ෆාසිල් මරිජා 15 සාමාජික රගර් ක්‍රීඩාවට සමුදෙයි | දිනමිණ

ෆාසිල් මරිජා 15 සාමාජික රගර් ක්‍රීඩාවට සමුදෙයි

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා රගර් තරග බිමේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ‘ෆ්ලයි හාෆ්’ ක්‍රීඩකයා ලෙස සැළකෙන ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ෆාසිල් මරිජා ජාත්‍යන්තර 15 සාමාජික රගර් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කරයි.

වසර 2003 සිට ජාතික කණ්ඩායම නියෝජනය කරන මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මේ විශිෂ්ට ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 14ක් ක්‍රීඩා කොට ඇති අතර ලබන මැයි මස මැලේසියාවේ පැවැත්වෙන ආසියානු 15 සාමාජික රගර් ශූරතාවලියෙන් පසුව ජාතික 15 සාමාජික රගර් ක්‍රීඩාවට සමුදෙනු ඇත.

දැනට 31 හැවිරිදි වියෙහි පසුවන මරිජා මේ තීරණය ගෙන ඇත්තේ තරුණ ක්‍රීඩකයන්ට එම අවස්ථාව ලබාදීමේ අරමුණින් යුතුවය.

මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන මරිජා අනතුරුව මේ වසර අගභාගයේදී ආරම්භ වන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රගර් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසුව 15 සාමාජික දේශීය තරග බිමෙන් ද ඉවත්වීමට බලාපොරොත්තු වෙයි. 15 සාමාජික රගර් ක්‍රීඩාවෙන් ඉවත්වූවත් තවත් වසර 2ක් පමණ සත් සාමාජික ක්‍රීඩාවේ රැඳී සිටින බව ‘දිනමිණ’ කළ විමසුමකදී ෆාසිල් මරිජා කියා සිටියේය.

‘රට වෙනුවෙන් දීර්ඝ කාලයක් ක්‍රීඩා කිරීමට ලැබීම සතුටට කරුණක්. නමුත් 15 සාමාජික ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදුසුම වෙලාව මේක තමයි කියලා සිතුණා.’ ඔහු කීවේය.

කිංග්ස්වුඩ් විදුහල් පිලේ නායකත්වය දරමින් 2004 වසරේදි අන්තර් පාසල් ලීග් රගර් කිරුළ සිය විදුහලට අත්කර දුන් හෙතෙම 15 සාමාජික දේශීය හා ජාත්‍යන්තර තරග බිමේදී මහනුවර පිලට සහ ජාතික පිලට නායකත්වය ලබාදෙමින් ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට සමත්විය.2003 වසරේදී නිත්තවෙල ක්‍රීඩාංගණයේදී හොංකොං පිලට එරෙහිව පළමුවරට ජාතික පිල නියෝජනය කිරීම සිය රගර් ක්‍රීඩා දිවියේ අමතක නොවන සිදුවීමක් බව ඔහු කීවේය. රගර් ක්‍රීඩා පරිපාලනයෙන් ආරාධනාවක් ලැබෙන්නේ නම් 15 සාමාජික ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පුහුණුකරුවකු ලෙස සිය උපරිම සහයෝගය ලබාදීමට කැමැත්තෙන් පසුවන බව ද ඔහු සඳහන් කළේය.

නව අදහස දක්වන්න