නාස්තිය වැළැ­ක්වී­මට අය වැය සැක­සීම නව ක්‍රම­වේ­ද­ය­කට | දිනමිණ

නාස්තිය වැළැ­ක්වී­මට අය වැය සැක­සීම නව ක්‍රම­වේ­ද­ය­කට

ජයසිරි මුණසිංහ

සීමිත රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව බෙදාහැරීමට විවිධ ක්‍රමෝපායන් හා තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ගනිමින් ශුන්‍ය පාදක අය වැය ක්‍රමය (Zoo Based Budgetina - ZBB) අප රටට හඳුන්වාදී තෙවසරක් පිරෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

වසර 2016 අය වැය සකස් කිරීම සඳහා ශුන්‍ය පාදක අය වැය ක්‍රමවේදය වසර 2015දී හඳුන්වා දුන් බව ද එය දියුණු කරන ලද වැඩසටහන් රාමුවක් සහිත මේ වසරේ අග භාගයේදී වසර 2018 අය වැය සකස් කරන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

සීමිත රාජ්‍ය සම්පත් අර්ථාන්විතව වෙන් කිරීම සහතික වීම ශුන්‍ය පාදක අය වැය සංකල්පය හඳුන්වාදීමේ අපේක්ෂාව වූ බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

එකම විෂයට ආයතන කිහිපයකින් මුදල් වෙන් වීම වැළැක්වීම, අදාළ අනුමැතීන් හා අරමුදල් නොමැතිව ව්‍යාපෘති ආරම්භ කිරීම වැළැක්වීම, ඵලදායි නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නතර කිරීම මේ නව ක්‍රමවේදය ඔස්සේ හැකි වන බව ද මුදල් ඇමැතිවරයා කීය.

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ දැඩි අභියෝගය ජය ගැනීමට හැකි මඟක් ලෙස නව ශුන්‍ය පාදක අය වැය සකස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ බව ද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

ශුන්‍ය පාදක අය වැය සැකසීමේ ක්‍රමය යටතේ වියදම් ඇස්තමේන්තු සැකසීමේදී සෑම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හා ආයතනයක්ම මාර්ගෝපදේශ මාලාවකට අනුව කටයුතු කළ යුතු වේ. ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල හා ආයතනවල දැක්ම, මෙහෙවර, අරමුණු හා කාර්යයන් සමාලෝචනය කර වර්තමානයේ ඒවායේ අදාළත්වය ඇගැයීමකට ලක් කළ යුතුම වේ.

සියලුම වැඩසටහන්, ව්‍යාපෘති, උප ව්‍යාපෘති ආයතනයේ අරමුණු හා කාර්යයන් වලට අදාළත්වය ගණන් බැලිය යුතුය. එසේ නොවන දේ වැළැක්විය යුතුය.

ද්වි ගණනයන්, නාස්තීන් හා ඉවත් කළ හැකි හෝ තාර්කීකරණයක් කළ හැකි අඩු ප්‍රමුඛත්වයකින් යුතු කාර්යයන් හඳුනාගත යුතුය.

අපේක්ෂිත ප්‍රතිඵල වලට අනුව සියලුම කාර්යයන් වල ඉලක්ක සමඟ සම්බන්ධ කිරීම අනිවාර්යෙන්ම කළ යුතු වේ.

මේ මාර්ගෝපදේශ පිළිබඳව මුදල් අමාත්‍යාංශය වසර 2015 සිට සෑම අමාත්‍යාංශයකම ලේකම්වරු මූල්‍ය ප්‍රධානීහු දැනුවත් කොට ඇත. ඒ අනුව වසර 2018 අය වැය සකස් කිරීම සිදු කැරේ.

නව අදහස දක්වන්න