනවා. ඒ වගේම නොවැම්බර් මාසයේ දී ආදරේ නිසා කියලා ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

l දුෂ්‍යන්ත් වීරමන් එක්ක තියෙන සම්බන්ධය මොකක් ද ?

මට අවශ්‍ය වෙලා තිබුණා මගේ තියෙන මියුසික් දැනුම එක්ක තැනකට ඇවිත් දෙයක් කරන්න. මගේ තියෙන දැනුම රසවින්දනය කරන්න පුළුවන් ප්‍රේක්ෂකාගාරයක් හදා ගන්න එක තමයි මට තිබුණ පලවෙනි අභියෝගය. ඒ සදහා අවශ්‍ය වෘත්තියමය මග පෙන්වීම මට මුලින්ම ලැබුනේ පුජා උමාශංකර්ගෙන්. පුජා මගේ හිතවතියක්. ඊට පස්සේ පුජා අක්කා එයාගේ හොදම යාළුවා වුන දුෂ්‍යන්ත් වීරමන් අයියට මාව හදුන්වා දුන්නා.

l ඒ කියන්නේ දිල්ශාන් දුෂ්‍යන්ත් වීරමන් හින්දා ගොඩ යාමක් ද මේ වෙන්නේ ?

ඔව්. ගොඩ ගියා කියන්නේ සෑහෙන දෙයක් කරගත්තා දුෂ්‍යන්ත් අයියාගේ උදව්වෙන්. මම මගේ පැත්තෙනුත් මම දෙයක් කරනවා. නැතිව නෙවෙයි. නමුත් මට මග පෙන්වීම ලැබෙන්නේ දුෂ්‍යන්ත් වීරමන්ගෙන්.

l නැට්ටුකාරි නැගලාම ගියා නේද ?

ඔව්. නැට්ටුකාරි මගේ දෙවෙනි සින්දුව. ඊට කලින් funky සින්දුවක් කරා 2016 දී තනිකඩ කියලා. ඊට පස්සේ තමා තනිකඩ කියලා සින්දුව කරේ. ඇත්තටම නැට්ටුකාරිවලට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි. හොද ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාර තියෙනවා. නැට්ටුකාරි සින්දුව හරහා මට මගේ අනන්‍යතාවයක් හැදුනා කියලා මට හිතෙනවා.

l දිල්ශාන්ට සංගීතය ගැන තියෙන හැදෑරීම මොකක්ද ?

ඉන්දියා භාත්කන්ඩ සංගීත විද්‍යා පිඨයේ සංගීත ඩිප්ලෝමාවේ පළමු පන්තියේ සාමාර්ථයක් තියෙනවා. ඒ වගේම සංගීත චිශාරද උපාධියේ පළමු පන්තියේ සාමාර්ථයක් තියෙනවා. සංගීත් නිපුන් උපාධියේ පළමුවන විභාගය ලියලා මේ වන විට ප්‍රායෝගික පරීක්ෂණ සදහා ලැස්ති වෙනවා. ඊට අමතරව පණ්ඩිත් අමරදේවගේ ධ්වනි කියලා ප්‍රසංග මාලාවක් තිබුණා. ඒ ප්‍රසංග මාලාවේ මැඩලීන් වාදනය කරා. ඒක වාදනය කරන්න ලැබුනේ ලංකාවේ දක්ෂතම වාදකයා හේමපාල මහතා යටතේ පුහුණු වුන නිසා. උසස් පෙලින් පස්සේ අවුරුද්දක් පේරාදෙණිය සරසවියට ගියා දිල්රුබාව හදාරන්න. ඊට පස්සේ භාතිය සන්තුෂ් කොන්සර්ට් වලට D star බෑන්ඩ් එකෙත් වැඩ කරා. ඒ වගේම 2008 – 2012 වර්ෂ වලදී සමස්ත ලංකා වයලින් වාදකයා බවට පත්වෙන්නත් මට හැකියාව ලැබුණා.

l ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තැනක් හදා ගන්න නම් සල්ලි විසික් කරන්න ඕනි ද ?

අනිවාර්යෙන්ම ඔව්.

l ආධුනික කෙනෙක් විදියට ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා නමක් හදා ගන්න එක පහසු උනා ද ?

ඇත්තටම නැහැ. සෑහෙන්න අමාරු වුණා සහ මාර කට්ටක් කෑවා. නිෂ්පාදන කණ්ඩායම් එක්ක වැඩ කරද්දී පවා එක එක ගැටළු ආවා. ඒ හැමදෙයක්ම සමබර කරගන්න අමාරු වුණා හැබැයි කොහොම හරි බැලන්ස් කරගත්ත. දුෂ්‍යන්ත් හිටපු එකත් පහසුවක් වුණා.

l ලංකාවේ ගායකයෝ යැයි කියන පිරිස් ඕනි තරම් ඉන්නවා. දිල්ෂාන් දකින විදියට ඇයි ලංකාවේ මෙච්චර ගායකයෝ.. ජනප්‍රිය වෙන්න පුළුවන් ගායකයෙක් වුනොත් විතර ද ?

මම හිතන්නේ ලංකාවේ කලාව පැත්තෙන් මිනිස්සු මෙච්චර කල් මාකට් කරලා තියෙන්නේ සින්දු විතරයි. වෙන හැකියාවල් මාකට් වෙලා නැහැ මේ ලංකාවේ. රියැලිටි වැඩසටහන් වලින් වුනත් උත්සාහ කරන්නේ සංගීතමය පැත්ත මාකට් කරන්න මිසක්. අනිත් කලාවන් ගැන කතා කරන්න නෙවේනේ. අනික වෙන හැම රටකම සංගීත ක්ෂේත්‍රයේ ආශ්‍රිත හැම වෘත්තියකටම සමානාත්ම පිළිගැනීමක් තියෙනවා. නමුත් ලංකාවේ උඩට එන්නේ ගායනය විතරයි.

l වෘත්තිමය වශයෙන් වෛද්‍යවරයෙක් ද ගායකයෙක් ද ?

ඒ දෙකම සමබර කරගන්න පුළුවන්. ඒ දෙකටම සම්පුර්ණ කාලය යෙදෙව්වොත්. හැබයි මියුසික් කරන්නේ ආසාවට. මට අවශ්‍ය ළමා රෝග විශේෂඥයෙක් වෙන්න. එහෙමත් නැති නම් ගුවන් හමුදාවට බැදිලා වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

අරුණි කළුපහන

නව අදහස දක්වන්න